Health Guide

ඔබ ඇපල් ගෙඩියක්ද? පෙයාස් ගෙඩියක්ද?

බටහිර රටවල අය අපට වඩා මේදය වැඩි සත්ත්ව ආහාර ගනිමින්, අපට වඩා ශරීර ප්‍රමාණවලින් ද වැඩිවී, නමුත් හැඩැති සිරුරු සහිතව ජීවත් වෙති. එහෙත් මස් වර්ග වැඩිපුර අනුභව නොකර සිටිද්දීත් කුඩා ශරීර ඇති දකුණු ආසියාතිකයන් අතර ස්ථූලතාවය, දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග ද සුලබවී ඇත්තේ ඇයි?

එයට හේතුව නම්, මෙම බෝ නොවන රෝග ඇති කිරීමට මූලික වන ජානමය සංකූලතා බොහොමයක් අපට පිහිටා තිබීමයි. එබැවින්, බටහිර ජාතිකයින්ට වඩා වැඩි අවදානමක් අපට ඇත.
අපේ සිරුරේ සම යට ඇති මේද තට්ටුව ද ඉක්මනින් දිය වී රුධිරයට පැමිණ රුධිර නාළිකා අවහිර කරමින් අධිරුධිර පීඩනය සහ හෘද රෝග පහසුවෙන් ඇති කරයි. එහෙත් බටහිර ජාතිකයන්ට ඇත්තේ අපට වඩා ස්ථාවර (ඉක්මනින් දිය වී රුධිරයට නොපැමිණෙන) මේද තට්ටුවකි. එබැවින් ඔවුන් අපට වඩා ආරක්ෂිතයි. මේ හේතුන් නිසා, හෘද රෝග අවදානම මැනීමේදී, බටහිර රටවල මිනුම් අපට භාවිත කළ නොහැකිය. දකුණු ආසියාතිකයින් සඳහා වෙනම මිනුම් තිබේ.

ඔබේ ශරීර මිනුම් මෙම මට්ටම්වල පවත්වාගැනීමට උත්සාහ කිරීමෙන් බෝ නොවන රෝග අවදානම අඩු කර ගත හැකිය.

■ ශරීර ස්කන්ධ දර්ශකය (බර (kg)/ උස2 (m2))
සාමාන්‍ය – 18.5 – 22.9 kg m-2
අධි බර – 23 – 24.9 kg m-2
ස්ථූල – >25 kg m-2

■ ඉන වටා ප්‍රමාණය –
<90 cm (පිරිමි), <80 cm (ගැහැනු)

■ ශරීරයේ හැඩය – ඇපල් ද? පෙයාස් ද?
ඇපල් – වැඩිපුර මේදය, බඳ වටා ඇත.
පෙයාස් – වැඩිපුර මේදය, තට්ටම් සහ කලවා වටා ඇත.

මෙයින් ඇපල් හැඩති සිරුරෙහි මේදය ඉක්මනින් දියවී රුධිරයට පැමිණ හෘද රෝගවලට මග පාදයි. පෙයාස් හැඩති සිරුර සන්ධි අමාරු සහ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගවලට මග පාදයි.

එබැවින් ඇපල් හැඩ සිරුරත්, පෙයාස් හැඩ සිරුරත් දෙක ම යෝග්‍ය නොවේ. එහෙත් අප මගතොටේ දී, නිවසේ දී දකින – හමුවන බොහෝදෙනා ඇපල් හෝ පෙයාස් ගෙඩි නොවේදැයි (බොහෝ විට දකුණු ආසියාතිකයන් ඇපල් හැඩ සිරුරු දරති.) හොඳින් අධ්‍යයනය කර බලන්න.

ඇයි අපේ සිරුරුවල හැඩය ගැන අපි සැලකිලිමත් නොවන්නේ?

පුරාණයේ පටන් ම සිරුරේ හැඩය ගැන ලාංකිකයන් සතුව තිබූ ආකල්ප යම් තරමකට මෙයට හේතුවී ඇත. තවමත්, කෘෂ බව දුර්භාග්‍යයේ සලකුණක් ලෙස ද, ස්ථූල බව සෞභාග්‍යයේ සලකුණක් ලෙස ද අපි පිළිගනිමු. ආහාර පාලනයෙන් තරමක් සිරුරේ හැඩය සකස් කර ගත් කෙනෙකුට “දැන්නම් සිරුර නිසි හැඩයට තියෙනවා.” යැයි පවසන බටහිර මතය වෙනුවට අප තවමත් පවසන්නේ “අනේ! ඇදිලා ගිහිල්ලා.” යන මතයයි. අපේ මුල් ඇඳුම පවා සැකසී ඇත්තේ තරබාරු නොවන කෙනෙකුත් තරබාරු ලෙස / බඩ මහත ලෙස පෙන්වන ලෙසයි. එය ශ්‍රී ලාංකික සිතුවිලිවලට අනුව, ගාම්භීර බව පෙන්වන සලකුණකි.

දරුවන් බිහි වූ පසු සිරුරේ සිදුවන වෙනස්වීම් සාමාන්‍ය දෙයක් සේ සලකා නැවත සිරුර සකස් කර ගැනීමට කාන්තාවන් කිසිදු උනන්දුවක් නොමැතිවීම තවත් හේතුවකි. මීට අමතරව, ව්‍යායාම ගැන සැලකිලිමත් නොවීම, කය වෙහෙසා වැඩ නොකිරීම ද ප්‍රධාන හේතුන් අතර වේ.

ව්‍යායාම ගැන අප සතු උනන්දුව ඉතාම අල්පවීමට හේතුවී ඇති බොහොමයක් කාරණා අතුරින් වැඩ අධික බව / අවිවේකී බව, කම්මැලිකම සහ ව්‍යායාම ගණයට වැටෙන ක්‍රියාකාරකම් මොනවාදැයි නොදැනීම ප්‍රධානව පවතී. (බොහෝ අය සිතනුයේ, ආහාර පිසීම, රෙදි සේදීම, කඩපොළට සතුටු සාමීචියේ යෙදෙමින් සෙමින් ඇවිද යාම ආදිය ද ව්‍යායාම වන බවයි. එහි දී සිරුරට වෙහෙසක් දැනුණත් එයින් සිරුරට ව්‍යායාමයක් සිදු නොවේ. වතු වැඩ, තරමක් වේගයෙන් ඇවිදීම, නර්තනය, බයිසිකල් පැදීම ආදිය ව්‍යායාම ගණයට අයත් ක්‍රියාකාරකම් ය. මීට අමතරව යෝග, එරෝබික් වැනි ව්‍යායාම වෙනමම කිරීම ද නිවැරදි ය.) මෙහි දී ක්‍රමානුකුලව දිනකට විනාඩි 20 බැගින් දින 7ම හෝ සතියකට විනාඩි 150 වන සේ කාලය බෙදාගෙන හෝ ව්‍යායාම කිරීම නිරෝගී ජීවිතයකට අනිවාර්ය අංගයකි. සිරුර ස්ථූල වූවාට පසුව ව්‍යායාම කිරීමට වඩා ව්‍යායාම මගින් නිසි අයුරු සිරුරේ බර සැමවිට ම පවත්වාගැනීම කළ යුතුය.

ඔබ අධි බර හෝ ස්ථූල නම්, සිරුරේ හැඩය පවත්වාගැනීමට කළ යුතු ව්‍යායාම, යෝග සහ අනේකවිධ වූ ක්‍රමවේදයන් අන්තර්ජාලයෙනුත්, App මගිනුත් ඔබත් අත්හදා බලා ඇතිවාට සැක නැත. කෙතරම් ව්‍යායාම කළත් මහත් වුණ තරම් වේගයෙන් අපිට කෙට්ටු වෙන්නට බැරි ඇයි?

මෙයට හේතුව සිරුර ස්ථුල වන්නේ, ඔබ ගත් ආහාර (ප්‍රධාන වශයෙන් ම කාබෝහයිඞ්රේට් සහ තෙල් අධික ආහාර) මේදය ලෙස සිරුරේ තැන්පත්වීම නිසායි. ගත් ආහාර මේදය වූ පසුව දියකර හැරීම පහසු නොවේ. හේතුව නම්, කාබෝහයිඞ්රේට 1ට ප්‍රමාණයක් දහනය කිරීමේ දී කිලෝ කැලරි 4 වැය වුවත්, මේදය 1ට දහනය කිරීමට කිලෝ කැලරි 9 දහනය කළයුතුවීමයි. එබැවින් මේද පටකයෙන් සිරුරේ බර කිලෝ ග්‍රෑම් 1කින් අඩු කර ගැනීමට කිලෝ කැලරි 9000ක් දහනය වන සේ ව්‍යායාම කළ යුතුය. මහත් වන තරම් ඉක්මනින්, ව්‍යායාමවලින් බර අඩු කර ගැනීමට අපහසු වන්නේ එබැවිනි. (කිලෝ 60ක් බර කෙනෙක් පැයක් ඇවිදීමෙන් වැය වන්නේ කිලෝ කැලරි 270, දිවීමෙන් කිලෝ මීටරයට කිලෝ කැලරි 60, දැඩි එරොබික් ව්‍යායාම මගින් පැයට කිලෝ කැලරි 600).

එබැවින් සිරුර ඇපල් ගෙඩියක් හෝ පෙයාස් ගෙඩියක් වනතුරු නොසිට, සිරුරේ හැඩය ගැන ඔබේ ආකල්ප නිවැරදි ලෙස වෙනස් කරගෙන, හොඳ සෞඛ්‍යය රැකගැනීමට සෞඛ්‍යසම්පන්න අහාර පුරුදු සහ නිරතුරු ව්‍යායාම වෙත යොමුවීමට හැමවිට ම උත්සාහ කරන්න.

ආචාර්ය සුභාෂිනී සේනාධීර
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශය –
වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය –
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය)