Health Guide

පරිස්සමින්.. ඔබත් තාප ප‍්‍රහාරයට ලක්විය හැකියි

”අම්මේ පුදුම රස්නයක්නෙ ඇගටත් පණ නැහැ අව්වෙ ගිහින් ඇවිත්.”

මේ වචන ටික නම් දහවල් කාලයේ ගමන් බිමන් යන, ක‍්‍රීඩාවල නිරත වන, කය වෙහෙසා වැඩ කරන ඔබට හුරු පුරුදුයි නේද? සාමාන්‍යයෙන් අපේ‍්‍රල් සිට අගෝස්තු දක්වා කාලවල පරිසර උෂ්ණත්වය වෙනත් කාලවලට වඩා ඉහළ අගයක් ගනියි. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස්වී මේ දිනවල ද අධික උෂ්ණත්වයක් හටගෙන ඇත. එයට ප‍්‍රධාන හේතුව හිරු සමකයට ආසන්නව පිහිටීමත්, පෘථිවිය ක‍්‍රමක‍්‍රමයෙන් සූර්යයාට ළංවෙමින් ගමන් කිරීමත් නිසා ය. මෙම කාලයේ දී ඇති වන අධික උණුසුම නිසා අප තාප ප‍්‍රහාරයට ලක්විය හැකිය.

ක‍්‍රීඩා කරන විට උෂ්ණත්වය වැඩි කාලවල දී ක‍්‍රීඩකයන් විවිධ හේතු නිසා මියගිය අවස්ථා අපි අසා ඇත්තෙමු. මීට හේතුව කුමක්ද කියා සොයාගැනීම ලොකු ගැටලුවක් විය. මෙසේ ක‍්‍රීඩාකරන විට හෝ අධික ලෙස වෙහෙස මහන්සි වනවිට උෂ්ණත්වය අධික කාලාවල දී සිදුවන ප‍්‍රධාන ම අනතුර ලෙස තාප ප‍්‍රහාරය හැඳින්විය හැකිය.

මිනිස් ශරීරයෙ තාපය උත්පාදනය වන්නේ කෙසේද?

ශරීරය වෙහෙස වන පරිදි කිසියම් කාර්යයක නියැළී සිටින විට ශරීරයට කි‍්‍රයා කිරීමට අවශ්‍ය බලය ලබාදෙන්නේ ඊට අදාළ මාංශපේශීන් ක‍්‍රියා කිරීම තුළින් ය. වෙහෙසවී වැඩ කිරීමේ දී හෝ ක‍්‍රීඩාවක නිරතව සිටින ඕනෑ ම අවස්ථාවක අප ශරීරය තුළ තාපය නිපදවීමක් සිදුවේ. ඒ අනුව පේශී සංකෝචනය තුළින් හෝ ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව දිගහැරීම පාලනයේ දී සිදුවිය හැකිය. මේ සඳහා අවශ්‍ය ශක්තිය නිපදවනු ලබන්නේ සෛල තුළ ඇති ග්ලූකෝස්, ඔක්සිජන් දහනය කිරිම තුළිනි. මෙහි දී ශක්තිය සමග අතුරුඵලක් ලෙස තාපය නිපදවනු ලබයි.

අප තාප ප‍්‍රහාරයට ලක් විය හැකිය

ශක්තිය නිපදවීමේ කාර්යේ දී නිපදවන මෙම තාපය රුධිරයට අවශෝෂණය වන නිසා රුධිරය රත්වන අතර ඔබේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියන් වෙත ගමන් කරන මෙම රත්වූ රුධිරය නිසාවෙන් ඉන්ද්‍රියන්ට හානිකර තත්වයක් ඇති කරයි.

තාප ප‍්‍රහාරයට පාරිසරික සාධකයවල බලපෑම

x ප‍්‍රධාන වශයෙන් පරිසර උෂ්ණත්වය ඉහළ අගයක් ගැනීම හා වාතයේ ආර්ද්‍රතාව (ජලවාෂ්ප ප‍්‍රමාණය) ඉහළ යාම මේ තත්ත්වය ඇතිවීම වර්ධනය කිරීමට බලපායි.

x ශක්තිය නිපදවන විට අතුරුඵලයක් ලෙස නිපදවන තාපය පිටකරනු ලබන ස්වාභාවික ක‍්‍රමය වන දහදිය පිටවීම වාතයේ ජල වාෂ්ප අධික වූ විට පහළ වැටෙන වේ.

x පරිසර උෂ්ණත්වය ඉහළ අගයක් ගනී නම් ශරීරය හා පරිසරය අතර උෂ්ණත්ව වෙනස අඩුවන විට තාපය පිටකිරීමේ ශීඝ‍්‍රතාව පහළ බසී.

තාප ප‍්‍රහාරයට පෙර අනතුරු හගවනු ඇත

ස්වභාවිකව ම අපේ ශරීරයේ ආරක්‍ෂක ක‍්‍රියාවලියක් ඇත. යම් අවස්ථාවක තාපය සිරුරට අහිතකර මට්ටමට පැමිණෙනවාත් සමග ම එහි පළමු ලක්‍ෂණය ලෙස මස් පිඬු පෙරළීම සිදුකරනු ඇත. මෙය ප‍්‍රථම අනතුරු ඇගවීම ය.

