Health Guide

අන්ත්‍රයේ මිත්‍රයෝ ගැන ඔබ දැනුවත්ද?

කිසිවෙකුත් නැතිව තනිව සිටින විට ‘හුදෙකලා’ බවක් ඔබට ජීවිතයේ කවදාක හෝ දැනී ඇති. CoViD වසංගත සමයේ තනිවම නිරෝධායනයට ලක් වන්නට සිදු වුණා නම් ඒ අත්දැකීම ඔබට හොඳටම මතක ඇති. එහෙත්, කිසිවෙකුත් නැතිව ඔබට තනිවන්නට කිසිවිටෙක ඉඩක් නැති බව මතක තබාගන්න. ඒ මන්ද යත්, ඔබගේ සිරුරේ ඇති සෛල ප්‍රමාණයටත් වඩා බොහෝ වැඩි ගුණයක් වූ ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් සිරුර මත සහ ඒ තුළ ඔබ තබාගෙන සිටින බැවිනි. එයිනුත් ආහාර මාර්ගය තුළ පදිංචිව සිටින ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය, ඔබගේ සිරුරේ සෛල ගණන මෙන් දස ගුණයක් පමණ වන බව සඳහන් වේ. එහෙත්, සිරුරේ සිටින බැක්ටීරියා ප්‍රමාණය, සිරුරේ සෛල ප්‍රමාණයට ම සමාන බව ද සමහර පර්යේෂකයෝ පවසති.

ඖෂධ හෝ බැක්ටීරියා නාශක මගින් මේ සියලුදෙනා ඉවත් කර දමා, අති පිරිසිදු සිරුරක් පවත්වාගැනීමට ජීවානුහරණයක් සිදු කර ගත්තොත්?

එසේනම් ඔබට ඉතා භයානක සෞඛ්‍යමය ගැටලු රැසකට මුහුණපාන්නට සිදු වේවි. මේ බොහෝ ක්ෂුද්‍ර ජීවීන් අපගේ ‘මිත්‍රයන්’වීම ඊට හේතුවයි. මේ ලිපිය මගින් කතා කරන්නේ ආහාර මාර්ගයේ සිටින අපගේ බොහෝ ‘මිත්‍ර ක්ෂුද්‍ර ජීවීන්’ අතුරින් ප්‍රධාන වශයෙන් ම ආන්ත්‍රික බැක්ටීරියා ගැන පමණයි.

ආහාර මාර්ගයට මුලින් ම බැක්ටීරියා එන්නේ කෙසේද?

උපතේ දී ම අපගේ ආහාර මාර්ගයට බැක්ටීරියා පැමිණ ස්ථාපිත වෙයි. පර්යේෂණ දත්තවලට අනුව, සාමාන්‍ය දරු උපතක දී මවගේ ‘මිත්‍ර බැක්ටීරියා’ බොහොමයක් දරුවාගේ ආහාර මාර්ගයේත් ස්ථාපිත වන නමුත්, සිසේරියන් සැත්කමකින් සිදු වන දරු උපතක දී දරුවා තුළ රෝග කාරක බැක්ටීරියා ස්ථාපිතවීමට ඇති ඉඩකඩ වැඩි අතර ‘මිත්‍ර බැක්ටීරියා’ ස්ථාපිතවීම සඳහා යම් කාලයක් ගත වේ. Archaea සහ Eukarya ගණයට අයත් ක්ෂුද්‍ර ජීවීන් ආහාර මාර්ගය තුළ ස්ථාපිතවී ‘මිත්‍ර ක්ෂුද්‍ර ජීවීන්’ බවට පත් වේ. එයිනුත් සියයට අනූවකටත් වැඩි ප්‍රමාණයක් Proteobacteria” Firmicutes” Actinobacteria සහ Bacteroidetes වංශවලට අයත් ය. උපතින් පසුව, ආහාර මාර්ගයේ ක්ෂුද්‍ර ජීවීන් වර්ගය සහ ප්‍රමාණය තීරණය වන ප්‍රධාන ම සාධකය වන්නේ අපගේ ආහාර රටාවයි.

සාමාන්‍ය ආයු කාලයක් ඇති පුද්ගලයෙකු ලෙස ජීවත් වුවහොත්, ජීවිත කාලය පුරා ටොන් 60ක පමණ ආහාර ප්‍රමාණයක් අපි ආහාර මාර්ගය හරහා යවන්නෙමු. අවට පරිසරයේ සිටින අති මහත් වූ ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් ද මේ සමගම අපි ගිල දමන්නෙමු. ආහාර මාර්ගයේත්, සිරුරේත් නිරෝගී බවට මෙය මහත් තර්ජනයක් විය හැකිය. එනමුත් ‘ආන්ත්‍රික මිත්‍රයන්’ අපව ආරක්ෂා කරයි. ඔවුන් විසින් සිදු කරන මූලික ම උපකාර වන්නේ ප්‍රතිශක්තිය පවත්වාගැනීම, සිරුරේ පරිවෘතීය සමබර කර ගැනීම, ආහාර මාර්ගයේ සෛලවලට ශක්තිය සැපයීම, විටමින් නිපදවීම සහ රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අපව ආරක්ෂා කර ගැනීමයි. මිත්‍ර බැක්ටීරියාවල ගහනයන් අසමතුලිතවීමෙන් ප්‍රදාහ (Inflammation) සහ ආසාදන (Infection) තත්ත්වවලට අපගේ සිරුර ලක් වෙයි. දියවැඩියාව ආදී බෝ නොවන රෝගවල සිට පාචනය වැනි රෝග දක්වා රෝග රැසකට මූලාරම්භය සැපයෙන්නේ මිත්‍ර බැක්ටීරියා ගහනයන්වල අසමතුලිතතාව බවට විද්‍යාත්මක මතයක් ද පවතී.

අප ගන්නා ආහාරවල ඇති යම් සංඝටක ජීර්ණය කරමින් ප්‍රතිශක්තිය දියුණු කරන සංයෝග සෑදීමට මිත්‍ර ක්ෂුද්‍ර ජීවීන් සමත් ය. ද්‍රාව්‍ය අහාර තන්තු (Soluble dietary fibers) මත සිදු වන ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය මගින් බියුටයිරේට්, ඇසිටේට්, ප්‍රෝපියෝනෙට් වැනි කෙටි දාම මේද අම්ල (Short chain fatty acids) සෑදෙන අතර මේවායින් සිරුරට ඉමහත් ප්‍රයෝජනයක් ඇත. මහා අන්ත්‍රයේ සෛලවලට ශක්තිය සපයන්නේ මේ මේද අම්ලවලිනි. ආහාරවල ඇති පිළිකා කාරක හෝ වෙනත් විෂ රසායන ද්‍රව්‍යවලින් ආන්ත්‍රික සෛලවල DNAවලට සිදු වන හානිය වළක්වා, පිළිකා නැසීමේ ගුණයක් ද බියුටයිරේට්වල ඇත. ප්‍රෝපියෝනෙට් මගින් මහා අන්ත්‍රයේ ක්‍රමාකුන්චන චලන වැඩි කර මලබද්ධය වළක්වයි. මල ද්‍රව්‍යවල ඇති ජල ප්‍රමාණය වැඩි කර මල පිට කිරීම පහසු කරයි. අක්මාව තුළ කොලෙස්ටෙරෝල් නිපදවීම අඩු කර සිරුරේ කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය කරයි. ආන්ත්‍රික පිළිකා සහ මලබද්ධය වැළැක්වීම සඳහා ද්‍රාව්‍ය අහාර තන්තු සහිත එළවළු, පලතුරු, ඕට්ස් සහ මාශ බෝග වැනි ආහාර ලබාගැනීමට වෛද්‍ය උපදෙස් දෙන්නේ ද එබැවිනි. සිරුරට අවශ්‍ය විටමින් K සහ විටමින් B9 (ෆෝලේට්) සහ B12 ප්‍රධාන වශයෙන් ම නිපදවන්නේ ද මේ මිත්‍ර ක්ෂුද්‍ර ජීවීන් ය. දීර්ඝ කාලීන ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ දී, රුධිර ගැලීමේ රෝග (Hemorrhagic diseases) හටගැනීමේ ප්‍රවණතාව ද වැඩි වන්නේ විටමින් ණ අඩුවීම නිසායි.

රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් ආහාර මාර්ගයට පැමිණි විට ඔවුන් සමග තරගකොට පලවාහැර ආහාර මාර්ගය රැකගැනීම ද මොවුන්ගේ කාර්යයකි. ප්‍රතිජීවක ඖෂධ දීර්ඝ කාලීනව ලබාගත් පසු අජීර්ණ තත්ත්ව හෝ පාචනය වැනි තත්ත්ව හටගන්නේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ව පලවාහරින මිත්‍ර බැක්ටීරියා ද ප්‍රති ජීවක මගින් විනාශ වන හෙයිනි.

අපෙන් ඔවුන්ට ඇති වාසි මොනවාද?

අපගේ ආහාර මාර්ගය ඔවුන්ගේ වාස භූමියයි. අප ගන්නා ආහාරවලින් කොටසක් නිර්වායු ශ්වසනයට ලක්කොට ශක්තිය නිපදවාගැනීමට මොවුන් සමත් ය. එබැවින් අපගේ ආහාර මාර්ගය යනු, ක්ෂුද්‍ර ජීවීන් සහ අප, එකිනෙකාට උපකාර කරගනිමින් පැවැත්ම ගෙන යන පරිසර පද්ධතියකි.

අපගේ ආහාර රටාව මෙම මිත්‍ර ක්ෂුද්‍ර ජීවී ගහනයට බලපෑම් ඇති කරයි. මාංශ ආහාර වැඩිපුර ගන්නා අයට සාපේක්ෂව, ශාක ආහාර වැඩිපුර ගන්නා අයගේ ඉතා හොඳ ක්ෂුද්‍ර ජීවී ගහනයක් ඇත. ශාක ආහාරවල ඇති තන්තු, මිත්‍ර ක්ෂුද්‍ර ජීවීන්ට ආහාර සපයමින් අපගේ සිරුරටත් වාසි සැපයීම මීට හේතුවයි. මව් කිරි බොන දරුවන්ගේ සහ ආදේශක කිරි පිටි (Formula milk) බොන දරුවන්ගේ ක්ෂුද්‍ර ජීවී ගහන එකිනෙකට වෙනස් ය. ප්‍රතිජීවක ඖෂධ දිගු කලක් ලබාගන්නා අයගේ ක්ෂුද්‍ර ජීවී ගහනය අඩු ය. විශේෂයෙන් ම ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන විට කුඩා දරුවන්ගේ ආහාර මාර්ගයේ මිත්‍ර ක්ෂුද්‍ර ජීවීන් නැවත ස්ථාපිත කිරීම ගැන සැලකිලිමත් විය යුතුය.

ආහාර රටාව මගින් ක්ෂුද්‍ර ජීවී ගහන ස්ථාපිත කරගන්නේ කෙසේද?

යෝගට්, මුදවපු කිරි, මාශ බෝගවල (උඳු, මුං ඇට වැනි) පිටිවලින් රාත්‍රිය පුරා පැසවා සාදන තෝසේ, ඉඩ්ලි වැනි ආහාර, දිය බත්, පැළ කරන මාශ බෝග (පැළ වන මුං බීජ) වැනි ආහාර මගින් ද, වෛද්‍ය උපදෙස් මත ඖෂධ සල්වලින් මිල දී ගත හැකි ක්ෂුද්‍ර ජීවීන් ස්ථාපිත කරන ආහාර අතිරේක (Supplements) මගින් ද නැතිවී ගිය ක්ෂුද්‍ර ජීවීන් ආහාර මාර්ගය තුළ නැවත ස්ථාපිත කරගත හැකිය. තන්තු බහුල ආහාර මගින් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම වැඩි කරගත හැකිය.

එබැවින් ඔබගේ උපතේ සිට ම ඔබ සමග ම සහජීවී ලෙස ජීවත් වෙන්නා වූ ආහාර මාර්ගයේ ‘මිත්‍ර‘ බැක්ටීරියා ගැන දැනුම්වත්වීමත්, ඔබටත් ඔවුන්ටත් ‘සැනසීමෙන් ජීවත්වීමට’ සුදුසු පරිසරයක් ආහාර මාර්ගය තුළ සකසාගැනීමත් නිරෝගී ජීවිතයකට මහඟු පිටිවහලකි.

ආචාර්ය සුභාෂිනී සේනාධීර
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශය –
වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය –
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය)