Health Guide

දියවැඩියා රෝගයට අදාළ පරීක්ෂණ ගැන දැනගන්න

සාමාන්‍ය පුද්ගලයෙකුට දියවැඩියාව වැලඳී ඇත්දැයි සොයා බැලීමට මෙන්ම දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකුට තමන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ නිසියාකාර ඇගයීමක් කිරීම සඳහා පරීක්ෂණ ඉවහල් වේ.

රුධිර පරීක්ෂණ මෙන් ම, මුත‍්‍රා පරීක්ෂණ ද මේ අතර වේ.
මෙම පරීක්ෂණවල ප‍්‍රතිඵල මත දියවැඩියා රෝගයේ පාලනය මෙන් ම සංකූලතා ද හඳුනාගත හැකිය. එමගින් ඖෂධ වර්ග වෙනස් කිරීම මගින් රෝගය පාලනය කරගැනීමට හැකියාවක් පවතී.

දියවැඩියාව පළමුවෙන් ම හඳුනාගැනීමට

මේ සඳහා මූලික පරීක්ෂණ වර්ග 3ක් පවතී.

01. Fasting Blood Sugar

පැය අටක් නිරාහාරව සිටීමෙන් පසු (වතුර පානය කළ හැකිය.) රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම.

මෙය >125 mg/dl අගයට වැඩිවූ විට දියවැඩියාව යැයි හඳුන්වනු ලැබේ.

100 – 125 mg/dl අතර පූර්ව දියවැඩියාව වශයෙන් හඳුනාගෙන ඇත. පූර්ව දියවැඩියාව ඇති පුද්ගලයන් ඉදිරියේ දී දියවැඩියාව වැලඳීමේ අවදානමක් ඇත.

<100 mg/dl – දියවැඩියාව නොමැති සාමාන්‍ය තත්ත්වය.

02. Oral glucose tolerance test (OGTT)

මෙය ද රුධිරයේ සීනි මට්ටම මැනගන්නා පරීක්ෂණයයි. මෙහි දී ද පැය 8ක් නිරාහාරව සිට glucose 75g වතුර 200ml දියකර පානය කිරීමෙන් පැය 2කට පසු රුධිරයේ සීනි මට්ටම මැනගැනීම සිදු කෙරේ.

මෙහි >200 mg/dl – දියවැඩියා තත්ත්වය වන අතර 140 – 200 mg/dl – පූර්ව දියවැඩියා සහිත අවදානම් කලාපය වේ.

<140 mg/dl – දියවැඩියාව නොමැති සාමාන්‍ය තත්ත්වයයි.

03. HbAIC

මෙහි දී පරීක්ෂා වනුයේ රුධිරයේ glucose මට්ටමේ සාමාන්‍ය අගයයි.

මෙය සඳහා නිරාහාරව සිටීම අවශ්‍ය නොවේ.

දවසේ ඕනෑ ම වේලාවක කළ හැකි පරීක්ෂණයකි.

මෙමගින් තම රුධිරයේ පසුගිය මාස 3 තුළ පවතින සීනි ප‍්‍රමාණයේ සාමාන්‍යය පෙන්වනු ලැබේ.

මෙය මාස තුනකට වරක් කිරීම ප‍්‍රමාණවත් වේ.

මෙය >6.5% – දියවැඩියා තත්ත්වය

5.4% – 6.5% – පූර්ව දියවැඩියා සහිත අවදානම්

<5.4% – සාමාන්‍යයි

යම් පදුග්ලයෙකු දියවැඩියාව හඳුනාගැනීමට ඉහත පරීක්ෂණ කරනු ලබන්නේ නම්, රෝග ලක්ෂණ එනම්, අධික පිපාසය/මුත‍්‍රා පිටවීම පවතී නම් එක් පරීක්ෂණවයක් ප‍්‍රමාණවත් වන අතර, රෝග ලක්ෂණ නොමැති පුද්ගලයකුට සති 2ක් පරතරය ඇතිව රුධිර පරීක්ෂණ 2ක් අවශ්‍ය වේ.

දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකුට රුධිරයේ සීනි මට්ටම ගෙදරදීම බලාගැනීම ඉතා පහසු කරුණකි. ඒ සඳහා Glucometer නම් උපකරණය භාවිත කළ හැකිය. මෙය කෑමට පෙර හා පසු වශයෙන් දිනය වේලාව සමග සතියකට වරක්වත් සටහන් කිරීම මගින් හා එය වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීම මගින් රුධිරයේ දියවැඩියාව පාලනය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකිය.

එමෙන් ම රුධිරයේ සීනි මට්ටම අඩු වූ විට (Hypoglycemic) මෙමගින් ඉතා ඉක්මනින් එය පරීක්ෂා කරගත හැකිය.

රුධිරයේ සීනි මට්ටම නීර්ණයට අමතරව,

1. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම – Blood Cholesterol

2. වකුගඩු ක‍්‍රියාකාරීත්වය

3. මුත‍්‍රාවල ප්‍රෝටීන පිටවීම – Urine micro albumin

4. හෘදරෝග තත්ත්වයන් – ECG

5. තයිරොක්සින් මට්ටම – TSH

6. අක්මාවේ ක‍්‍රියාකාරීත්වය
පරීක්ෂණ කිරීම වැදගත් වේ.

