Food

පලතුරු බීම වර්ග සෞඛ්‍යයට හිතකර ලෙස භාවිත කරමු

පලතුරු භාවිත කළ යුතු සුදුසු ම ක්‍රමය පිළිබඳව අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළෙමු. අප බොහෝදෙනෙක් භාවිත කරන පලතුරු බීම ගැන මේ ලිපියෙන් දැනුම්වත් වෙමු.

පලතුරු බ්ලෙන්ඩ් කර සීනි නැතිව හෝ පලතුරු බ්ලෙන්ඩ් කර සීනි දමා පානය සහ වෙළෙඳපොළේ ඇති බෝතල්වල හෝ ටෙට්‍රා පැක් එකේ එන පලතුරු බීම පානය අප අතර සුලබ ය. එමෙන්ම නෙක්ටා හෝ කෝඩියල් ලෙස ද අපි පලතුරු බීම භාවිත කරමු. සමහර විට වතුර දමා තනුක කර පානය කළ හැකි පවුඩර් ද, පලතුරු පානයන් ලෙස අපි භාවිත කරමු. මේවායින් වඩා සෞඛ්‍යාරක්ෂිත පලතුරු පානයන් මොනවාද?

පලතුරු බ්ලෙන්ඩ් කර සීනි නොදමා සාදාගන්නා පානය වඩාත් ම යෝග්‍යයි. පලතුරුවලත් සීනි වර්ග කිහිපයක් ම ඇති බැවින් ද පලතුරු බීමවල සරල සීනි ඉක්මනින් අවශෝෂණය වන හෙයින් ද සීනි නොදැමීම වඩාත් සුදුසු ය. මෙහිදී සදා ගත් පලතුරු පානය නොපෙරා පානය කිරීමෙන් ආහාරමය තන්තු සැලකිය යුතු ප්‍රමානයක් ද ඔබට ලබාගත හැකියි.

පලතුරු බීමවලට සීනි දැමීමෙන් සිරුරට ලැබෙන සීනි ප්‍රමාණය වැඩි නිසා ඉහත ක්‍රමය වඩා නිවැරදි ය. එසේම, බීම සාදා බොහෝ වෙලා තබා පානය කිරීමට වඩා නැවුම්ව පානය කිරීම වටී. මන්දයත්, කාලයත්, ආලෝකයත්, උණුසුමත්, වායුගෝලීය ඔක්සිජනුත් නිසා විටමින් C සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක ඉක්මනින් හානි විය හැකි බැවිනි.

වෙළෙඳපොළේ ඇති බෝතල් කළ හෝ ටෙට්‍රා පැක් එකේ ඇසිරූ පලතුරු බීම සහ නෙක්ටා බහුලව භාවිත වන නිසා ඒවා ගැන වඩාත් හොඳින් දැනගැනීම වටින්නේය. අනෙකුත් බොහෝ සතුන්ට සිරුරට අවශ්‍ය විටමින් C සිරුර තුළ ම නිපදවා ගත හැකි නමුත් මිනිසාට එසේ කළ නොහැකියි. එබැවින් අප විටමින් C ආහාරවලින් ලබාගත යුතු ම අතර එය ප්‍රධාන වශයෙන් ම ලැබෙන්නේ පලතුරුවලිනි.

එහෙත්, ඇසුරුම් කළ පලතුරු බීමවල සැකසීම් (processing) ක්‍රමවේදවල දී (විශේෂයෙන් ම උෂ්ණත්වය යොදා) ස්වාභාවික විටමින් C බහුලව හානි වේ. සමහර බීමවල සැකසීම් ක්‍රියාවලි අවසන් කළ පසු විටමින් C අලු‍තින් එකතු කර තිබේ. කෙසේ වුව ද, සැකසීම් ක්‍රියාවලියක් හරහා සැකසුනු පලතුරු බීමවල විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතා ම අවම ය. මෙම සමහර පලතුරු බීමවල පලතුරු යුෂය පමණක් අඩංගු අතර සමහර ඒවායේ කල්තබාගැනීමේ ද්‍රව්‍ය (stabilizers, emulsifiers) හෝ රසකාරක (flavour enhancers) අඩංගු ය.

