Health Guide

දරුවකු ප්‍රසූත වන විට ඇති වන අර්බ්ස් පෝල්සි ගැන කතා කරමු

දරුවකු වෙනුවෙන් මවකගේත් පියෙකුගේත් හදවතෙහි ආදරය ගොඩනැගෙන්නේ දරුවකු ස්පර්ශ කරන්නට හෝ හැඩ රුවවත් නොදන්නා සමයක පටන් ය. එනම් දරුවා කුසට ආ දා පටන් නිරෝගී කිරිකැටියකු දෝතට වඩින තෙක් බලා ඔවුන් සිටින්නේ නොඉවසිල්ලෙනි. ගෙවී යන සෑම තත්ත්පරයකම දරුවා වෙනුවෙන් ආහාර පාන, වෛද්‍ය උපදෙස් අකුරට ම පිළිපදිමින් නිරෝගී දරු සම්පතක සිහිනය දකියි. එදා මෙන් නොව අද තාක්ෂණික දියුණුවත් සමග නූපන් ඔබේ කිරිකැටියා ස්කෑන් පරීක්ෂණ මගින් කුස තුළ සිටියදීම දැක බලාගැනීමේ වාසනාව ලැබී ඇත. ඒ අනුව දරුවා ආබාධයකින් තොරව නිරෝගීව වැඩෙන බව ඔබේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා පවසද්දී මව හා පියා ලබන්නේ කිව නොහැකි සැනසුමකි. එහෙත් දරුවා මෙලොවට බිහිවන ඒ තීරණාත්මක මොහොතේ කිසියම් වූ ආබාධයකට ලක් වුවහොත් දෙමාපියන් වශයෙන් අප බෙහෙවින් ම කම්පාවට පත්වනවා නොඅනුමාන ය. අර්බ්ස් පෝල්සි යනු මවක විසින් සිය දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ දී උරහිස ඇදීමට ලක්වීම නිසා ඇති වන රෝග තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නට සිතුවේ ඒ පිළිබඳ ඔබ කලින් දැන සීටීම වැදගත් වන හෙයින් ය.

කුසෙහි නිරෝගීව වැඩෙන දරුවා ප්‍රසූත අවස්ථාවේ අර්බ්ස් පෝල්සි තත්ත්වයට ගොදුරු වන්නේ ඇයි?

සාමාන්‍ය දරු ප්‍රසූතියකදී මවගේ යෝනි මාර්ගයෙන් මුලින් ම පිටතට පැමිණෙන්නේ හිසය එහෙත් මුලින් දරුවාගේ තට්ටම් පෙදෙස මුලින්ම පිටතට පැමිණෙන (Breech Delivery) ප්‍රසූත අවස්ථාවේ දී දරුවාගේ උරහිස් ඇදීමට ලක්වීම.

ස්ථූලතාවක් සහිත දරුවන් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් බිහි කරන අවස්ථාවල දී ප්‍රසූත මාර්ගයේ (Path Way) සිරවීම නිසා දරුවා පිටතට ගන්නා අවස්ථාවේ දී අත් ඇදීමකට ලක්වීම.

අඬු භාවිත කර දරුවන් පිටතට ගන්නා අවස්ථාවල දී ද දරුවාගේ අත් හෝ පාද ඇදීමට ලක්වීම.

අර්බ්ස් පෝල්සි තත්ත්වයයේ දී සිදුවන්නේ කුමක්ද?

මෙම තත්ත්වය ඇතිවන්නේ අතට යොමු වී ඇති සුසුම්නා ජාලයේ ඉහළ කොටසේ ඇදීමකට ලක්වවීම නිසාවෙන් ය. සුසුම්නා ස්නායු ජාලය Brachial Plexus ලෙස හඳුන්වයි. මෙම ස්නායු ඉහළ, මධ්‍යම හා පහළ වශයෙන් කොටස් 3කින් සමන්විත වේ. අර්බ්ස් පෝල්සි තත්ත්වයට බලපානු ලබන්නේ මෙම සුසුම්නායු ජාලයේ ඉහළ කොටසේ (Upper Code) යම් ඇදීමකට ලක්වීමයි. එම ඉහළ කොටසින් පැන නගින ස්නායු පණ නැතිවී යාම හේතුවෙන් එහි ක්‍රියාකාරිත්වය දුර්වල වේ. මේ හේතුවෙන් පේශිවල ක්‍රියාකාරිත්වය දුර්වීම මෙන්ම අදාළ බාහුවේ ක්‍රියාකාරිත්වය ද දුර්වල වේ. ඇතැම් විට සංවේදනය නැතිවීම හෝ එම පේශිවල ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් ම අඩාලවී ආඝාතයට ලක්වීමට ද ඉඩ තිබේ.

