Health Guide

හිසරදය ගැන ඔබ නොදන්නා දේ

හිසරදය බොහෝදෙනෙකුට සුලබ තත්ත්වයක්. වේදනා නාශකයකින් පමණක් සුවය පතන වැඩි දුරටත් නොහිතන හිසරදය දරාගත නොහැකිම තත්ත්වයකට පත් වනතුරු ම අප නොසලකා හරින්නෙමු. එහෙත් දිගින් දිගටම පවතින එසේ නොසලකා හැරීමෙන් ඔබට නොසිතන සංකීර්ණ තත්ත්වයකට මුහුණ පෑමට සිදු වනු ඇත.

හිසරදය ඇති වන්නට හේතුව කුමක්ද?

හිසරදය එකිනෙකට වෙනස් වර්ග රාශියකින් යුක්තය වන අතර හිසරදයට බලපාන හේතූන් ද බොහෝමයක් ඇත. හිසරදය ඇති වන්නට බලපාන හේතූ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට පෙන්වා දිය හැකිය.

1 – තම හිස අභ්‍යන්තරයේ ඇති රෝගී තත්ත්වයක් නිසා ඇති වන හිසරදය.
2 – හිසෙහි පාරිබාහිර අවයවයන්ගේ රෝගී තත්ත්වයන් නිසා ඇති වන හිසරදය.

මෙම කුමන කාරණයක් හේතු කොට ගෙන හිසරදය ඇති වුවත් එමගින් හිසෙහි ලේ නහර, මොළයේ මාංෂපේෂින් හා ස්නායු හා වේදනාව දනවන සංවේද සෛල උත්තේජනයවීම සිදුවේ.

තම හිස අභ්‍යන්තරයේ ඇති රෝගී තත්ත්වයක් නිසා ඇති වන හිසරදය

තම හිස තළ ඇති රෝගී තත්ත්වයක් නිසා ඇති වන හිසරදය අතුරින් පහත සඳහන් හිසරදයන් බහුල වශයෙන් හඳුනාගත හැකිය.
● ආතතිය නිසා හටගන්නා හිසරදය.
● ඉරුවාරදය හෙවත් මිග්රේන් නිසා හටගන්නා හිසරදය.
● ලිංගික එක්වීමෙන් පසු ඇතිවෙන් හිසරදය.
● මොළයේ ඇති වන ගෙඩි හෝ පිළිකා තත්ත්වයන් නිසා හටගන්නා හිසරදය.

ආතතිය නිසා හටගන්නා හිසරදය කෙබඳුද?

ආතතිය නිසා හටගන්නා හිසරදය වර්තමාන සමාජයේ සුලබව දක්නට ලැබේ. දිගටම පවත්නා හිසේ වේදනාවක් මෙවැනි රෝගීන්ට ඇති වේ. මෙම වේදනාව නළල, නළලේ දෙපස, හිස මුදුන ප්‍රදේශයේ හටගනී. මෙම වර්ගයේ හිසරදයක් සෑදීමට විවිධ හේතූ බලපෑ හැකිය. එනම්,
● මානසික ආතතිය.
● මධ්‍යසාර භාවිතය.
● අවශ්‍ය ප්‍රමාණයට නින්ද නොලැබීම.
● විශාදය.
● නිසි පරිදි නියමිත් වේලාවට ආහාර නොගැනීම සහ අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට ජලය නොලැබීම නිසා ඇති වන විජලන තත්ත්ව ආදිය බහුලව දැක්විය හැකිය.

ඉරුවාරදය හෙවත් මිග්රේන් නිසා හටගන්නා හිසරදය

ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසරදය ඉරුවාරදය හෙවත් මිග්රේන් යනුවෙන් හඳුන්වයි. මෙම හිසරදය ඇති වන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

මොළය තුළ රසායනික ක්‍රියාකාරීත්වයෙ වෙනස්කම් නිසා ඉරුවාරදය හෙවත් මිග්රේන් රෝගය ඇති වේ. සූර්යයා ලෝකයට නිරාවරණය වන විට හිසරදය ඇතිවීමට උත්තේජනයක් ඇති වන හෙයින් ඉරුවාරදය ලෙස මෙම හිසරදය හඳුන්වයි. හිසේ එක් පැත්තක පමණක් ඇති වන තද තෙරපුම් ආකාරයේ හිසරදය සාම්ප්‍රදායික ඉරුවාරදය ලෙස හැඳින්වුවත් ඉන් ඔබ්බට ගිය වෙනස් ආකාරයේ අත්දැකීමක් වන හිස වටා හෝ දෙපැත්ත ම වේදනා දීම ලෙස වුව ද ඉරුවාරදය ඇති විය හැකි අතර එය අසාමාන්‍ය ඉරුවාරදය වර්ගයක් ලෙස කාණ්ඩ කෙරේ. ඉරුවාරදය බොහෝ විට තද හිරු එළියට නිරාවරණයවීම නිසා ඇති විය හැකි බව සත්‍යයක් වුව ද එවැනි තත්ත්වයකින් තොරව වුව ද එය ඇති විය හැකිය.

ඉරුවාරදය නිසා හටගන්නා වේදනාව ඇතිවීමට පෙර පූර්ව රෝග ලක්ෂණ පහල විය හැකිය.
● තරු වැනි ආලෝක ධාරා පෙනෙන ස්වරූපයක් දැනීම.
● අසාමාන්‍ය ගඳ හෝ සුවඳ වර්ග දැනීම.
● අධික ඈණුම් යාම.
● අකුරු ඇදවී මෙන් පෙනීම.
● කතාවේ වෙනසක් සිදු වන බව දැනීම.
● තමන්ට අවට පරිසරයේ සංවේදන දැනෙන ආකාරයේ වෙනසක් සිදු වන බව දැනීම.
● ඇඟ හිරිවැටෙනවා වැනි ස්වභාවයක් දැනීම.
● කලාතුරකින් ඇතිවන ශරීරයේ පැත්තක් පණ නැති වී ඇති ස්වභාවයක් දැනීම.

ඉරුවාරදය සෑදෙන සෑම පුද්ගලයෙකුට ම ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සියල්ල ම ඇති නොවන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම ලක්ෂණ වෙනස් විය හැකි බව මතක තබාගත යුතුය. එවැනි පූර්ව සංඥාවකින් තොරව වුව ද ඉරුවාරදය ඇති විය හැකිය.

ඉරුවාදය ඇති වන්නට බලපාන හේතු කාරණා මොනවාද?

● අධික ලෙස නිදිවර්ජිතව සිටීම.
● කුසගින්නේ සිටීම.
● අධික හිරු එළියේ සිටීම.
● පරිසරයේ යම් වෙනසක් සිදුවීම. (අධික උෂ්ණත්වය හෝ සීතල)
● වාහනයකින් දුර ගමනක් යාම.
● කෝපි, මාමයිට්, රටකජු, චොකලට්, අයිස්ක්‍රීම් වැනි ආහාර නිසා ද මෙම රෝග තත්ත්වය උත්තේජනය විය හැකිය.
● කාන්තාවන් නම් ඔසප් වන කාලය තුළ සිදු වන හෝමෝන වෙනස්වීම.

ඉරුවාරදය වැලඳුණ විට ආලෝකය දෙස බැලීම ඉතා අපහසුවතාවක් බැවින් එවැනි රෝගීන් අඳුරේ නිදාගැනීමට ප්‍රිය කරයි. මෙම රෝගය නිසැකව ම හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රමයක් නැත. රෝගියාගේ රෝග විස්තර අනුව සහ අනෙකුත් හේතූන් මත ඉරුවාරදය ඔබට වැලඳී ඇති බවට වෛද්‍යයවරයා නිර්ණය කරනු ඇත.

ඉරුවාරදය නිසා හටගන්නා හිසරදය සුව කළ හැකිද?

ඉරුවාරදය තදින් සෑදුණ කෙනෙකුට ඉතාමත් අධික ලෙස දැනෙන වේදනාව නිසා තමන්ගේ එදිනෙදා කටයුතු කර ගැනීම පවා දුෂ්කර වනු ඇත. ඔබට හිසරදය ඇති වන්නේ කවර හේතූන් නිසා දැයි අවබෝධ කර ගැනීමට දින පොතක් තබාගැනීම වැදගත් ය. එයින් ඔබට ඇති ප්‍රතිලාභය වන්නේ හිසරදය සෑදීමට හේතුව දන්නා නිසා එවැනි අවස්ථාවලින් බැහැරව කටයුතු කිරීම තුළින් හිසරදය මගහරවාගත හැකිවීම ය.

මෙම තත්ත්වය නිට්ටාවට සුව කිරීම සඳහා ක්‍රමයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ වන තෙක් සොයාගෙන නොමැත. ප්‍රතිකාර මගින් කරනුයේ රෝගය ඇති වන වාර ගණන අවම මට්ටමකට පවත්වාගැනීම සහ රෝගය ඇති වූ විට ඇති වන වේදනාව අවම මට්ටමට පත් කිරීමත් පමණක් ය.

මේ සඳහා භාවිත කළ හැකි ප්‍රතිකාර රාශියක් ඇත. ඉතා කලාතුරකින් සුළු වශයෙන් හිසේ ඇති වන වේදනාවක් පමණක් ඇති ඉරුවාරද රෝගීන්ට රෝගය ඇති විට පමණක් ප්‍රතිකාර ගැනීම ප්‍රමාණවත් වෙයි. රෝග ලක්ෂණ ඇතිවන මුල් අවස්ථාවේ දී ම ඉක්මනින් ප්‍රතිකාර ගැනීම ආරම්භ කිරීමෙන් වේදනාව අධිකවීම වළක්වාගැනීමට හැකියාවක් ලැබේ. එහෙත් හිසරදය නොසලකා හැර උත්සන්න වූ පසු ඖෂධ ගැනීමෙන් ඖෂධ මගින් ලැබෙන ගුණය ද අඩුවී වේදනාව පාලනය කර ගැනීමට අපහසු වේ.

හිසෙහි පාරිබාහිර අවයවයන්ගේ රෝගී තත්ත්වයන් නිසා ඇති වන හිසරදය.

● හකු හන්දි ප්‍රදාහය නිසා ඇතිවන හිසරදය.
මෙම තත්ත්වයේ දී දිගුකල් පවතින හිසරදයක් ඇති වන අතර වේදනාව හිසට අමතරව කන හා ගෙල පෙදෙසෙත් ඇති වේ. මෙහිදී මුඛය විවෘත කිරීමේ දී හෝ තදින් ස්පර්ශ කිරීමේ දී වේදනාව වැඩි වන බව රෝගියාට වැටහෙනු ඇත. මෙම තත්ත්වය ඖෂධ මගින් සුව කළ හැකි වනු ඇත.
● අනතුරකින් පසුව හටගන්නා තැල්මක්, කැපීමක්, අස්ථි බිඳීමක් වැනි තත්ත්වයක් නිසා.
● යම් ආසාදනයක් නිසා එනම් මොළය තුළ හටගන්නා සැරව ගෙඩි, කන ආශ්‍රිතව හටගන්නා ආසාදන තත්ත්වයන්.
● හිස සහ බෙල්ල ආශ්‍රිතව ඇති රුධිර නාළවල සිදුවන වෙනස්කම්.
මෙය සමහරවිටක රුධිර නාළයන් තුළ පීඩනය වැඩිවීම නිසා හෝ රුධිර නාළවල සිදුවන ප්‍රදාහ තත්ත්වයන් නිසා හෝ ලේ කැටි සෑදීම නිසා හෝ රුධිර නාළ පුපුරා යාම නිසා සිදු විය හැකිය.
● මුහුණේ, බෙල්ලේ හෝ හිසේ ස්නායුවල ඇති වන ආබාධයන් නිසා.
● කෝඨරකවල ඇති වන ආබාධ නිසා.

කෙසේ වුව ද හදිසියේ ම ඇති වන දරුණු හිසරදයන්හි දී ඔබගේ වෛද්‍යවරයා අනිවාර්යෙන් ම ඵඍෂ පරීක්ෂණය මගින් ඔබට ඇතිවිය හැකි මොළයේ ලේ ගැලීම් හෝ මොළයේ ගැටිති හඳුනාගැනීම සිදුකරනු ඇත.

හිසරදය සඳහා ප්‍රතිකාර කිරීමට නම් වැලඳී ඇත්තේ කවර වර්ගයේ හිසරදයක් ද යන්න හඳුනාගත යුතුය. ඒ අනුව වෛද්‍යවරයාට නිවැරදිව ම රෝගය නිශ්චය කිරීමට නම් හිසරදය පිළිබඳ නිවැරදිව සියලු ම රෝග ලක්ෂණ වෛද්‍යවරයාට පැවසිය යුතුය. හිසරදය ඇති වන්නට තුඩු දෙන රෝග ලක්ෂණ හා රෝග නිධානය, හා කාලය අනුව ඔබට වැලඳී ඇත්තේ කවර කාණ්ඩයකට අයත් හිසරදයක් ද යන්න වෛද්‍යවරයා තීරණය කර ඒ අනුව අවශ්‍ය ප්‍රතිකාර වෙත ඔබව යොමු කරනු ඇත.

උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ

සටහන – දිශාන්ති වෙදගේ