Health Guide

හයිපොග්ලයිසීමියාව (Hypoglycemia) ගැන දැනුවත් වෙමු (රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස අඩුවීම)

රුධිරගත ග්ලූකෝස් මට්ටම 70mg / dc (4mmol / c) වඩා අඩුවීම හයිපොග්ලයිසීමියාව (Hypoglycemia) නමින් හඳුන්වයි.
මෙය ඉතා බරපතළ තත්ත්වයක් වන අතර මෙමගින් මොළයට ලැබෙන ග්ලූකෝස් ප‍්‍රමාණය අඩුවීමෙන් මොළයේ යම් යම් ක‍්‍රියාරහිතභාවයන් ඇතිවීමට හැකියාව පවතී.

රෝග ලක්ෂණ

1. නිදිමත ගතිය
2. දහඩිය දැමීම
3. ක්ලාන්තය
4. හෘද ස්පන්දනය වේගවත්වීම
5. හිසරදය
6. වචන ගොත ගැසීම
7. අධික කුසගින්න
8. හැසිරීම් රටාව වෙනස්වීම
9. අතපය පණ නැතිවීම
10. වලිප්පුව
11. සිහි නැතිවීම

ඔබ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු නම්, විශේෂයෙන් ම ඉන්සියුලින් භාවිත කරන්නේ නම්, ඉහත රෝග ලක්ෂණ පිළිබඳ හොඳ අවධානයෙන් සිටීම වැදගත් වේ.

මෙවැනි අවස්ථාවක ඔබ සතුව ග්ලූකොමීටර් (Glucometer රුධිරයේ සීනි බලන උපකරණය) තිබේ නම්, වහා සීනි පරීක්ෂණයක් සිදුකිරීම කළ යුතුය.

එසේ නැතිවීම ඉහත රෝග ලක්ෂණ Hypoglycemia තත්ත්වයක් ලෙස සලසා කටයුතු කළ යුතුය.

මෙවැනි අවස්ථාවක දී පහත පරිදි ක‍්‍රියා කළ යුතුය.

1. ඉතා ඉක්මනින් පහත සඳහන් ආහාර ද්‍රව්‍යයක් ගැනීමට සැලකිලිමත් වන්න.
x Glucose – ග්ලූකෝස්
x සීනි දියකරන ලද වතුර
x සීනි
x චොක්ලට් / ටොෆි / ජෑම්
x තේ කෝප්පයක් – සීනි සහිත

2. ඔබට විනාඩි 10ක් පමණ, ගියපසු රෝග ලක්ෂණවල අඩුවීමක් දැනෙනු ඇත. එසේ නොමැති නම්, ළඟ ම ඇති රෝහලට ඇතුළු වන්න.

3. Glucometer තිබේ නම් රුධිරයේ සීනි මට්ටම වැඩි වී දැයි දැනගන්න.

4. සිහි නැතිවීම් තත්ත්වයක දී / අපස්මාරය (Fitattah) තත්ත්වයේ දී ඉතා ඉක්මනින් රෝහල්ගත විය යුතුය. (එහි දී ඔබට සේලයින් මාර්ගයෙන් සීනි ලබාදීම අත්‍යාවශ්‍ය වේ.)

5. සීනි අඩුවීමට හේතුව සහ බෙහෙත් වෙනස් කිරීමට අවශ්‍ය බැවින් ඉක්මනින් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

හයිපොග්ලයිසිටියා තත්ත්වය ඇතිවීමට බලපාන ප‍්‍රධාන හේතු

1. ඉන්සියුලින් / දියවැඩියා පෙති නියමිත ප‍්‍රමාණයට වඩා වැඩිපුර ගැනීම.

2. නියමිත ප‍්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීම.

3. ඉන්සියුලින් ගැනීමෙන් පසු ආහාර නොගෙන සිටීම.

4. ප‍්‍රධාන ආහාරවේල් මගහැරීම. ආහාරවේල් අතර නිසි පරතරයක් නොමැතිවීම.

5. අධික ලෙස මත්පැන් භාවිතය.

6. සුපුරුදු ප‍්‍රමාණයට වඩා අධික ලෙස ව්‍යායාමවල නිරතවීම.

මෙම තත්ත්වය මගහරවාගත හැක්කේ කෙසේද?

1. හයිපොල්ගයිසිමියා තත්ත්වයට බලපාන ඉහත කරුණු අවම කරගැනීම.

2. මෙවැනි තත්ත්වවල දී කළ යුතු දේ පිළිබඳ මනා දැනුමක් පවත්වාගැනීම.

3. ඉහත සඳහන් ආහාර ද්‍රව්‍යයක් සෑමවිට ම ළඟ තබාගැනීම.

4. වාහන ධාවනය, පිහිනීම වැනි අවදානම් ක‍්‍රියාවලට පෙර රුධිරයේ සීනි මට්ටම මැන දැනගැනීම.

විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය (MBBS, MD, MRCP, FRCP, FCCP, FACE, FSLCE)
(දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ,  දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන – වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල (MBBS, MD)
(Senior Registrar, දියවැඩිය සහ අන්තරාසර්ග ඒකකය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල)