Health Guide

දියවැඩියාව සමග සාර්ථක සංචාර

ඔබට දියවැඩියා රෝගී තත්ත්වය වැලඳී තිබීම, අවශ්‍ය පරිදි සාර්ථක ලෙස සංචාරයේ යෙදීමට බාධාවක් නොවේ.

මේ සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද?

01. සංචාරයට සති 2කට පෙර ඔබගේ වෛද්‍යවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්න.
02. ඔබට රක්ෂණ ආවරණයක් පවතී නම් රක්ෂකයා සමග ද මේ පිළිබඳ සාකච්ඡා කරන්න. මන්ද දියවැඩියාව නිසා වැලඳෙන හදිසි රෝගාබාධවලට මෙහි දී ආවරණය ලැබෙන බැවිනි.
03. ඔබ දියවැඩියාවට පෙති වර්ග භාවිත කරන්නේ නම් කිසිදු බාධාවක් නැත.
04. ඔබ ඉන්සියුලින් භාවිත කරන්නේ නම්, සිරින්ජ් සහ කටු භාවිතයට වඩා ඉන්සියුලින් Pen භාවිතය ගමනේ දී පහසු වේ. (මෙයට ශීතකරණ පහසුකම් අත්‍යාවශ්‍ය නොවන නිසා).

සංචාරය සැලසුම් කිරීම

01. ඔබ ඉන්සියුලින් භාවිත කරන්නේ නම් ඔබ ගමන් ගන්නා රටේ ඇති ඉන්සියුලින් වර්ග/ලබාගත හැකි ස්ථාන පිළිබඳ විමසා බලන්න.
02. කෙටි ගමන්වල දී ඔබට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය සහ පෙති ප්‍රමාණය ලංකාවෙන් ගෙනයාම වැදගත් වේ. රේගු පරීක්ෂාවේ දී ඔබ භාවිත කරන කටු, සිරින්ජ, ඉන්සියුලින් පෑන පිළිබඳ විමසීමට ඉඩ ඇති බැවින්, ඉන්සියුලින් සමග වෙනත් ඖෂධ වර්ග සඳහන් කර ලිපියක් (Prescription) රැගෙන යන්න.
03. සංචාරක කාලය තුළ ඔබට අවශ්‍ය වන බොහෝ ඉන්සියුලින්, ග්ලුකොමීටර ඔබගේ අත් බෑගයේ (Hand Luggage) සුරක්ෂිතව රැගෙන යන්න.

ගමන අතර දුර

01. දියවැඩියා ආහාර වේලක් ඔබට ලබාගත හැකිද යන්න සොයා බලන්න.
02. සමහර විටෙක ඔබට අමතර සුළු ආහාර රැගෙන යාමට ද සිදුවිය හැකිය.
03. ඔබගේ සාමාන්‍ය කාල සටහන වෙනස්වීමට ඉඩකඩ ඇති බැවින්, වෙනදාට වඩා වැඩි වාර ගණනක් රුධිරයේ සීනි පරීක්ෂාව කිරීමට සිදුවිය හැකිය.
04. ගුවන් ගමනක දී ඔබගේ ඔරලෝසු වේලාවට අමතර, ඖෂධ ඉන්සියුලින් ලබාගැනීම වැදගත් වේ.
ඔබට ප්‍රධාන ආහාර වේලක් මගහැරේ නම්, ඒ සඳහා කෙටි ආහාර වේලක් ලබාගන්න.
05. සීනි සහ පැණි රස ආහාර අවම කරන්න.
06. ඔබ සමග ගමන් ගන්නා ප්‍රධානියාට / යාළුවෙකුට ඔබගේ රෝගය පිළිබඳ / ඖෂධ පිළිබඳ දැනුවත් කරන්න.
07. සීනි අඩුවීමක දී ලබාගැනීමට සීනි පැණිරස සහිත ආහාරයක් ළඟ තබාගන්න.
මීට අමතරව පහත සඳහන් දෑ ද අනුගමනය කරන්න.
● උෂ්ණ රටක නම් හිරුඑළිය නොවැටෙන සිසිල් ස්ථානයක ඉන්සියුලින් ගබඩා කරන්න.
● පාවහන් නොමැතිව ඇවිදීමෙන් වළකින්න.
● පාන වර්ග වැඩි ප්‍රමාණවලින් ලබාගන්න.
● සිසිල් රටක නම් ඉන්සියුලින් මිදීම වළක්වාගැනීමට කටයුතු කරන්න.
● ආරක්ෂිතව ඉන්සියුලින් කටු බැහැර කිරීමට ආවරණයක් යොදාගන්න.
නිසි පරිදි සූදානම්වීමෙන් ඔබගේ සංචාරය විනෝදයෙන් ගත කිරීමට හැකි වනු ඇත.

විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය (MBBS, MD, MRCP, FRCP, FCCP, FACE, FSLCE)
(දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ,
දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය,
දකුණු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන – වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල (MBBS, MD)
(Senior Registrar,
දියවැඩිය සහ අන්තරාසර්ග ඒකකය,
දකුණු කොළඹ ශික්ෂණ රෝහල)