ස්නායුවට සිදුවන හානිය අනුව අර්බ්ස් පෝල්සි තත්ත්වයන් හතරක් යටතේ දැක්විය හැකිය

1 – නියුරොප්‍රැක්සියාව – (Neuropraxia)
සංවේදනයට බාධා ඇති කළ හැකි හානියක් වන නමුත් මෙම තත්ත්වයේ දී ස්නායුවට ස්ථිර හානියක් ඇති නොවේ. මෙම තත්ත්වය තාවකාලික ය. ස්නායුවේ කැඩීමක් සිදුනොවී ඇදීමක් පමණක් ඇති හෙයින් මෙම සංවේදන අවහිරය පැය කිහිපයක් හෝ සති කිහිපයක් තිබී ක්‍රමක්‍රමයෙන් ක්‍රමයෙන් සුව අතට පත්වනු ඇත. කෙසේ වුව ද මෙය ඉතා ඉක්මනින් සුව වේ.

2 – එවල්ෂන් – (Avulsion)
මෙම තත්ත්වයේ දී ස්නායුව සම්පූර්ණයෙන් ම කැඩීයාම හෝ සුසුම්නාවෙන් වෙන්වීමක් ඇති සිදුවිය හැකිය. මෙම ‘අර්බ්ස් පෝල්සි’ තත්ත්වයේ බරපතළ ම අවස්ථාවකි. එහෙත් මෙම තත්ත්වය දුලබ තත්ත්වයකි. මෙහිදී ශ්වසන ස්නායුවට හානිවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය. මෙම තත්ත්වය ඉබේම සුවවීමක් සිදු නොවන බැවින් එවැනි තත්ත්වයන් හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර සඳහා ඉතා ඉක්මනින් දරුවා යොමු කළ යුතුය.

3 – නියුරෝනල් – (Neuronal)
හානියට පත් ස්නායුවක් ස්වාභාවිකව යථා තත්ත්වයට පත්වී යාමේදී ඒ මත කැළැල් ඇති වීමෙන් මාංශපේශී වෙත කෙරෙන සංවේදනයන් නිසියාකාරව සිදුවිමක් අපේක්ෂා කළ නොහැකිය. මෙහිදී තත්ත්වය බරපතළ ය. මෙම කැළැල් පටක මගින් නියුරෝමා තත්ත්වයක් ඇතිවීමට අවකාශ තිබේ. මෙවැනි අවස්ථාවක දී ස්වභාවිකව සුවවීම අපේක්ෂා කිරීම අපහසුයි මෙන්ම සුවවීමේ සම්භාවිතාව ද ඉතා අඩු ය. මෙවැනි තත්ත්වයක දී ශල්‍යකර්මයක් මගින් හානියට පත්වූ ස්නායු නිවැරදි කළ යුතු වේ.

4- රප්චර් – (Rupture)
මෙහිදී හානියට පත්වන්නේ ස්නායුව සුසුම්නාවට බාහිරව ය. ඒ අවට සම්බන්ධක පටක සහ රුධිර සැපයුමට ඉන් හානි සිදු විය හැකිය. ස්නායුව පමණක් හානි වුවහොත් එය නැවත යථා තත්ත්වයට පත් වේ. එහෙත් ඇතැම් අවස්ථාවන්හි දී මේ සඳහා ශල්‍යකර්මයක් කළ යුතු වේ.

අර්බ්ස් පෝල්සි තත්ත්වය ඇති වූ විට දරුවාගේ අතෙහි පිහිටීම

■ දරුවා අත තබාගෙන සිටින්නේ සාමාන්‍ය ඉරියව්වෙන් විරුද්ධ දිසාවට ය. එනම් අත පිටුපසට හරවා අත්ල උඩු අතට නවාගෙන සිටින ආකාරයක් දැකිය හැකිය.
■ උරහිසින් අත ඇතුළු පැත්තෙන් ඇඟ දෙසට කැරකැවී ඇත.
■ අත ඇඟට ම ළංව පිහිටයි.
■ වැලමිට දිගහැරී තිබේ.
■ යට බාහුව ශරීරයෙන් ඇතුළු පැත්තට කරකැවී ඇත.
■ මැණික්කටුව සන්ධියෙන් අත අල්ල දෙසින් ඉහළට නැමී ඇත.

අර්බ්ස් පෝල්සි සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

1- ස්නායු උත්තේජක ව්‍යායාම
දරු ප්‍රසුතියෙන් පසුව කිසියම් අවස්ථාවක දී දරුවා තුළින් ඉහත ලක්ෂණ පෙන්නුම් කරයි නම් හෝ දරුවා අත සෙලවීමක් නොකරන්නේ නම් එවැනි අවස්ථාවලදී දරුවා ඉරියව් ගත කිරීමක් සිදු කරයි. මෙම අවස්ථාවේ දී වෙනත් චලන හෝ ව්‍යායාම සිදු කරන්නේ නැත. ස්නායුවේ ඇති වූ ආබාධය නිසා කිසියම් විටක රුධිර වහනයක් හෝ වෙනයම් ආබාධයක් ඇති වී ඇත්නම් හෝ එය නැවත යථා තත්ත්වයට පත් කළ යුතුය. ඒ සඳහා අදාළ බාහුවට විවේකය ලබාදීම සිදු කරයි. ඒ සඳහා අතට උරමාවක් යොදනු ලැබේ. එලෙස ඉරියව් ගත කිරීම මාසයක් පමණ සිදුක කරනු ලැබේ. ඉන් අනතුරුව දරුවාගේ අත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අදාළ ඉරියව්වට විරුද්ධ ඉරියව්වෙන් අත තැබීම සිදු කරනු ලැබේ.

ව්‍යායාම
■ මැණික්කටුව සන්ධියෙන් බාහුව දෙසට නැවී ඇති අල්ල අනෙක් දෙසට දිග හැරීම.
■ ඇඟ දෙසට කැරකැවී ඇති යටි බාහුව අල්ලා උඩට සිටින සේ හැරවීම.
■ දිගහැරී ඇති වැලමිට නැවීම.
■ ඇඟ දෙසට කැරකැවී ඇති ඉහළ බාහුව ඇඟෙන් පිටතට කරකැවීම සිදු කරයි. වැලමිට ඇඟට හේත්තු කර යටි බාහුව ඇඟෙන් ඇතුළු පැත්තටත්, පිටතටත් ගෙනයාම.
■ අත ඉදිරියට එසවීම.
■ ඇඟෙන් පිටතට අත චලනය කිරීම.

මෙම ව්‍යායාම කරවීම තුළින් දරුවාගේ පේශී උත්තේජනය වේ. ව්‍යායාමයකින් එකවරකට විස්ස බැගින් දිනකට හතර වරක්වත් කරවිය යුතුය. නිසායාකාරව ව්‍යායාම කරවීමෙන් අනතුරුව කළ පසු දරුවා තුළ කිසියම් ප්‍රමාණයකට චලනයන් සිදු වේ නම් ඉහත ව්‍යායාම තවදුරටත් නිර්දේශ කරනු ලබයි. බොහෝ අර්බ්ස් පෝල්සි තත්ත්වය ව්‍යායාම මගින් පමණක් සුව කිරීම සිදු කරයි.

2- විද්‍යුත් උත්තේජනයක් ලබාදීම
එහෙත් ව්‍යායාම මඟින් යථා තත්ත්වයට පත්කිරීම අපහසු වූ අවස්ථාවල අවශ්‍ය විද්‍යුත් උත්තේජනයක් ලබාදීම සිදුකරයි. මෙහිදී ඉතා සියුම් විද්‍යුත් ධාරාවක් ආඝාතයට ලක් වූ ස්නායුවලට වෙන් වෙන් වශයෙන් ලබාදෙමින් අදාළ බාහුවේ චලනය සිදු කරනු ලැබේ. මෙලෙස විද්‍යුත් ධාරා ලබාදීමෙන් පසු නැවත ස්නායු උත්තේජනය වී එහි ක්‍රියාකාරීත්වය ඇති වේ. එහෙත් දෙමාපියන් මෙම විද්‍යුත්ධාරා දරුවාට අහිතකර වේ යැයි බියට පත් වේ. මිනිස් මොළයෙන් නිකුත් කරන විද්‍යුත් ධාරා ස්නායු හරහා ගමන් කිරීමේ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් මෙහිදී සිදුවෙන බැවින් මෙම කෘත්‍රිම විද්‍යුත් ධාරා දරුවාගේ ශරීරයට අහිතකර නොවේ. විද්‍යුත් උත්තේජනය හරහා ඉතා ඉක්මනින් දරුවා යථා තත්ත්වයට පත් වේ.

3- ආධාරක ක්‍රම භාවිත කිරීම
එහෙත් යම් හෙයකින් විද්‍යුත් උත්තේජන ප්‍රතිකර්මය ද නිෂ්ඵල වුවහොත් ආධාරක ක්‍රම භාවිත කිරීම තුළින් දරුවාගේ අත නැවත යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනු ලැබේ. මෙවැනි ක්‍රම මගින් අත ක්‍රියාකාරී වන විට අත ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම සිදු කරනු ලැබේ. ව්‍යායාම මගින් අතෙහි ක්‍රියාකාරිත්වය ආරම්භ වුව ද දරුවාගේ පේශිවල ශක්තිමත් බව ඉතා දුර්වල ය. පේෂී ශක්තිමත් නොවූ විට දරුවාට එම අත භාවිත කර යමක් එසවීම, යමකට ගැසීමවැනි කටයුතු නිසියාකාරයෙන් සිදු කරගත නොහැකිය. පේශින් ශක්තිමත් කරවීම සඳහා ශක්ති ජනක ව්‍යායාම ලෙස,

■ ආබාධයට ලක් වූ අතින් කුඩා වැලි කොට්ට එසවීම.
■ විවිධ ක්‍රියාකාරකම්වල නිරත කරවීම. (මේ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර කරන්න.)

අර්බ්ස් පෝල්සි තත්ත්වය නිසා දරුවාට සිදු වන බලපෑම සහ දෙමාපිය වගකීම

දරුවා පෙරළීම, දණ ගෑම වැනි ක්‍රියාකාරකම් ප්‍රමාද විය හැකිය. එම නිසා දරුවා ඒ ඒ වයසේ දී සිදු කරන ක්‍රියාකාරකම් කරවීම දෙමාපියන්ගේ වගකීම ය. අදාළ ඉරියව්වල දරුවා තැබීම, එම ක්‍රියාකාරකම් කිරීමට පෙළඹවීම තුළින් ක්‍රමයෙන් දරුවාගේ ක්‍රියාකාරකම් සිදුවන අතරම දරුවාගේ අතෙහි ක්‍රියාකාරිත්වය ද ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇත.

දසමසක් කුස හොවාගෙන සුරැකි සිඟිත්තා මෙළොවට බිහි වන අවස්ථාවේ සිදු වන මෙවැනි අනපේක්ෂිත අනතුරක් හමුවේ දෙමාපියන් මානසිකව ඇද වැටෙන බව සත්‍යයකි. එහෙත් දෙමාපිය ඉවසීම, දරාගැනීම හා රැකවරණය යටතේ ඔfබි සිඟිත්තා නැවත නිරෝගී දරුවකු ලෙස ලොවට පාතබනු ඇත. එම නිසා මෙවැනි තත්ත්වයක දී දෙමාපියන් වන ඔබ ඉතා ඉක්මනින් භෞතචිකිත්සක සායනයකට යොමු වන්න. ඒ තුළින් දරුවාට නිවැරදි ප්‍රතිකර්මයන් ලබා දී ඔබේ දරුවා ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරනු ඇත.

 

වරලත් භෞත චිකිත්සක ආචාර්ය සුජීව වීරසිංහ
(වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක,
පිසියෝ ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂ)

සටහන – දිශාන්ති වෙදගේ