Health

ප්‍රතිකාර මගින් දීර්ඝ කාලීන හතිය අඩු කරන්න පුළුවන්

පෙනහලු ආශ්‍රිතව දීර්ඝ කාලීනව පවතින විවිධ රෝග තත්ත්වයන් හේතුවෙන් හුස්මගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන්නන්ට ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් කීපයක සිදු කරන Pulmonary Rehabilitation නොහොත් පෙනහලු පුනරුත්තාපන ප්‍රතිකාරය නොමිලේ ම සිදුකර ගැනීමේ පහසුකම් මේ වනවිට සලසා තිබෙනවා. මෙම ප්‍රතිකාරය මගින් හුස්ම ගැනීමේ අපහසුතාව අවම කර ක්‍රියාශීලී ජීවිතයක් ගතකර හැකි බව පුත්තලම මූලික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා පැහැදිලි කර දෙන්නේ මෙහෙමයි.

පෙනහලු පුනරුත්තාපනය කියන්නේ මොකක්ද?

දීර්ඝ කාලීනව පෙනහලුවල පවතින රෝග නිසා හුස්ම ගැනීමේ අපහසුව හෝ හතිය වගේ තත්ත්වයන් ඇති වෙනවා. අඩි කීපයක් ඇවිද්දත්, ටිකක් මහන්සි වුණත් හුස්ම ගන්න අපහසු වෙලා හතිය හැදෙනවා. මේ හේතුව නිසා මේ තත්ත්වයෙන් පෙළෙන අය මහන්සි වෙන්න කැමති නැහැ. සමහර දීර්ඝ කාලීන පෙනහලු රෝග නිසා ඇතිවන හතිය ඖෂධ මගින් සම්පූර්ණයෙන් ම අඩු කර ගන්න අපහසුයි. මෙම හුස්ම ගැනීමේ අපහසුතාව අඩු කරලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා නිර්මාණය කළ ප්‍රතිකාර ක්‍රමයක් තමයි පෙනහලු පුනරුත්තාපනය කියලා කියන්නේ. මෙය දියුණු රටවල පර්යේෂණ මගින් තහවුරු වුණු ඉතා ම හොඳ ප්‍රතිඵලදායී වැඩසටහනක්.

පෙනහලු පුනරුත්තාපනයක් මෙවැනි රෝගීන්ට අවශ්‍ය වෙන්නේ ඇයි?

දුම්පානය නිසා ඇතිවන ඇදුම සහ දීර්ඝ කාලීනව පවතින ඇදුම තත්ත්වයන් වගේම දීර්ඝ කාලීනව පවතින පෙනහලු ආබාධ සහිත අයට තමයි මේ ප්‍රතිකාරය නිර්දේශ කරලා තියෙන්නේ. මේ තත්ත්වයන් සහිත අයට තිබෙන ප්‍රධාන ම ගැටලුව තමයි පොඩි වැඩක් කළත් විඩාවට පත්වෙලා හතිය ඇති වෙන එක. ඒ නිසා ඔවුන් ශරීරය මහන්සි කරන්නේ නැතිව නිකන් ම ඉන්න තමයි වැඩි උනන්දුවක් දක්වන්නේ. නමුත් එහිදී වෙන්නේ ශරීර ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා ශරීරයේ පේශී ක්ෂය වෙන්න පටන්ගැනීමයි. හුස්ම ගැනීමට අවශ්‍ය වන පේශී පවා ක්ෂය වෙනවා. එතකොට වෙන්නේ හුස්ම ගැනීමේ අපහසුතාව තවත් වැඩි වෙන එක. ඒ වගේම මෙවැනි අය මානසික වශයෙන් පවා දුර්වල වෙන්න පටන්ගන්නවා. ඔවුන්ට පෙර දී මෙන් මහන්සිවී වැඩ කරන්න අපහසුයි. මහන්සි වෙන්න බැරි නිසා රැකියාව කරන්නත් අපහසුයි. ඉන් ආදායම් මට්ටම අඩු වෙලා ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. මේ වගේ දේවල් මානසිකව දුර්වල වෙන්න හේතුවක්. මානසික පීඩනයත් හතිය වැඩි වෙන්න හේතු වෙනවා. ඒ වගේම හතිය වැඩි වෙයි කියලා හිතාගෙන තමන් කැමති කෑමබීමවලින් ඈත් වෙනවා. මෙය චක්‍රීය ක්‍රියාවලියක්. පෙනහලු පුනරුත්තාපනයෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ මේ චක්‍රය බිඳ දැමීමයි.

මේ වැඩසටහනේ අරමුණ මොකක්ද?

මෙවැනි දීර්ඝ කාලීන හතිය සහිත අයගේ හතිය අඩු කිරීම, ඔවුන්ගේ ශරීරය වෙහෙසීමේ හැකියාව වර්ධනය කිරීම වගේම මේ රෝගය නිසා ඇතිවන දුබලතාවන් අවම කිරීම මින් සිදු වෙනවා. ඒ නිසා ඔවුන්ට නිරෝගී කෙනෙක් මෙන් එදිනෙදා සමාජමය කටයුතුවලට සක්‍රීයව දායක වෙන්න හැකියාව ලැබීමෙන් ජීවන මට්ටම ඉහළ තත්ත්වයට පත්කර ගන්න මේ වැඩසටහන උපකාර වෙනවා.

මේ වැඩසටහන සිදු කෙරෙන්නේ කොහොමද?

මානව සම්පත් අතින් බැලුවොත් වෛද්‍යවරුන්, භෞත චිකිත්සකවරුන්, මානසික උපදේශකවරුන් සහ පෝෂණවේදීන් කියන ප්‍රධාන කණ්ඩායම් හතරක දායකත්වයෙන් තමයි මෙය සිදු වෙන්නේ. ප්‍රධාන වශයෙන් ව්‍යායාම කිරීම මගින් ශරීරයේ පේශීන් ශක්තිමත් කිරීම සිදු කරනවා. ඊට අමතරව නිවැරදිව හුස්ම ගන්නා ආකාරය, පෙනහලුවල සෙම ඉවත් කරන ආකාරය ආදිය කියා දෙනවා. ඒ වගේම මේ රෝගීන්ගේ මානසික පීඩනය අඩු කර ආත්ම විශ්වාසය ගොඩ නගන්න අවශ්‍ය මානසික උපදේශනය ලබාදෙනවා. පෙනහලු රෝගය නිසා තමන්ට කිසි වැඩක් කරගන්න බැහැ කියන මානසික තත්ත්වයෙන් මිදී මානසික තත්ත්වය ශක්තිමත් කරන ආකාරය කියාදෙනවා. ඊට අමතරව පෝෂණය සම්බන්ධ උපදෙස් ලබාදෙනවා.

මේ ප්‍රතිකාරය සඳහා කොපමණ කාලයක් ගත වෙනවාද?

මෙය සාමාන්‍යයෙන් සති හයක් අටක් වගේ කාලයක් ගතවන වැඩසටහනක්. සතියකට දවස් දෙකක් පැය බැගින් පැවැත්වෙන වැඩසටහනට මෙවැනි අපහසුතා සහිත අය සහභාගි වෙන්න ඕනෙ. වැඩසටහන අවසන්වූ පසුවත් නිවසේ දී දිගට ම මේ උපදෙස් පිළිපැදීමෙන් එමගින් ලැබුණු වාසිය දිගටම පවත්වා ගන්න පුළුවන්. මේ වැඩසටහනට සහභාගි නොවුණත් දීර්ඝ කාලීන පෙනහලු ආශ්‍රිත රෝග හෝ හතිය තිබෙන අය වෛද්‍ය උපදෙස්වලට අනුව ඇවිදීම වැනි ව්‍යායාමවල නිරතවීම අනිවාර්ය දෙයක්. එහෙම නොවුණොත් හුස්ම ගැනීමේ අපහසුතාව තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්.

මේ ක්‍රමය මගින් තරුණ අයට පවතින ඇදුම තත්ත්වය සඳහාත් ප්‍රතිකාර ලබාගන්න පුළුවන් ද?

මෙය සිදු කරන්නේ දීර්ඝ කාලීනව පවතින හතිය, දුම්බීම නිසා ඇතිවන ඇදුම වගේම දිගු කාලීනව දර දුමට නිරාවරණය වෙන අයට පවතින ඇදුම වගේ තත්ත්වයන්වලට විතරයි. තරුණ වයස්වල ඉන්න අයගේ කුඩා කාලයේ ඉඳන් ම පවතින හතිය රෝගයට මේ ක්‍රමය සාර්ථක බව මේ දක්වා ඔප්පු වෙලා නැහැ.

මේ වෙද්දි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන රෝහල් මොනවාද?

වැලිසර ළය රෝහලේ තමයි මෙය ආරම්භ කළේ. මේ වෙද්දි කොළඹ, කළුතර, හම්බන්තොට, වව්නියාව, පුත්තලම, කරාපිටිය, රත්නපුර වගේ රෝහල්වල මෙය ක්‍රියාත්මක වෙනවා. එය කොච්චර සාර්ථක වැඩසටහනක් ද කියනවා නම් සමහරු අවුරුදු ගණනාවක් කරගන්න බැරි වුණු රැකියාව නැවත කරන්න පටන්ගන්නවා. හතිය වැඩි වී නිතර රෝහල්වල නතර වුණු අය දැන් එසේ නොවී ක්‍රියාශීලීව වැඩ කරනවා.

ඒ තරම් ප්‍රතිඵලදායක නම් ඇයි මේ වැඩසටහන ප්‍රචලිත නැත්තේ?

ඒකට හේතුව මේ ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් මහජනතාව සහ සෞඛ්‍ය අංශවල දැනුවත් බවක් නැහැ. ඒ වගේම මෙවැනි දේවල් ගැන පුහුණුව ලැබූ භෞත චිකිත්සකවරු සහ උපදේශන සේවා ලබාදෙන අය හිඟකමත් එයට හේතුවක්. ඒ ඒ රෝහල්වල ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ භෞත චිකිත්සකවරුන්ගේ උනන්දුව මත තමයි දැනට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසාම සෞඛ්‍ය අමාත්‍යංශය මේ ගැන මීට වඩා අවධානය යොමු කරලා පුළුල් සැලසුමකට අනුව ලංකාව තුළ මෙය ප්‍රචලිත කරන්න ඕනෙ. කොහොම වුණත් ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ වනවිටත් පෙනහලු පුනරුත්තාපනය ලංකාව තුළ ප්‍රචලිත කරන්න විශාල වශයෙන් පියවර ගනිමින් ඉන්නවා.

මේ ගැන උනන්දුවන කෙනෙකුට මෙකී වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද?

ඉහත සඳහන් කළ රෝහල්වලින් තමාට පහසු ඕනෑ ම රෝහලක ස්වසන රෝග ඒකකයට ගිහින් එහි කාර්ය මණ්ඩලයෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන ආකාරය ගැන වැඩි විස්තර අසා දැනගන්න පුළුවන්.

ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ
(පුත්තලම මූලික රෝහල)

සටහන – දුලංජලී මුතුවාඩිගේ