Food

සුන්දර ළමාවිය ස්ථූලබවට යට නොකරමු

“බෝලේ වගේ චබී බබාලා පවුලට – ගෙදරට හරි වාසනාවක්! දැක්කම හරි ආදරේ හිතෙනවා.”

මේ ශ්‍රී ලාංකික දරු පරපුරේ ශරීර ප්‍රමාණය ගැන බහුතරයක් දරන මතයයි. පෙනෙන්නට රෝගී බවක් දැනට නොතිබුණත්, ළමා වියේ අධිබර හා ස්ථුලතාව යම් දිනෙක දරුවාටත්, සමාජයටත්, රටටත් හානියක් – බරක් වනු ඇත. ලෝක ඉතිහාසයේ, තම දෙමාපියන්ට කලින් මියයන පළමු පරපුර, වර්තමාන දරු පරපුර වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් ද කර ඇත්තේ මේ ස්ථුලතාව බොහෝ රෝග රැසකට මග පාදන නිසායි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසර 1975 දී ස්ථූලතාවය ඇති ළමා ජනගහනය මිලියන 11ක් වූ නමුත් වසර 2016 වන විට එකොළොස් ගුණයක වැඩිවීමක් පෙන්නුම් කරමින් එය මිලියන 124ක් දක්වා වර්ධනයවී තිබේ. මේ ගැටලු‍වේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන්නේ දකුණු සහ අග්නිදිග ආසියාතික, අප්‍රිකානු ආදී මධ්‍යම ආදායම් ලාභී රටවල්වල ය. දීර්ඝ කාලයක සිට පැවත ආ ඔවුන්ගේ පාරම්පරික සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවෙන් මිදීම මීට එක හේතුවකි. ඉතා දුගී බවක සිට යම් ඉහළ ආදායම් මට්ටමකට පැමිණීම නිසා සිදු වූ අහාර සහ ජීවන රටාවන්හිවූ වෙනස්කම් ද මීට මූලිකව ම බලපා තිබේ.

ලෝකයේ අධිබර හා ස්ථූලතාවට මූලික වන හේතුන් අතර ගර්භණී සමයේ නිසි පෝෂණයක් නොලැබීම (ගැබිනි සමයේ නිසි පෝෂණයක් නොලැබීමෙන් දරුවා මන්දපෝෂණයට පත්වන අතර ජීවිතයේ පසු කාලයක වැඩිපුර ආහාර ගැනීමෙන් ස්ථූලතාව ඇතුළු බෝ නොවන රෝගවලට ලක් වේ.) සහ gestational diabetes හෙවත් ගර්භණී සමයේ දියවැඩියාව (ගර්භණී සමයේ දී අධි ග්ලු‍කෝස් සහිත මවගේ රුධිරයට දරුවා නිරාවරණයවීම හේතුවෙන් වැඩි ඉන්සියුලින් ප්‍රමාණයක් දරුවා තුළ නිපදවී වැඩෙන දරුවාගේ සිරුර තුළ මේදය තැන්පත්වීම වැඩි වේ. උපත් බර වැඩි දරුවන් බිහි වේ. මෙම අවස්ථාව macrosomia නමින් හඳුන්වයි.) ඉහළ තැනක් ගනී. කුඩා අවධියේ දී ම අධි සීනි, ලු‍ණු, මේද සහිත ආහාරවලට හුරු කිරීම, ක්ෂණික සහ කෘත්‍රීම රසකාරක යෙදූ ආහාර ප්‍රචාරණ දැන්වීම්, වීඩියෝ – පරිගණක – දුරකතන ක්‍රීඩාවලට යොමුවීම නිසා වන ව්‍යායාම අඩුකම, පවුලේ අන් අයගේ ජීවන සහ ආහාර රටාව යන කරුණු ද ප්‍රබලව මෙයට බලපායි. මේවා අතරින් ශ්‍රී ලාංකික අපේ දරුවන්ට වැඩිපුර ම බලපා ඇති කරුණු ගැන වඩාත් සැලකිලිමත් වෙමු.

