Health

ඔබේ කන් ඇසීම දුර්වලද?

ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් කියන්නේ එකිනෙකට සබදතාවක් ඇති ඉන්ද්‍රියයන් ය. සෑම නිරෝගී පුද්ගලයෙකුගේ ම මෙම ඉන්ද්‍රියයන්වල කි‍්‍රයාකාරීත්වය යහපත් ලෙස තිබිය යුතුය. අප මේ සටහන් තබන්නේ ජීවිතයට වැදගත් ම එක් ඉන්ද්‍රියයක් වන කන පිළිබදව ය. සමූහයක් සමග ජීවත් වන අපට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගනිමින් මනා සන්නිවේදනයක් ගොඩනැගීමට කන ඇසීම අත්‍යවශ්‍ය ම ය. වෙනත් කෙනෙකු පවසන දෙයකට පෙරලා පිළිතුරු දෙන්නට නම් ඔහු හෝ ඇය පවසන දෙය ඔබට පැහැදිලිව ඇසී තිබිය යුතුය. නැතහොත් ඔබට සිදු වන්නේ,

”යන්නෙ කොහොද?”
”මල්ලේ පොල්” කියන්නට ය.

කන කි‍්‍රයා කරන්නේ මෙහෙමයි

අවට පරිසරයේ ජනිත වන ශබ්ද මුලින්ම කන් පෙත්ත මගින් ඒක රාශී කරගෙන කනේ පිට විවරය තුළින් කන තුළට ගමන් කරවයි. පසුව මෙම ශබ්ද තරංග කන් බෙරයේ වැදීමත් සමගම එය කම්පනයවීම ඇරඹෙන අතර එම කම්පනය මැද කන තුළ ඇති කුඩා අස්ථි තරංගවල කම්පනය මගින් ඇතුළු කනට සම්පේ‍්‍රෂණය කර ස්නායු උත්තේජනයට අවශ්‍ය ෙසෙල හා පටලයන් කම්පනය කරවයි. මෙම කම්පනය හේතුවෙන් සිදු වන උත්තේජනය අනුව ශ‍්‍රවණයට අදාළ ස්නායුව ඔස්සේ ශ‍්‍රවණ සංඥා මොළයට ගමන් කොට අපට ඇසීමට සලස්වයි.

කන ඇසීමේ දුර්වලතා ඇතිවීම

01. උපතේදීම ඇති වන ශ‍්‍රවණ ආබාධ හේතුවෙන්
දරුවකුගේ උපතේදීම ශ‍්‍රවනාබාධ සදහා පහත කරුණු බලපා තිබිය හැකිය.

⋆ ජානමය ගැටලු.
⋆ මව විසින් ගර්භණී සමයේ භාවිත කළ ඇතැම්
ඖෂධ නිසා.
⋆ ගර්භණී සමයේ මවට පැපොළ හා රුබෙල්ලා වැනි
වෛරස් රෝග වැලඳීම.

පුංචි කිරිකැටියකු දෝතට පත් වූ සෑම දෙමාපියෙක් ම දරුවාගේ බාහිර නිරෝගීතාව මෙන් ම අභ්‍යන්තර නිරෝගීතාව පිළිබදවත් අවානය යොමු කළ යුතු ම ය. අලුත උපදින කිරි කැටියන්ගේ කන් ඇසීම පරීක්ෂා කිරීමට රෝහලෙන් පිටවීමට පෙර OAE පරීක්ෂාව සිදු කළ හැකිය. එම පරික්ෂණ වාර්තාව අනුව කන් ඇසීමේ දුර්වලතාවක් ඇද්දැයි ස්ථිරවම දැනගැනීම සදහා උගුර, කන හා නාසය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරයි. මුල් අවදියේම දරුවකුගේ කන් ඇසීමේ දුර්වලතා හදුනාගැනීමෙන් දරුවාගේ කථනය ආරම්භවීමට ප‍්‍රථමව ශ‍්‍රවණය දියුණු කිරීමට අවශ්‍ය ප‍්‍රතිකර්ම සිදු කළ හැකි නිසා කන් ඇසීමේ දුර්වලතාව නිසා ඔවුන්ගේ කථනයට ඇති විය හැකි බාධා අවම කරගැනීමට හැකියාවක් ලැබේ. මෙහිදී දරුවාගේ කන් ඇසීමේ දුර්වලතාවට බලපාන හේතුව අනුව ශ‍්‍රවණ උපකරණ භාවිතය හෝ කර්ණශංඛ බද්ධය වැනි ශල්‍යකර්මයන්ට යොමු කිරීමෙන් කන් ඇසීම යථාතත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව ඇත.

02. ජිවිතයේ පසුකාලීනව ඇතිවන ශ‍්‍රවණ ආබාධ හේතුවෙන්

උපතින් පැහැදිලි කන් ඇසීමක් තිබුණු පුද්ගලයෙකුට පසුකාලීනව ඇසීමේ දුර්වලතා ඇතිවිය හැකිය.

x කන තුළ කලාදුරු හිරවීම, කනෙහි විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවීම, මැද කනෙහි සෙම හෝ දියර එකතුවීම, සෙම්ප‍්‍රතිශ්‍යාව, කදුකර ප‍්‍රදේශවල ගමන් කිරීම හා දියේ ගිලී නෑම වැනි හේතූන් නිසා කන් ඇසීම දුර්වල ඇති විටක නිසි පරිදි ප‍්‍රතිකාර කිරීම තුළින් කන් ඇසීම යථාතත්ත්වයට පත් කර ගත හැකිය.

x ස්නායු දුර්වලතා මත ඇති වූ කන් ඇසීමේ දුර්වලතා.
ක්ෂණිකව ඇතිවන ස්නායු ආබාධයන්ට ඖෂධ ප‍්‍රතිකර්මයන් වහාම පැය 48ත් 72ත් අතර කාලයක් තුළ දී ලබාදීමෙන් යම්තාක් දුරට සුව කර ගත හැකිය. හදිසියේ ඇති වන ස්නායු ආබාධ වෛරස් ආසාදන, ලේ ගමනේ දුර්වලතා හෝ ස්නායුවේ ඉදිමීම නිසා ඇතිවිය හැකිය. එහෙත් මෙම තත්ත්වය කල්ගතවීමෙන් පසු ප‍්‍රතිකාර වෙත යොමු වුවත් ඖෂධ මගින් යථාතත්ත්වයට පත් කර ගැනීමට අපහසු ය.

x පුද්ගලයන් වයසට යාම නිසා ඇති වන ඇසීමේ දුර්වලතා ද නැවත යථාතත්ත්වය පත් කර ගැනීමට ඖෂධ මගින් නොහැකිය.

x බොහෝ විට අපි විවිධ දේවල් කනට ඇතුළු කොට කන කැසීම හා කලාදුරු ඉවත් කිරීමට උත්සහ කිරීමේදී කන් බෙරයට හානි වී කන ඇසීමේ දුර්වලතා ඇති විය හැකිය.

කන ඇසීමේ අඩු පාඩුවක් ඇති බව හදුනාගන්නේ කෙසේද?

කුඩා දරුවන්ට තම කන් ඇසීමේ දුර්වලතාවක් ඇති බව පැහැදිලිව ම අවබෝධ කරගන්නට අපහසුයි. ඒ බව දරුවන්ගේ කි‍්‍රයාකාරකම් තුළින් දෙමාපියන් විසින් වටහාගත යුතුය.

අවුරුදු 3ට වඩා අඩු දරුවන් ශබ්දවලට ප‍්‍රතිචාර දක්වන්නේ නැද්ද යන්න සුපරික්ෂාකාරී විය යුතුය. නිවසේදී යමක් පවසන විට කිහිප වාරයක් ඇසීම, යමක් පවසන විට ප‍්‍රතිචාර නොදක්වා සිටීම, අධ්‍යාපන කටයුතුවල නියුතු දරුවකු ගුරුවරයා උගන්වන විට වැඩි අවධානයක් යොමු නොකිරීම, කුඩා දරුවන් ඉතා දඟකාරීවීම වැනි ලක්ෂණ දැකිය හැකිය. කුඩා කාලයේදී ම ශ‍්‍රවණ ඌනතා හඳුනාගත් විට එම ආබාධ සම්පූර්ණයෙන් ම සුවපත් කළ හැකිය.

වැඩිහිටි පුද්ගලයෙකුට නම් තම කන් ඇසීමේ දුර්වලතාවක් ඇත්ද යන්න පහසුවෙන් වටහාගත හැකිය.

ඔබට කන් ඇසෙනවාදැයි ගෙදරදීම පරීක්ෂා කර බලන්න

ඔබගේ කන ඇසීම පිළිබඳ යම් සැකයක් හෝ අවිනිශ්චිතතාවක් ඇත්නම් නිවසේදී සවනට මුමුණා පරීක්ෂා කිරීම හෙවත් Whispering Test නමින් හඳුන්වන මෙම සරල පරීක්ෂණය සිදු කර බලන්නට ඔබට හැකිය. මෙම පරීක්ෂණය සිදු කිරීමට සඳහා දෙදෙනෙකු සිටිය යුතුය.

පළමු ක‍්‍රමය

x කන් ඇසීම පරීක්ෂණයට බඳුන්වන්නේ ඔබ නම් මුලින් ම පුටුවක හිදගන්න.

x පරීක්ෂණය සිදු කරන පුද්ගලයටාව ඔබගේ අතේ දුරින් ඔබේ පිටු පසින් සිට ගත යුතුය.

x පරීක්ෂණය සිදු කරන පුද්ගලයා ඔබේ වම් කනෙහි විවරය දබරැඟිල්ල තබා හොදින් වැසිය යුතුය.

x දැන් පරීක්ෂණය කරන පුද්ගලයාගේ ඔහුගේ මුව මදක් ඉවතට හරවා අංක දෙකකින් යුතු ඉලක්කම් දහයක් දොළහක් පමණ රහසින් මුමුණන්න.

x ඔබ මෙම මුමුණන ලද අංක දහය අසා සිට ඒවා නැවත කියන්න.

x ඔබ එම අංක නිවැරැුදිව ප‍්‍රකාශ කළහොත් ඔබේ ශ‍්‍රවණ මට්ටම සායනික වශයෙන් ප‍්‍රමාණවත් ය.

x එම අංක පැහැදිලිව නොඇසෙන්නේ නම් ශ‍්‍රවණ මට්ටමෙහි කිසියම් අඩු පාඩුවක් ඇති බව සිතිය හැකිය.

x මේ ආකාරයට දකුණු කනෙහි ඇසීම ද පරීක්ෂා කරන්න.

දෙවන ක‍්‍රමය

x මෙහිදී ඔබ පුටුවක හිදගන්න.

x පරීක්ෂා කරන පුද්ගලයා ඔබේ වම් පසින් අතේ දුරින් සිටගත
යුතුය.

x දැන් ඔබේ අතින් දකුණු කන වසාගන්න.

x පරීක්ෂාව කරන්නා රහසක් පවසන විට මෙන් දෑතක්
මුවට තබා රහස්න අංක හෝ වචන කිහිපයක් මුමුණා
කිව යුතුයි.

x ඔබ මෙම මුමුණන ලද අංක හෝ වචන අසා සිට ඒවා නැවත කියන්න.

කෙසේ වෙතත් කන ඇසීම පිළිබද යම් සැකයක් ඇති වන්නේ නම් ළඟම ඇති රෝහලෙහි පිහිටි උගුර, කන හා නාසය පිළිබඳ සායනය වෙත ගොස් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගන්න.

උගුර කන, නාසය හා ගෙල පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ

සටහන – දිශාන්ති වෙදගේ