Health

ශ්‍රී ලංකාව් සාර්ථක ම පළමු ළමා අක්මා බද්ධය

උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ කණ්ඩායමේ අතිදක්ෂ වෛද්‍ය කණ්ඩයමේ සහ හෙද කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදුකළ ළමා අක්මා බද්ධ ශල්‍යකර්මය සාර්ථකව පසුගියදා සිදුකෙරිණ. මෙලෙස අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයට භාජනය වූයේ යාපනය ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි කුඩා දරියක ය. ඇයගේ අක්මාවට බද්ධ කරනු ලැබුවේ ඇයගේ මවගෙන් ලබාගන්නා ලද අක්මාවෙන් කොටසක්වීම විශේෂත්වයකි.

ඉතාම සංකීර්ණ වූත්, අවදානම්සහිත වූත් ශල්‍යකර්මයක් වන මෙය සාර්ථක කරගැනීම අභියෝග රැසක් මධ්‍යයේ සිදුවූවක් බව ඒ සඳහා දායකත්වය සැයපූ වෛද්‍යවරයෙක් අප සමග අදහස් දැක්වීමේ දී පැහැදිලි කර සිටියේය.

වැඩිහිටි වියේ පසුවන්නන්ට අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම මේ දක්වා උතුරු කොළඹ අක්මා බද්ධ කිරීමේ වෛද්‍ය කණ්ඩායම විසින් 50කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අතර, කුඩා දරුවෙකුට එවැන්නක් සිදුකිරීම ප්‍රථම වතාවට සිදුවන්නක් බැවින් එහි ඇති සංකීර්ණභාවය හා අවදානම් සහිත බව විශේෂයෙන් ම සැලකිය යුතුය.

කෙසේ වෙතත් මේ වනවිට සාර්ථක අක්මා බද්ධයකින් පසුව 9 හැවිරිදි දියණියත් ඇගේ මවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සුව අතට හැරෙමින් පවතින බව ද කිව යුතුමය.

විශේෂයෙන් ම සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුගේ අක්මාව රෝගීවීම හේතු කිහිපයක් නිසා සිදුවේ.

ඉන් ප්‍රධාන වශයෙන් ම සිදුවන්නේ මත්පැන් අධිකව භාවිතය නිසා ඇතිවන සිරෝසීස් තත්ත්වයයි.

ඊට අමතරව අක්මාවට ඇතිවන වෛරස් ආසාදන තත්ත්ව නිසා (උදා: හෙපටයිටීස් B, C ආසාදනය)

තව ද, මීට අමතරව අක්මාවේ තෙල් තැන්පත්වීම හැඳින්විය හැකිය.
කලාතුරකින් අක්මාවේ යකඩ තැන්පත්වීම, අක්මාවේ කොපර් තැන්පත්වීම ආදී වශයෙන් සිදුවන හේතු සාධක නිසා අක්මාව රෝගීවීම සිදුවේ.

කුඩා දරුවන්ගේ අක්මාව රෝගීවීමට බලපාන විශේෂිත ම හේතූන් සලකා බැලිමේ දී උපතින් ම ඇතිවන ජානමය විකෘතිතා නිසා අක්මාව රෝගී වන අතර, පිත්ත නාල පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයන් නිසා අක්මාව රෝගී වීම සිදුවිය හැකිය.

නිරෝගී ජීවිතයක් පවත්වාගැනීමට අක්මාවේ ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය වන අතර, එය බාහිර යන්ත්‍රයක ආධාරයෙන් කිසිවිටෙකත් සිදුකළ නොහැකි ක්‍රියාවලියකි. අක්මාව රෝගීවී එහි ක්‍රියාකාරිත්වය අඩපණ වුවහොත්, අක්මාවක් බද්ධ කිරීම කළ යුතුම ය. එසේ නොවුණහොත් ජීවත්වීමට ඇති අවස්ථාව සීමිත වන බව නොරහසකි.

මෙහිදී රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩයමේ මෙහෙවර අතිමහත් ය. අක්මාවක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකිරීමට ප්‍රථම රෝගී අක්මාවට බද්ධ කෙරෙන නිරෝගී අක්මාවේ දායකයාගේ රුධිර පරීක්ෂණ ආදී සියලු ම පරීක්ෂණ කටයුතු කර ශල්‍යකර්මය සඳහා සූදානම් කළ යුතු වේ. මෙහිදී එම දැරියගේ සහ ඇයගේ මවගේ යන දෙදෙනාගේ ම වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයට සූදානම් කරන ලදි.

ශල්‍යකර්මයට දෙදිනකට පෙර ඒ සඳහා දායකත්වයට සපයන වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය පෙර පුහුණුවක් ද සිදුකරන ලදි.

ශල්‍යකර්මය ආරම්භ වූයේ අදාළ දින පාන්දර 5ට පමණ වන අතර, වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍යවරුන්ගෙන් කොටසක් අක්මා දායකයා, එනම් දරුවාගේ මවගේ අක්මාවේ කොටස ඉවත්කර ගැනීමේ ශල්‍යකර්මය ආරම්භ කළ අතර, අනෙක් වෛද්‍ය කණ්ඩායම ඒ අතරතුර අක්මාව බද්ධ කෙරෙන දැරියගේ අක්මාවේ ශල්‍යකර්මය ආරම්භ කරන ලදි. එහිදී රුධිර වහනය වළක්වාගැනීම ඔවුන්ට ඉතා බරපතළ අභියෝගයක් විය.

කෙසේ වෙතත් සංකීර්ණ ක්‍රියාදාමයකින් පසු ශල්‍යකර්මය සාර්ථකව අවසන් කෙරුණු අතර, මවත් දැරියත් දෙදෙනා ම දැඩි සත්කාර ඒකකයට යොමු කරන ලදි.

එතැන් පටන් දැරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වගකීම පැවරුණේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට ය.

මේසා විශාල කර්තව්‍යයකට දායකත්වය සැපයීමට අප රටේ අතිදක්ෂ වෛද්‍යවරුන් සිටීම සැබැවින් ම අපහට ආඩම්බරයක් ගෙන දෙන්නට සමර්ථ වන නමුත්, ඒ සඳහා අවශ්‍ය බොහෝ දේ තවමත් අප රටේ රෝහල් පද්ධතිවලට ලැබෙන්නට තිබේ. සාමාන්‍යයෙන් වසරකට අක්මා බද්ධය සඳහා බොහෝදෙනෙකුට විදේශගතවී ප්‍රතිකාර ගන්නට සිදුවෙතත්, ඒ සඳහා අවම වශයෙන් ලක්ෂ 80ත් 100ත් අතර ප්‍රමාණයක් මුදල් වැය වේ. එවන් පසුබිමක් තුළ ආර්ථික වශයෙන් කිසිදු හව්හරණක් නොමැති අයවලුන්ට සිදුවන්නේ, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැරීම පමණි.

මේ තරම් දක්ෂතා ඇති මානව සම්පතක් ඇති අප රටේ වෛද්‍යවරු සැබැවින් ම මිහිපිට දෙවිවරු ය. ඔවුන්ට අවශ්‍ය බොහෝ දේ සම්පූර්ණ වේ නම්, රෝහල් පද්ධති සඳහා අවශ්‍ය අක්මා බද්ධ කිරීමේ ඒකක, ඒ සඳහා වෙන්වූ දැඩි සත්කාර ඒකක ආදිය ස්ථාපිත කිරීමට හැකිවේ නම්, බොහෝදෙනෙකුට තම ජීවිත බලාපොරොත්තු මල්ඵලගන්වා ගත හැකි වනු ඇත. හෙට දවසේ යහපත් වෙනසක් සිදුවේ යැයි අප දෑස් දල්වා එතෙක් බලා සිටිමු.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුචින්ත තිලකරත්න
(Gastroenterological Surgeon at Colombo North Teaching Hospital, Ragama)

සංවාදය – ඉසුරු සුධාරක දිසානායක
සටහන – ශෂිකා තල්පෙහේවා