Health Guide

දියවැඩියා රෝගය නිසා වැඩිපුර සංකූලතා ඇතිවන්නේ කුමන ඉන්ද්‍රියන්වලටද?

අධික සීනි ප්‍රමාණය අපගේ ශරීරයේ සියලු ම අවයවවලට බලපෑම් ඇති කරනවා. විශේෂයෙන් ම හෘදය, රුධිරවාහිනි, ස්නායු පද්ධතිය, වකුගඩු, පාදවල සංකූලතා ඒ අතරින් ප්‍රධාන වේ.

දියවැඩියාවෙන් දෙපා ආරක්ෂා කරගනිමු

සෑම තත්ත්පර 30කට ම වරක් ලෝකයේ කොතැනක හෝ දියවැඩියාව නිසා පාදයක් හෝ පාදයේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදුවන බව ඔබ දන්නවාද?

ඔබට දියවැඩියාව වැලඳී තිබීම, පාදයක් හෝ පාදයේ කොටසක් අහිමිවීමේ හැකියාව 20 ගුණයකින් වැඩි කරයි.

දියවැඩියාව නිසා පාදවලට සිදුවන හානි මොනවාද?

■ පාදයේ ස්නායු විනාශවීම නිසා පාද හිරිවැටීම
■ පාදයේ හැඩය වෙනස්වීම ■ මේ නිසා ශරීරයේ බර අසමමිතිකව බෙදී යාමෙන් යටිපතුලේ යම් ස්ථානවල පීඩනය වැඩිවේ. (callosity) (ගල්තැලුම්)
■ ස්නායු විනාශවීම නිසා නොදැනීම සපත්තුවලට කැපී සීරිම් සහ තුවාල ඇතිවීම.
■ සම වියළීම නිසා යටිපතුල් පැලීමෙන් ආසාදන ඇතිවේ.
■ පාදයට ලැබෙන රුධිර සැපයුම අඩාලවීම නිසා තුවාල ඉක්මනින් සුව නොවේ. මෙයට අධික සීනි මට්ටම ද බලපායි.
■ පාදයේ කොටස් දුර්වර්ණවී නරක් වෙයි.
පහත අවස්ථාවල දී ඔබ වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
1. සමේ වර්ණයේ වෙනසක් ඉදිමීමක්.
2. ඇඟිලිකරු වණවීම.
3. පාදවල හැඩයේ වෙනසක්.
4. නියපොතු ආසාදනය.
5. යටිපතුල් පැලීම/ ගල්තැලුම්.
6. තුවාල/ දියපට්ටා.
නමුත් නිසි ලෙස පාද රැක බලාගැනීමෙන් පාද පහසුවෙන් ආරක්‍ෂා කර ගත හැකිය.

කළ යුතු දේ.

1. දිනපතා පාද සබන් ගා ඇල් ජලයෙන් සෝදාගන්න.
2. දෙපා හොඳින් වියලාගන්න. (විශේෂයෙන් ඇඟිලිකරු අතර).
3. දිනපතා නින්දට පෙර පාද හොඳින් පරීක්‍ෂා කර බලන්න. යටිපතුල බැලීමට කුඩා කණ්ණාඩියක් භාවිත කරන්න.
4. රුධිරයේ සීනි මට්ටම නිරතුරු පරීක්‍ෂා කරන්න.
5. සම වියළීම වැළැක්වීමට සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න (ඇඟිලිකරුවල හැර).
6. නියපොතු නිවැරදි ආකාරයට කපන්න.
7. පාවහන් පැලඳීමට පෙර පිරිසිදු කරන්න.
8. නිවැරදි පාවහන් පලඳින්න. මේ සඳහා ඔබගේ පාදවලට ගැළපෙන පාවහන් වෛද්‍ය නිර්දේශය මත සාදාගත හැකිය. (custom made shoes).

නොකළ යුතු දේ

1. පාවහන් රහිතව ඇවිදීම.
2. තුවාල/ දියපට්ටා/ ගල්තැලුම්වලට තනිව ප්‍රතිකාර කිරීම. මේ සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රම ඇති බැවින්.
3. නියපොතු අග රවුම් කිරීම.
4. උල් සපත්තු පැලඳීම.
5. උණු ජලයෙන් සේදීම.

විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය (MBBS,MD,MRCP, FRCP,FCCP, FACE,FSLCE)
(දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ,
දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය,
දකුණු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන – වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල (MBBS,MD)
Senior Registrar
දියවැඩිය සහ අන්තරාසර්ග ඒකකය
දකුණු කොළඹ ශික්ෂණ රෝහල