01. රුධිරයේ කොලෙස්ටරෝල් (Cholesterol) මට්ටම

මෙය පරීක්ෂා කරනු ලබන්නේ Lipid Profile නම් පරීක්ෂණයෙන් ය. මේ සඳහා නිරාහාරව සිටීම අත්‍යවශ්‍ය නොවේ.

මෙහි Triglyceride, VLDL, LDL, HDL යනාදී වශයෙන් ශරීරයට හිතකර මෙන් ම අහිතකර ලිපිඩ වර්ග අඩංගු ප‍්‍රමාණයන් සඳහන් වේ.

LDL (නරක මේද) <100 mg/dl අගයක පවත්වාගත යුතු අතර, මෙයට වඩා වැඩි වූ විට හෘදරෝග, අංශභාගය වැලඳීමේ ප‍්‍රවණතාව වැඩි ය.

HDL (හොඳ මේද)

<50 mg/dl – ගැහැනු

<40 mg/dl – පිරිමි

මෙය වැඩි අගයක පවත්වාගැනීම අවශ්‍ය ය.

Triglyceride (නරක මේද)

<150 mg/dl

මෙය අඩු අගයක පවත්වාගැනීම අවශ්‍ය ය.

Lipid Profile පරීක්ෂණ අවුරුද්දකට දෙවරක් සාමාන්‍යයෙන් කළ යුතු අතර, දෙවන වර්ගයේ දියවැඩියා (Type 02) සඳහා ආරම්භයේ දී ද කළ යුතුය.

02. Urinary microalbumin (UACR)

මුත‍්‍රාවල ප්‍රෝටීන (ඇල්බියුමින්) පරීක්ෂාව මගින් දියවැඩියාව නිසා වකුගඩුවට බලපාන සංකූලතා ඉතා ප‍්‍රාථමික අවධියේ දී දැනගැනීමට හැකිය.

<20mg/dl – normal

20-200 mg/dl – microalbumin

>200 – macroalbumin

මෙහි දී microalbuminuria තත්ත්වය ඖෂධ මගින් පාලනය කර නැවතත් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිය.

මෙම පරීක්ෂණය පළමු වර්ගයේ දියවැඩියාව (Type 01) හඳුනාගෙන වසර 5කින් පමණ කිරීම සෑහෙන අතර දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2) හඳුනාගැනීමේ දී ම කළ යුතුය.

එමෙන් ම, ඇල්බියුමින් ප‍්‍රමාණය අනුව නැවත වසරකට වරක් හෝ දෙවරක් අවශ්‍ය වේ.

03. Serum Creatinine

තමාගේ වකුගඩු ක‍්‍රියාකාරිත්වය වසරකට වරක් මෙම පරීක්ෂණය මගින් දැනගැනීම අත්‍යවශ්‍ය වේ. මෙමගින් රුධිරයේ සීනි වකුගඩුවලට බලපා ඇති ආකාරයෙන් යම් යම් ඖෂධ වර්ග නැවතත් භාවිතය පිළිබඳ තීරණ ගැනීමට හැකි වේ.

04. ECG

දියවැඩියා රෝගීන්ට හෘදරෝග සෑදීමේ වැඩි ප‍්‍රවණතාවක් පවතී. සමහර විටෙක මෙම රෝගීන්ට රෝග ලක්ෂණ නොපැවතීමට පුළුවන. ඒ නිසා මෙය වැදගත් පරීක්ෂණයකි.

05. TSH

මෙය සාමාන්‍යයෙන් කරනු ලබන පරීක්ෂණක් නොවේ. නමුත් මෙම පරීක්ෂණයෙන් වෙනසක් ඇතොත් ඒ සඳහා ප‍්‍රතිකාර කිරීම වැදගත් වේ.

06. ACT

මෙය අක්මාවේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ කරනු ලබන පරීක්ෂණයකි. විශේෂයෙන් ම Atorvastatin, Rosuvastatin යනාදී ලිපිඩ අඩු කිරීමට ගනු ලබන ඖෂධ භාවිත කරන්නේ නම් මෙය වැදගත් වේ.

දියවැඩියාව වැලඳී ඇති ඔබ මාස 3කට වරක්,

1. HbAIC

2. Blood Pressure

මාස 6කට වරක්,

1. Lipid Profile

2. ACT

3. Urinary micro albumin

වසරකට වරක්,

1. Serum Creatinine

2. Urinary micro albumin

3. Lipid Profile

4. TSH

විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය (MBBS, MD, MRCP, FRCP, FCCP, FACE, FSLCE)
(දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ, දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය, දකුණු කොළඹ ශීක්ෂණ රෝහල)

සටහන – වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල (MBBS, MD)
(Senior Registrar, දියවැඩිය සහ අන්තරාසර්ග ඒකකය
දකුණු කොළඹ ශීක්ෂණ රෝහල)