ආහාර රටාව

මුළු ජීවිත කාලය තුළ ම අපේ ආහාර රටාව සහ කැමති – අකමැති ආහාර පිළිබඳ අදහස් අප තුළ ස්ථාපිත වන්නේ ළමා අවධියේ දී ය. එබැවින්, කුඩා දරුවන්ට අධිශක්ති ජනක, අධි මේද සහ සීනි, ලු‍ණු වැඩි ආහාර ලබාදීමෙන් සිදු වන්නේ ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලය පුරා ම එවන් ආහාරවලට ඔවුන්ගේ දිවත් – මනසත් හුරු කිරීමකි. දරුවන් මහතට සිටීම සෞභාග්‍යයේ සංකේතයක් සේ සිතන, එවන් මහත දරුවන් සුන්දර යයි සිතන සමාජයක් ලංකාවේ තවමත් තිබේ. මව්වරුන්, වෙළෙඳ දැන්වීම්වලින් හුවා දක්වන ‘පෝෂණීය’ යයි කියන බොහෝ දේ දරුවාට ගිල්වන්නේ මහත – සුන්දර දරුවෙකුගේ රූපය බලාපොරොත්තුවෙනි.

දරුවන් කඩ කෑමවලට වැඩි රුචියක් දැක්වීම සහ පාසල්වල භෝජනාගාරවල සෞඛ්‍යයට අහිතකර මේද අධික, සීනි අධික, කෘත්‍රිම රසකාරක සහිත ආහාර සහ පැණි බීම වර්ග විකිණීම තවත් ගැටලු‍ රැසක් ඇති කර තිබේ. රජයෙන් මේ පිළිබඳව යම් යම් කාලවල දී විවිධ පාලනයන් යෙදුවත් නිවසේ සිට පාසලටත්, පාසලේ සිට නිවසටත් යන අතරතුර දරුවන්ව මෙවන් ආහාර රකුසන්ගෙන් ගලවාගන්නට තවමත් නොහැකිව තිබේ.

තවත් පර්යේෂණයකින් තහවුරුවී ඇත්තේ සාමාන්‍ය බර දරුවන්ට සාපේක්ෂව අධිබර දරුවන්ට ක්‍රමානුකුල ආහාර රටාවක් ද නොමැති බවයි.

ආහාර සහ බීම වර්ග ගැන ඇති වෙළෙඳ ප්‍රචාරණ

බොහෝ රටවල් දරුවන්ගේ සෞඛ්‍යයට හානිකර ආහාර සහ බීම වර්ග ප්‍රචාරනය තහනම් කර තිබුණත් ශ්‍රී ලංකාව තුළ මෙය ඉතා ම නිදහස්ව ක්‍රියාත්මක වෙයි. WHO සහ UNICEF විසින් 2020 දී නිකුත් කරන ලද වාර්තාවකට අනුව වෙළෙඳ ප්‍රචාරණය ඉතා ම භයානක ලෙස ශ්‍රී ලාංකික දරුපරපුරට බලපා තිබේ. ලංකාවේ ඇති සියලු‍ ම ආහාර සහ වෙළෙඳ බීම ප්‍රචාරණ දැන්වීම්වලින් 78%ක් ම ඉලක්ක කර ඇත්තේ දරුවන්ව ය. ඒවායින් 74%ක් සෞඛ්‍යයට ගුණදායක බව, පෝෂණීය බව දැන්වීම්වල සඳහන් කළත්, ඒවායින් බහුතරයක් සිරුර ලෙඩ කරන ආහාර සහ බීම වර්ග බව හඳුනාගෙන ඇත.

එබැවින්, උදේ සිට රෑ නින්දට යනතුරු රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන්, පත්තරවලින්, මගතොට දැන්වීම් පුවරුවලින් සහ අන්තර්ජාලය ආදී අනේකවිධ මාධ්‍යයන් හරහා දිව පිනවන දේ පෙන්වා ‘පෝෂණීය’ යයි රවටා දරුවන්වත් දෙමව්පියන්වත් නොමග යවන ආහාර සහ බීම වර්ගවලින් ප්‍රවේසම්වීමට සිහිතබා ගත යුතුය.