පලතුරු යුෂය පමණක් අඩංගු බීම (100% juice only) සැකසීම් ක්‍රියාවලිවලට ලක්ව ඇති නිසා විටමින් ගුණ අඩු ය. මෙවන් බීමවල කහට රසයක් ඇති බවක් ද ඔබ අත්දැක ඇති. මෙයට හේතුව පලතුරුවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ තිබෙන පොලිෆීනොල් සංයෝග වාතයත් සමග ප්‍රතික්‍රියා කර කහට රසැති දුඹුරු පැහැ පොලිෆීනෝල් සංයෝග බවට පත්වීමයි (ඇපල්, කෙසෙල්, වම්බටු ආදී ආහාර ද කපා විවෘතව තැබූ විට දුඹුරු පැහැ වන්නේ එහෙයිනි). එබැවින් එම සංයෝග තවදුරටත් ප්‍රතිඔක්සිකාරක ගුණ නොදක්වයි.

කල්තබාගැනීමේ ද්‍රව්‍ය යෙදූ පලතුරු බීමවල සමහර ඒවායේ නිසි ප්‍රමිතියකින් යුතුව යෙදූ, අනුමත කරන ලද රසායනික සංයෝග (අනුමත රසකාරක සියල්ල ම සඳහා E අංක හෝ INS අංක වරහන් තළ සඳහන්ව තිබිය යුතුය) අඩංගු නමුත් මෑතක දී කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ සමහර බීමවල මෙවන් රසායනික ද්‍රව්‍ය අනුමත ප්‍රමාණයට වඩා අඩංගු බවයි. එපමණක් ද නොව, ඕනෑ ම ආහාරයක අඩංගු සියලු‍ ද්‍රව්‍ය ලේබලයේ සඳහන් කිරීම නීතියක් වුවත් සමහර පලතුරු බීම ලේබලවල මෙම රසායනික ද්‍රව්‍ය ගැන කිසිදු සඳහනක් කර නැත. තවත් සමහර බීම ගබඩා කළ යුත්තේ සහ වෙළෙඳපොළේ ප්‍රදර්ශනය කළ යුත්තේ සිසිල් වියලි ස්ථානයක වුවත් රාක්කවල ගිනි අවුවේ අසුරා ඇති බීම බෝතල් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. හිරු රශ්මියේ ඇති පාර ජම්බුල කිරණ මගින් බීමවල ඇති අනුමත රසායනික ද්‍රව්‍ය පවා සිරුරට අහිතකර රසායනිකයන් බවට පත් වේ. මෙයට හොඳ ම උදාහරණයක් වන්නේ බොහෝ පලතුරු බීමවලට මෙන් ම කාබනේටඩ් බීමවල (සාමාන්‍ය සිසිල් බීම) ද අඩංගු බෙන්සොයික් ඇසිඩ් ය. කල්තබාගැනීමේ ද්‍රව්‍යයක් ලෙස යොදන බෙන්සොයික් ඇසිඩ් (බොහෝවිට යොදනුයේ සෝඩියම් බෙන්සෝඒට් ලෙසයි.), පාර ජම්බුල කිරණවලින් පිළිකාකාරක බෙන්සීන් බවට පත්වෙයි. මෑතක දී කරන ලද පර්යේෂණයකින් ද තහවුරු වූයේ අවු රශ්මියට නිරාවරණය කර ඇසුරූ සහ සිසිල් ස්ථානයක ඇසුරූ එක ම වෙළෙඳ නාමයේ බීමවල බෙන්සොයික් ඇසිඩ් ප්‍රමාණවල පැහැදිලි වෙනසක් ඇති බවයි. එනම්, අවුවේ තබා තිබූ බීමවල බෙන්සොයික් ඇසිඩ් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු බවක් පෙන්වන ලදී. බෙන්සොයික් ඇසිඩ් වෙනත් සංයෝග බවට පත්වී ඇති බවට මෙය හොඳ ම ඉඟියකි.

ඉහත රසායනික ද්‍රව්‍ය පිළිබඳ ගැටලු‍ව පලතුරු නෙක්ටා සහ කෝඩියල්වලටත් අදාළ වේ. නෙක්ටා සහ කෝඩියල්වල ඇති තවත් ගැටලු‍වක් ද තිබේ. එනම් ඒවායෙහි ඇති අධික සීනි ප්‍රමාණයයි. සුක්‍රෝස්, ග්ලු‍කෝස් හෝ ෆ්‍රක්ටෝස් ලෙස ඇති මෙම සීනි ඉතා ඉක්මනින් රුධිරයට අවශෝෂණය වේ. ෆ්‍රක්ටෝස් සිරුරේ ට්‍රයිග්ලිසරයිඩ් වැඩි කරන අතර මේද තැන්පත්වීම වැඩි කරයි. එබැවින් මෙවන් පානයන්ගෙන් වැළකීම හෝ සීමා කිරීම බෝ නොවන රෝග තිබෙන අයට මෙන්ම වැඩිහිටි සෑමදෙනාට ම සෞඛ්‍යයට හිතකර ය. නැතිනම් නෙක්ටා සහ කෝඩියල් හැකි තරම් තනුක කර පානය කළ හැකිය. එහෙත් එවිට බලාපොරොත්තු වන රසය නොලැබෙන නිසා ප්‍රයෝගිකව මෙය සාර්ථක නොවේ.

කෙසේ නමුත්, වෙළෙඳපොළේ ඇති ඕනෑ ම ආහාරයක හෝ පානයක අඩංගු සීනි, මේදය සහ ලු‍ණු ප්‍රමාණය ලේබලය මත අඩංගු වර්ණ කේතය මගින් අවබෝධ කරගත හැකිය. එහෙත් මෙම වර්ණ කේතය ගැන අවධානය යොමු කිරීමට පාරිභෝගිකයාට පුරුද්දක් නොමැතිකම කනගාටුදායක ය. සෑම විට ම ලේබලයත්, අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුවත්, වර්ණ කේතයත්, කල් ඉකුත්වීමේ දිනයත් අවධානයෙන් කියවීම පුරුද්දක් ලෙස තබාගැනීම ඔබේත්, පවුලේ සාමාජිකයන්ගේත් සෞඛ්‍යය රැක දෙනු ඇත.

පව්ඩර් ලෙස සැකසු පලතුරු බීම වර්ග ද, කෘත්‍රිම රසය යෙදූ (ස්වාභාවික පලතුරු නැතිව කෘත්‍රිම රසය යෙදූ) බීම ද වෙළෙඳපොළේ ඇත. එවන් බීම වර්ග ලේබල් කර තිබිය යුත්තේ “(පලතුරෙහි නම) රසැති බීම” (flavoured drink) ලෙස වන අතර “(පලතුරෙහි නම) බීම” ලෙස නොවේ. එවන් ලේබල්වල පලතුරක පින්තූරයක් යෙදීම පවා තහනම් ය. මේවා භාවිතය අනුමත කළ නොහැකිය.

සාරංශයක් ලෙස කිවහොත්, නිවසේ දී ම ස්වාභාවික පලතුරුවලින් සදා, සීනි නොයොදා, නොපෙරාගන්නා බීම වඩා සෞඛ්‍යයට හිතකර අතර අධික සීනි සහිත හෝ කෘත්‍රිම රසකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය යෙදූ හෝ අව්වට නිරාවරණව තබා ඇති පලතුරු බීම භාවිතය අවම කළ යුතුය. පසුගිය ලිපියෙන් සාකච්ඡා කළාක් මෙන්, පලතුරු එලෙස ම ආහාරයට ගැනීම, පලතුරු බීමක් ලෙස පානය කිරීමට වඩා යෝග්‍ය ය.

ආචාර්ය සුභාෂිනී සේනාධීර
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශය –
වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය –
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය)