Health Guide

සුදු කබර රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද?

සම යනු දේහයේ බාහිර ආවරණයක් ලෙස ක්‍රියාකරමින් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බාහිර පරිසරයෙන් ආරක්ෂා කරනු ලබන ආරක්ෂකයෙකි. සම පුද්ගල පෙනුම කෙරෙහි සෘජුව ම බලපායි. සුදු කබර නැතහොත් ශ්විත්‍ර රෝගය හේතුවෙන් කිසිඳු වේදනාවක් හෝ දෛනික වැඩවලට බාධාවක් හෝ ඇති නොවන නමුත් සමෙහි පවත්නා පැහැය සම්පූර්ණයෙන් වෙනස් වන නිසාවෙන් එය පුද්ගල පෞරුෂත්වයට ද බලපායි. එමනිසා රෝගය වැලඳුණ පුද්ගලයන් මානසිකව බෙහෙවින් ඇදවැටීමකට ලක්වේ. සුදුකබර රෝගය සඳහා ඖෂධ නැතැයි බොහෝදෙනා සිතති. එහෙත් දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මඟින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ටාවට සුවපත් කර ඇත.

සුදු කබර රෝගයට හේතු සාධක මොනවාද?

● විරුද්ධ භෝජනය.
● නිදිවැරීම.
● අසාත්මික දෑ සේවනය.
● මල මුත්‍රා ආදීන්ගේ වේග දරා සිටීම.
● පෙර ජාතියේ කළ දුෂ්ටක්‍රියා නිසා.
● ජානමය බලපෑම හේතුවෙන්.
● සත්ත්ව දෂ්ට එනම් මීයන්, බළලුන් හෝ සර්පයන් සපා කෑම නිසා.

මීයන්ගෙන් සුදු කබර රෝගය ඇතිවන්නේ කෙසේද?

මූෂික හෙවත් මීයන්ගේ විෂ සුදු කබර රෝගය වැලඳීමට බෙහෙවින්ම බලපාන කාරණාවක් ලෙස දැක්විය හැකිය. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ ක්‍රියාකාරී වන මීයාගේ පිරිමි සතා සංසර්ගයෙන් පසුව ආවේගශිලී ය. යම් හෙයකි එවැනි අවස්ථාවක සපා කෑමකට ලක් වුවහොත් මීයාගේ ඛේටයෙහි තැවරී තිබෙන මී ශුක්‍රාණු මිනිස් රුධිර සංසරණ පද්ධතියට එක්වීම නිසා මෙම රෝග තත්ත්වය ඇතිවේ. එසේම මීයන් විසින් සපා කන ලද ආහාර විශේෂයෙන් පලතුරු අනුභවය හා මී උණ රෝගය වැලඳුණ පසුව ද සුදු කබර රෝගයට ගොදුරු විය හැකිය.

සුදු කබර රෝගයට මෙහිදී සමට සිදුවන්නේ කුමක්ද?

සෑම පුද්ගලයකුගේ ම සමෙහි වර්ණය ලබාදෙන මෙලනින් වර්ණකය නිපදවීම සඳහා විශේෂිත සෛල සමේ පිහිටා ඇත. සුදු කබර රෝගයට ගොදුරු වූ විට එම සෛලයන්ට විරුද්ධව ප්‍රතිදේහයක් නිපදවීමක් සිදු වෙයි. එම ප්‍රතිදේහ මඟින් මෙලනින් වර්ණක නිපදවන සෛල විනාශ කරන නිසා සම සුදු පැහැයට ලක්වේ. මෙම සුදු ලප බොහෝ විට ශරීරයේ සමමිතිකව දක්නට ලැබෙන අතර තොල්, මුහුණ හා ඇඟිලි තුඩු ද මෙම රෝගයට මුලින් ම ගොදුරු වෙයි. පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක් ද ඇති කරයි. හිසේ සම මෙම රෝගයට ලක්වූ විට එම ප්‍රදේශයේ හිස කෙස් ද සුදු පැහැයට ලක් වෙයි.

සුදු කබර රෝගයට ආයුර්වේද ප්‍රතිකාර සිදුවන්නේ කෙසේද?

ආයුර්වේදයට අනුව ශාරීරයේ නිරෝගීතාව රඳා පවතින්නේ වා, පිත්, සෙම් යන ජීව සාධකවල මනා සමබරතාව මත ය. යම් හෙයකින් සමබරතාව ගිලිහී ගිය විට ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ද බිඳ වැටේ. එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබර රෝගය ද ප්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප්‍රභේදයක් වුව ද ආයූර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. රෝගය පැතිරී ඇති ආකාරය අනුව සුවවීමේ කාලය ද වෙනස් වේ. ප්‍රථම සුදු පැහැ ලපය ඇති වනවාත් සමඟම සුදුසු ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවී ප්‍රතිකාර ලබා ගත්විට සතියක පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් රෝගයේ පැතිරීම වැඩිවී ඇතිනම් සුවවීමට ගත වන කාලය ද වැඩිය.

ප්‍රතිකාර මොනවාද?

මෙම රෝගය සඳහා සම මත ආලේප කරන පත්තු, ඖෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප්‍රතිකාර විවිධ වේ. මේවා සියල්ලෙන් ම ශරීරයේ නැතිවී ගිය අසමතුලිතතාවය යළි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවාගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාදෙයි. ආයුර්වේද ප්‍රතිකාරවලට ආවේණික අයුරින් මෙම ඖෂධවලින් අහිතකර ප්‍රතිඵල කිසිවක් ඇතිවන්නේ නැත.

ආහාර පාලනයත් වැදගත්

කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පළා වර්ග ද, දිවුල් වැනි පලතුරු ද, කරපිංචා යුෂ සමඟ තණ හාල් කැඳ ද ඉක්මන් සුවය සඳහා මහත් සේ දායක වේ. එලෙස ම සියලු ම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පලතුරු හා අච්චාරු වර්ග මේ සඳහා ප්‍රතිකාර කෙරෙහි අහිතකරව බලපායි.

සුදු කබර බෝවෙනවද?

සුදු කබර පුද්ගලයන්ගෙන් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවීමේ අවදානමක් නැත. එනිසා අනියත බිය නිසා රෝගයට ගොදුරු වූවන් සමාජයේ කොන් නොකරන්න. සුදු කබර රෝගය ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ කාන්තාවන්ට ය. පිරිමි අයට මෙම රෝගයේ අවදානම අඩු ය.

නියපොත්තෙන් කඩන්නට ඇති දෙය පොරවෙන් කපන්නට ඉඩ නොදෙන්න යන වැකිය සුදු කබර රෝගයට ද අදාළ කරගන්න. රෝගයේ මුල් ම අවස්ථාවේ දී ම නිවැරදි ප්‍රතිකාර වෙත යොමුවීම තුළින් සුදු කබර රෝගය නිට්ටාවට ම සුව කරගැනීමට ඔබට හැකිය.

ආයුර්වේද වෛද්‍ය W. M. S. M. ශිරෝමි විජේසිංහ
(ආයුර්වේද මහ රෝහල – දියතලාව)

සටහන – දිශාන්ති වෙදගේ