රජය විසින්, සීනි, මේද සහ ලු‍ණු ප්‍රමාණය සඳහන් වර්ණ කේතයක් ආහාර සහ බීම සඳහා හඳුන්වා දී තිබේ. සෑම ඇසුරුමක ම ආහාරයේ සඳහන් ‘අඩංගු ද්‍රව්‍ය’ ලැයිස්තුවක් තිබේ. එහෙත් මේ දත්ත කියවා තමන්ට සුදුසු ආහාරය තෝරාගැනීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයා තවමත් හුරුවී නැත. එබැවින් නිෂ්පාදකයා විසින් වෙළෙඳපොළට එවන ඕනෑ ම ‘පෝෂණීය’ යයි සඳහන් දෙයක් අන්ධ භක්තියෙන් වැළඳීමට අප හුරුවී ඇත. සමහර ආහාර ඇසුරුම්වල ‘කෘත්‍රිම රසකාරක අඩංගු නැත.’ යයි විශාල අකුරෙන් සඳහන් කර ඇතත් ‘අඩංගු ද්‍රව්‍ය’ ලයිස්තුවේ මොනොසෝඩියම් ග්ලු‍ටමේට් (අජී – නො- මොටෝ) සහ තවත් නොයෙකුත් රසකාරකවල අංක සඳහන්ව තිබේ. විවිධ පෝෂක අඩංගු සීසනින් පව්ඩර් වර්ග ද කොතෙකුත් ඇත. අම්මාගේ ආදරය පෙන්වන සංකේතයන් සේ දැන්වීම් හරහා මෙම රසකාරක පිළිබඳ ආශාව පාරිභෝගිකයා වෙත ගෙන ආවත් මේවයින් සමහර ඒවා වෙනත් රටවල්වල තහනම් කළ හෝ පර්යේෂණවලින් ඔප්පු කළ සෞඛ්‍යයට හානිකර රසායනිකයන් ය.

එබැවින් වෙළෙඳ දැන්වීම්වල කුමක් කීවත් අසන්නා සහ පරිභෝජනය කරන්නා සිහිනුවනින් ආහාර පාන භාවිත කළ යුතුය. නිතරම ආහාර ඇසුරුම්වල ඇති කරුණු කියවීමටත්, තේරුම්ගත නොහැකි දේ ඉගෙන ගැනීමටත් හුරුවීම ඔබගේත්, දරුවන්ගේත් හොඳ ආහාර රටාවකට මග පාදනු ඇත.

අලස බව සහ ව්‍යායාම් අඩුකම

පාසල්වල සහ අමතර පන්තිවල වැඩි කාලයක් ගත කිරීම, වීඩියෝ, පරිගණක සහ රූපවාහිනී (වර්තමාන පරපුරට නම් ස්මාට් ෆෝන්) වැනි පුටුවක් සහ තිරයක් අතරට ජීවිතය සීමා කරන උපකරණවලට දරුවන් ඇබ්බැහිවී සිටීම ආදිය දරුවන්ගේ ව්‍යායාම් අඩුකමට මුලිකව ම හේතුවී ඇත. අධිබර වූ පසුව දරුවන් ක්‍රීඩා කිරීමට තවත් මැළිවීම මේ තත්ත්වය වඩාත් දරුණු කරනු ඇත.

ක්‍රීඩා කිරීමට පිටතට යැවීමට ඇති සමාජයේ අනාරක්ෂිත බව ද සෑහෙන දුරට මේ සඳහා බලපා ඇති බවක් ද පර්යේෂණවලින් පෙනී ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව වයස 5 – 17ත් අතර දරුවන් දිනකට අවම වශයෙන් විනාඩි 60ක් ශරීරය වෙහෙසා ව්‍යායාම කළ යුතුයි. එහෙත් ඒ සඳහා ලංකාවේ සමාජ වටපිටාවවත්, අධ්‍යාපන රටාවවත් පිටුබලයක් නොදෙන බව නම් කිව යුතුය. විශේෂයෙන් ම සමහර පෞද්ගලික පාසල්වල ක්‍රීඩා කිරීමට පිට්ටනියක් හෝ විවෘත ඉඩකඩක්වත් නොමැති බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. අධිබර සහ ස්ථූලතාව වැඩිපුර ම ඇත්තේ ද පෞද්ගලික පාසල්වල දරුවන් අතර ය.

ස්ථූලතාව ගැන ඇති ආකල්ප

ශ්‍රී ලංකාවේ කරන ලද පර්යේෂණයක දී හෙළි වුණේ, එයට සහභාගී වූ දරුවන්ගෙන් 60%දෙනෙකුට අධිබර පාලනය කිරීම සඳහා සායනවලට සහභාගීවීමට නිසි වෛද්‍ය උපදෙස් ලැබී තිබූ බවයි. එහෙත් එලෙස සායනවලට සහභාගීවී ඇත්තේ 7%ක් පමණයි.
පර්යේෂණයන්ට අනුව ශ්‍රී ලාංකික මව්වරුන් බොහෝදෙනෙක් සිතනුයේ කෘෂ දරුවන් ඉක්මනින් රෝගවලට ලක් වන අතර මහත දරුවන් රෝගවලට ලක්වන්නේ කලාතුරකින් බවයි. තවත් පර්යේෂණයකට අනුව දරුවාගේ ආහාර පාලනය දෙමව්පියන්ට වඩාත් අපහසුවී ඇත්තේ මිත්තනියන්, මුත්තනුවන් විසින් ඉල්ලන ඉල්ලන දේ දරුවන්ට ලබාදීමත්, කඩචෝරු කෑමට මුදල් ද ලබාදීමත් නිසායි.
අධිබර සහ ස්ථූලතාව බොහෝ රෝග රැසකට මගපාදන බවට දැනුමක් නොමැතිවීම ද තවත් හේතුවකි. වර්තමානයේ ස්ථූල දරුවා නිරෝගී බවක් පෙන්වුවත් ඔහුගේ අනාගතය සුබදායක නොවන බවට දෙමව්පියන්ට දැනුමක් නැති අතර ඔවුන් බොහෝදෙනෙකු සන්තාප වන්නේ මහත්වීමත් සමග සම කළුවීම වැනි දේ ගැන බව ද පෙනීගොස් ඇත.

අධිබර සහ ස්ථූලතාව අස්ථි සහ සන්ධි ආබාධ ඇති කරයි. එපමණක් නොව, ඇදුම, දිවා නිදිබර ගතිය සහ රාත්‍රී හුස්ම ගැනීමේ අපහසුව, නින්දේ දී ගෙරවීම සහ හෘද අකර්මන්‍යතාව, වැඩිහිටි වියේ දී දියවැඩියාව, ආඝාත, අධි රුධිර පීඩනය, කොලෙස්ටෙරෝල් වැඩිවීම, හෘද හා වාහිනී ආශ්‍රිත රෝග හට ගැනීම මොවුන් අතර සුලබ ය. ගර්භාශ, මහා ආන්ත්‍රික සහ පියයුරු පිළිකාවලට ඔවුන් තුළ වැඩි අවදානමක් ඇත. අන් අයගේ සමච්චලයට ලක්වීම ද මෙම දරුවන්ට දැඩිව බලපාන මානසික ගැටලු‍වකි.

මෙම සෞඛ්‍යමය ගැටලු‍ව පාලනය කිරීමෙහිලා දෙමව්පියන් මත විශාල වගකීමක් ඇත. ආහාර පාලනය, දරුවාට දෙන ආහාර සහ බීම ගැන තමාත් දැනුම්වත්වීම, දරුවන්ව ව්‍යායාමවලට යොමු කිරීම, පුටු සහ තිරයන් අතර ජීවිතය ගෙවන්නට නොදීම මගින් ඔවුන්ගේ ළමා කාලය මෙන්ම වැඩිහිටි විය ද නිරෝගිමත්ව ගත කරන්නට ඔවුන්ට උපකාර කිරීම වැඩිහිටි ඔබගේ වගකීමකි.

ආචාර්ය සුභාෂිනී සේනාධීර
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශය –
වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය –
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය)