Health Guide

ගර්භණී සමයේ දියවැඩියාව-4 (ගර්භණී සමයේ ඉන්සියුලින් භාවිතය)

ඉන්සියුලින් භාවිත කරන ඔබ දැන සිටිය යුතු කරුණු

දියවැඩියාවෙන් පෙළෙන ඔබට ගර්භණී සමයේ භාවිත කිරීමට සුදුසු ඖෂධ වනුයේ Metformin (දියවැඩියාව පාලනය කරන පෙති – මෙට්ෆොමින්) සහ එන්නතක් වන ඉන්සියුලින් පමණි.

මෙය නියම කරන ප්‍රමාණවලින් ගත යුතු අතර භාවිතයට සුදුසු තත්ත්වයේ පැවතිය යුතුයි. එම නිසා නිවැරදි භාවිතය පිළිබඳ දැනුවත්වීම වැදගත් වේ.

1. ඉන්සියුලින් ගබඩා කිරීම

ඔබට ශීතකාරණයක් ඇත්නම් එහි මැද කොටසේ (2-8C0) ගබඩා කළ හැකිය.

ඔබ ඉන්සියුලින් විදීමට පෑනක් (Insulin Pen) භාවිත කරන්නේ නම් එය ශීතකරණයේ තැබීම අත්‍යවශ්‍ය නැත. එසේ තැබීමෙන් හානියක් වන්නේ ද නැත.

ඉන්සියුලින් අධිශීත කොටසේ නොතබන්න.

ශීතකරණයක් නොමැති නම් පහත පරිදි මැටි බඳුනක් තුළ ගබඩා කළ හැකිය. පහත පරිදි සකසාගෙන සිසිල් ස්ථානයක තබන්න.

■ මැටි මූඩිය
■ මැටි බඳුන
■ කුඩා මැටි බඳුන
■ ජලය
■ ඉන්සියුලින් කුප්පිය

2. ඉන්සියුලින් ප්‍රවාහනය

ඉන්සියුලින් කුප්පිය සීල් තබන ලද අයිස්කැට පැකට්ටුවක් සමග රිජිෆෝම් පෙට්ටියක දමාගෙන යා හැකිය.

ඉන්සියුලින් කුප්පිය නූලක ගැට ගසා අයිස් කැට දමන කුඩා උණුවතුර බෝතලයක (Flask) අයිස්වල නොගෑවෙන ලෙස එල්ලා රැගෙන යන්න.

ඉන්සියුලින් වතුර හෝ අයිස්කැට සමග ගැටීම නුසුදුසු ය.

3. ඉන්සියුලින් සිරින්ජය සහ කටුව තෝරාගැනීම

විෂබීජ නැති බවට තහවුරු කරන ලද (Sterilized) 1mm පරිමාව ඇති U-100 සිරින්ජය සුදුසු ය.
27 හෝ 29 ප්‍රමාණයේ කටුව දිග අඟල් 1/2 මෙම කටුව කිහිප වාරයක් භාවිත කළ හැකිය. උණු වතුරේ තම්බා ගැනීම අවශ්‍ය නොවේ.

4. ඉන්සියුලින් විදීමට පෙර

ඉන්සියුලින් කුප්පිය (Vial) විවෘත කළ පසු දින 28ක් පාවිච්චි කළ හැකිය.

භාවිතයට පෙර ඉන්සියුලින්වල වර්ණය, ඉකුත්වීමේ දිනය පිළිබඳ සැලකිලිමත් වෙන්න.

විදීමට මිනිත්තු 15කට පෙර ශීතකරණයෙන් ඉවතට ගන්න. සීතල ඉන්සියුලින් විදීමේ දී වේදනාව වැඩි ය. සබන් ගා දෑත් හොඳින් සෝදා පිසදාගන්න.

නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් පසුව විදීම වඩාත් සුදුසු ය. නැතහොත් එම ප්‍රදේශය හොඳින් සෝදන්න.

ස්පිත්තු තැවරූ පුළුන් කැබැල්ලකින් කුප්පියේ උඩ කොටස පිසදමන්න.

නියම කරන ලද ප්‍රමාණයට (Unit) ඉන්සියුලින් සිරින්ජයට ඇදගන්න.

ඉන්සියුලින් විදීමට සුදුසු වනුයේ,

1. කලවයේ උඩ කොටස (thigh)
2. පෙකණියේ (belly button) සිට අඟල් 2ක් ඉවතට
3. අතේ උඩ කොටස (Arm)

ඇඟිලි 2 ආධාරයෙන් නියමිත ප්‍රදේශය අල්ලාගෙන 450 කෝණයකින් හම තුළට (Sub cutanean) විදින්න.

ඉන්සියුලින් විදීමෙන් විනාඩි 30 ඇතුළත ප්‍රධාන ආහාර වේලක් ගත යුතුය.

ඉන්සියුලින් විදින ස්ථානයේ රතුවීමන්, කැසීමක්, පලු දැමීමක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් පෙන්නුම් කරන්නේ නම් වහාම ළඟ ම ඇති රෝහල වෙත යන්න.

විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය (MBBS,MD,MRCP, FRCP,FCCP, FACE,FSLCE)
(දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ, දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන –
වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල (MBBS,MD)
Senior Registrar,
දියවැඩිය සහ අන්තරාසර්ග ඒකකය,
දකුණු කොළඹ ශික්ෂණ රෝහල.