ඔබ මතක තබාගත යුතු තවත් කරුණක් වන්නේ මස් පිඩු පෙරළීම යනු රෝග ලක්‍ෂණයක් පමණක් බව ය. එය රුධිරයේ අයනික අසමතුලිතතාව, රුධිරයේ ඔක්සිජන් අඩුවීම හා තාපය ඉහළයාම වැනි විවිධ අවස්ථාවල ඇති විය හැකිය. අධික ලෙස වෙහෙසවීමේ දී හෝ කී‍්‍රඩාවල නිරත වන විට මස් පිඩු පෙරළීම සිදුවුවහොත් වහා ම විවේක ගැනීම හා තාපය සඳහා ප‍්‍රතිකාර කිරීමට කටයුතු කළ යුතුය. නැතහොත් තත්ත්වය භයානක විය හැකිය.

එහෙත් ශරීරයේ තාපය ඉහළ යාම සිදුවන විට එහි ප‍්‍රථම සංඥාව ලෙස මස් පිඩු පෙරළීම පෙන්වා දිය හැකි වුව ද සමහර අයට මෙම අවස්ථාවේ දී මස් පිඩු පෙරළීම සිදු නොවී නොදැනුවත්ව ම මෙහි දෙවන අවස්ථාව වන වඩාත් භයානක අධික තාප පිටකිරීම (Heat Exhaustion) තත්ත්වය දක්වා වර්ධනය වන බව පෙන්වාදිය හැකිය.

දෙවන අවස්ථාවේ ඇති වන රෝග ලක්ෂණ

x අධික ලෙස දහඩිය දැමීම
x ක්ලාන්තය
x සමබරතාව ගිලිහී යාම
x අධික පිපාසය

මෙම අවස්ථාවේ දී රුධිරයේ උෂ්ණත්වය ඉතා අධික ලෙස වැඩිවී එම රුධිරය, මොළය, මුත‍්‍රාශය, අක්මාව, වකුගඩු වැනි අභ්‍යන්තර ඉන්ද්‍රීයන් වෙත බලපෑම් කරනු ලබන අවස්ථාව වන අතර ඉතා ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කළ යුතුය. එසේ නොමැති වුවහොත් තාප ප‍්‍රහාරයට ලක්වී, රෝගියා මරණයට පත්වීම හෝ ඉතා භයානක ලෙස හානි පැමිණිය හැකිය. ඉතා තදින් රත්වූ රුධිරය රෝගියාගේ මොළයට හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි කිරිම තාප ප‍්‍රහාරය වන අතර මෙය ඉතා භයානක තත්ත්වයකි. මේ තත්ත්වයට පත්වීමට ප‍්‍රථම තාපය නිපදවීම නවතා නිපදවූ තාපය පිටකිරීම සඳහා ප‍්‍රතිකාර කළ යුතුය.

තාප ප‍්‍රහාරයෙන් මිදීමට නම්

x තාප ප‍්‍රහාරය ඇතිවන ආකාරය හා විවිධ අවස්ථාවල දී තත්ත්වය හඳුනාගෙන ප‍්‍රථමාධාර දී වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීම.

x තරග සඳහා සහභාගි කරවන ක‍්‍රීඩකයන් මනා පුහුණුවක් හා ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට යොමු කිරීම.

x ධාවනයේ යෙදෙන ක‍්‍රීඩකයන්ට වතුර ගැසීම ඉතා සුදුසු ය. හැකිතාක් ඔවුන්ට ජලය පානය කිරීමට සැලැස්වීම හා අයිස් කැට කිහිළි හා ඉකිළි වැනි රුධිර සම්පාදනය අධික ස්ථානවල තබාගැනීම තුළින් ද මෙම තත්ත්වය පාලනය කර ගත හැකිය.

x උෂ්ණත්වය අධික හා වාතයේ ජලවාෂ්ප අධික කාලවල දී වෙහෙකාරී ක‍්‍රියාවල යෙදෙන විට ඉතා සැලකිලිමත් විය යුතුය.

x උදේ කාලයේ ක‍්‍රීඩාකිරීමේ දී සමහර දිනවල උදේ කාලයේ වාතයේ අධික ලෙස ජලවාෂ්ප පවතින විට වාතයේ ආර්ද්‍රතාව වැඩි නිසා උදේ කාලයේ පවා මෙම තත්ත්වය ඇතිව හැකිය.

x තාප ප‍්‍රහාරය ඇතිවනවාත් සමග ම දහදිය දැමීමේ ක‍්‍රියාවලිය නවතින අතර උෂ්ණත්වය පිටකිරීම ද නවතියි. රුධිරය සිසිල්වීමේ දී ක‍්‍රියාවලිය නැවතුණ පසු ශරීරයේ හා පරිසරයේ උෂ්ණත්වය අතර වෙනස අවම වන අතර සීතල දැනීම වෙව්ලීම මෙන් ම සිහිනැතිවීම සිදුවී මරණය පවා සිදුවිය හැකිය.

එනිසා රෝග ලක්‍ෂණ මතුවූ විගස විවේක ගැනීම හා ප‍්‍රථමාධාර ලබාදී හැකි ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම වෙත රෝගියා යොමු කළ යුතුය.

වරලත් භෞත චිකිත්සක ආචාර්ය සුජීව වීරසිංහ
(වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක,
පිසියෝ ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂ)

සටහන – දිශාන්ති වෙදගේ