Health Guide

ගර්භණී සමයේ දියවැඩියාව – 3

දියවැඩියාවෙන් පෙළෙන ගර්භණී ඔබගේ පෝෂණය

ඔබ දියවැඩියාවෙන් පෙනුණ ද අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් යුතු ආහාර වේලක් ගැනීම අත්‍යවශ්‍ය ය.

ඔබ දිනපතා ගන්නා ආහාරවල,
● 50%ක් පිෂ්ටධාතු
● 20%ක් ප්‍රෝටීන
● 30%ක් මේදය
අඩංගු විය යුතුය.

ඔබ තුළ වැඩෙන දරුවාට නිතර ම පෝෂණය අවශ්‍ය බැවින් පැය කිහිපයක් නිරාහාරව සිටීම අහිතකර ය. පැය දෙක තුනකට වරක් සැහැල්ලු ආහාර වේලක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ගර්භණී සමයේ බර වර්ධනය සිදුවිය යුතු වන්නේ පූර්ව ප්‍රසව බර අනුවයි. සාමාන්‍ය බර සහිත මවක් 8-10නට බර වර්ධනයක් අවශ්‍ය ය.

දෛනික ශක්ති අවශ්‍යතාව පවත්වාගෙන යාම සඳහා අඩු බර සහිත මව්වරුන් දවල් හා රාත්‍රී ආහාර වේල් සඳහා වැඩි පිෂ්ට ප්‍රමාණයක් ලබාගත යුතුය. මෙහි දී නිතර ම රුධිරයේ සීනි ප්‍රමාණය නියමිත අගයක පවත්වාගැනීම ද වැදගත් වේ.

සීනි ඉලක්ක මට්ටම

★ කෑමට පෙර 70-90mg/dl
★ කෑමට පැය එකකට පසු <130mg/dl
★ කෑමට පැය දෙකකට පසු <120mg/dl
ග්ලූකොමීටර් උපකරණයක් භාවිත කර රුධිරයේ සීනි මට්ටම නිවසේ දී ම පරීක්ෂා කරගත හැකිය.

ඔබට සාමාන්‍ය ප්‍රමාණයෙන් ගත හැකි ආහාර

■ නිවුඩු හාල් / තම්බපු හාල්
■ රතු හාල් පිටි / කුරක්කන්වලින් සාදන ලද ආහාර
■ මුං ඇට / කඩල / කව්පි
■ මාළු / හාල්මැස්සන් / කරවල
■ හම ඉවත් කළ කුකුළු මස්
■ බිත්තර
■ පළා වර්ග
■ කිරි වීදුරු 1 – 2
■ එළවළු
■ කොස් / දෙල් / අල වර්ග – සීමා සහිතව ගන්න.

පලතුරුවල සීනි අඩංගු නිසා පාලනයක් සහිතව ගත යුතුය. එක් ආහාර වේලකට එක් පලතුරු වර්ගයක් හෝ පලතුරු වර්ග 2 – 3ක මිශ්‍රණයක් ගත හැකිය. (කෝප්ප 1/2 – 1 ප්‍රමාණයක්).

■ ඕනෑම කෙසෙල් වර්ගයක්
(ලොකු ආනමාලු 1/2, ලොකු කෝලිකුට්ටු 1/2, රත් කෙසෙල් 1/2)
■ පොඩි අඹ ගෙඩියක්
■ දොඩම් ගෙඩියක්
■ අන්නාසි කෑල්ලක්
■ ගස් ලබු කෑල්ලක්
■ මිදි ගෙඩි කිහිපයක්
■ අලිගැටපේර 1/4
■ පලතුරු යුෂ 3/4

රට ඉඳිවල අධික සීනි ප්‍රමාණයක් අඩංගු වන නිසා රට ඉඳි දිනකට එක ගෙඩියකට සීමා කරන්න. සීනි සහිත ආහාර සීමා කිරීම වැදගත් වනුයේ ඉන් රුධිරයේ සීනි මට්ටම ඉතා වේගයෙන් වෙනස් වන නිසා, එය දරුවාට අහිතකර විය හැකි නිසා ය.

කෙඳි ගතිය වැඩි ආහාර මගින් ආහාර ජීර්ණය රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම පාලනය කරයි.

ගර්භණී සමයේ ලබාගැනීමට නිර්දේශ කිරි වර්ග හා වෙනත් ආහාරවල විශේෂ වාසියක් නැත.

ඔබට තවදුරටත් දැනගැනීමට කෑම වට්ටෝරුවන්
උදේ – රතු හාල් පිටි ඉදිආප්ප 6 – 8
බත් / මුං අට / කඩල / කෝප්ප 1/2
කිරිබත් කැබලි 1 1/2

උදේ 10.30 – කෙසෙල් ගෙඩියක් / ගස්සපු තීරුවක් / ඇපල් භාගයක් / දොඩම් ගෙඩියක්
සීනි රහිත විස්කෝතු 1
සීනි රහිත තේ / කිරි කෝප්ප 1

දවල් – රතු හාල් බත් මේස හැඳි 6 – 8 (පිගානෙන් භාගයක්)
මාළු / එළවළු

හවස 4.00 – යෝගට් 1
සීනි රහිත තේ කෝප්පයක්

රාත්‍රී – රතු හාල් පිටිවලින් පිට්ටු / රොටී 2
රතු හාල් පිටිවලින් බත් කෝප්ප 1/2
බිත්තර 1

රාත්‍රී 10.00 – කිරි කෝප්පයක්

විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය (MBBS, MD, MRCP, FRCP, FCCP, FACE, FSLCE)
(දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ,
දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය,
දකුණු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන – වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල (MBBS, MD)
Senior Registrar
දියවැඩිය සහ අන්තරාසර්ග ඒකකය
දකුණු කොළඹ ශික්ෂණ රෝහල