Health Guide

අකලට හිස කෙස් පැසීමෙන් ඔබත් පීඩා විඳිනවාද?

ස්ත‍්‍රී, පුරුෂ භේදයකින් තොරව ම නිරෝගී දිදුලන කෙස් කළඹක් අපි හැමෝම අපේක්ෂා කරනවා. තරුණ වයසෙ දී ම ඔබේ කෙස් කළඹ සුදු පැහැවුවහොත් නැත්නම් ඉදුණු කෙස් ගසක් දුටුවොත් හිත කොයි තරම් කලබල වෙනවද? ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සුශ‍්‍රැත සංගිතාවෙහි මෙය, ක්ෂුද්‍ර රෝග යටතේ දක්වා ඇත්තේ පලිතය ලෙසය. ”ක්‍රෝධ ශෝක පරිශ‍්‍රම යන මේවායින් ඇති වන සිරුරේ උෂ්ණමය හා පිත යන දෙක ශිරෝගත වුවහොත් කෙස් පැසී යෙයි” ලෙස එහි අකලට හිස කේස් පැසීම සම්බන්ධයෙන් දක්වා ඇත. වර්තමානයේ දී කුඩා දරු දැරියන්ගේ ද හිස කෙස් සුදු පැහැ ගැන්වී ඇති ආකාරය දැකගත හැකියි.

කෙස් ගසේ සජීවී කොටස පිහිටා තිබෙන්නේ කේශ කුහරය තුළයි.

අපේ ඇසට පෙනෙන දිගට වැඩුණ කොටස කෙස් ගසේ අජීවී එහෙම නැත්නම් මැරුණ කොටසයි. කෙස් ගසේ සජීවී කොටස පිහිටා තිබෙන්නේ කේශ කුහරය තුළයි. මෙම කේශ කුහරය තුළ ඇති කොටස හඳුන්වන්නේ බල්බය වශයෙනුයි. හිසකෙස් නිෂ්පාදනය කරනු ලබන අංශය මෙය ලෙස සැලකිය හැකිය. සරල වේගවත්ව විභේදනයවීම තුළින් කෙස් වර්ධනය වේ. කෙස් වැඩුණු විට ඒවා වර්ණක සරල මගින් නිෂ්පාදනය කෙරෙන මෙලනින් අවශෝෂණය කිරීමක් සිදු වේ. හිසකෙස් පැසෙන්න පටන්ගන්නෙ වර්ණක ෙසෙල මගින් මෙලනින් නිෂ්පාදනය කිරීම නතර වූ විට ය. කෙසේ වුව ද අකලට හිස කෙස් පැසීමට හේතුවන කාරණා සලකා බැලීම වැදගත් ය.

හිසකෙස් අකලට පැසීමට හේතු කාරණා

x පරම්පරාගතව එන ජානමය හේතූන් නිසා.
x පීනස් රෝගය හා රක්තවාත රෝග තත්ත්වයන්.
x පුරුද්දක් ලෙස රාත‍්‍රී කාලයේ දී ස්නානය කිරීම.
x අධික සීතල පරිසර තත්ත්වයන් හා නිරන්තරයෙන් ම
ගැටීම.
x මෙලනින් අඩුවීම.
x මානසික ආතතිය.

අධ්‍යාපන කටයුතු රැකියා කටයුතු වැනි දෑ නිසා බොහෝවිට කාර්යබහුල ජීවිතයක් ගතකිරීමට සිදු වන විට මානසික ආතතිය ඇති වේ. මානසික පීඩනය අඩු කරගෙන සතුටින් සැහැල්ලූවෙන් සිටීමට උත්සහ දරන්න.

x සමබල ආහාර වේලක් නොගැනීම.

ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලැබීමට නම් සමබල ආහාර වේලක් ඉතා වැදගත් ය. එහෙත් අද බොහෝ විට ක්ෂණික තෙල් අධික ආහාරවලින් කුස පුරවාගන්නවා හැර පෝෂ ගුණය පිළිබඳ එතරම් අවධානයක් යොමු නොකරයි. පොටෑසියම් ආදී විටමින් පදාර්ථ අඩුවීම නිසා කොණ්ඩයට හානි සිදු වේ. විවිධ පලා වර්ග නිතර ආහාරයට ගැනීම සුදුසු ය. කජු, කොස්ඇට වැනි ආහාරවලින් මේ පෝෂණ ඌණතාව මගහරවාගත හැකිය.

x කෘත‍්‍රිම නිෂ්පාදන භාවිත කිරීම.
x වර්තමානයේ කෘත‍්‍රිමව නිපදවන තෙල්, ජෙල්, හෙයා ක‍්‍රීම්, ඩයි වර්ග, ෂැම්පු වර්ග වැනි දෑ අකලට හිස කෙස් පැසීමට හේතු වේ.
x අධික මත්පැන් භාවිතය හා දුම් පානය.
x හිස කෙස්වලට හොඳින් සාත්තු නොකිරීම.
x අසාත්මිකතාවන්.
x හෝමෝනවල බලපෑම මෙන් ම, කාන්තාවන්ගේ මාසික ඔසප් චක‍්‍රය අක‍්‍රමවත්වීම හා අධික ලෙස රුධිර වහනය සිදුවීම.

අකලට හිස කෙස් සුදුවීම පාලනය කිරීමට ආයුර්වේද ප‍්‍රතිකාර

අකලට හිස කෙස් සුදුවීම පාලනය කිරීමට ආයුර්වේද ප‍්‍රතිකාර අතර ඇති පංචකර්ම ප‍්‍රතිකාර තුළින් ශීරෝධාරී ප‍්‍රතිකර්මය එක් ක‍්‍රමයකි. එසේ ම පොදුවේ තෙල් වර්ග භාවිත කිරීමෙන් හිස කෙස් සඳහා ප‍්‍රතිකාර කළ හැකිය. ආයුර්වේදයේ සඳහන් පරිදි මෙම තෙල් වර්ග යොදා හිස සම්බාහනය කිරීම තුළින් වඩාත් හොඳ ප‍්‍රතිඵල අත්කර ගත හැකිය.

නීලි තෛලය නිල් ඇවරිය කොළ, කීකිරිඳිය කොළ ප‍්‍රධානව යෙ¥ තෛලයක් වන මෙය දිනපතා මාසයක් හිසෙහි ආලේප කිරීමෙන් අකලට හිස කෙස් සුදුවීම වළක්වාගත හැකිය.

කටුකරඬු, වැටකෙයා අරළු, අංකෙන්ද කොළ පවනේ වේලා කොටා කුඩු සාදාගන්න. එමෙන් ම අරළු, බුළු, නෙල්ලි කශාය සිඳ ගන්න. සාදාගත් ඖෂධීය කුඩු අරළු, බුළු, නෙල්ලි කෂාය සමග මිශ‍්‍ර කර තල තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් කර එය මාසයක් පමණ පොළොවේ වළලා තැබිය යුතුයි. පසුව එම ඖෂධීය සංයෝගය අකලට ඉදුණු හිස කෙස්වල සහ හිස් කබලේ ගැල්වීමෙන් හිසකෙස් සුදුවීම වළක්වාගත හැකි වන අතර සුදු කෙස් ද කළු පැහැ ගැන්වේ.

විෂ්ණුක‍්‍රාන්ති මල් එඬරු තෙල් සමග මිශ‍්‍ර කර සිඳ හිස ගැල්වීම මගින් ද හිසකෙස් අකලට සුදුවීම වළක්වාගත හැකියි.
ත‍්‍රිපලාදී තෙල්, කේශ රංජනී, භෘංගමාලක, නීල්‍යාදී තෙල් හා පිරිසුදු පොල් තෙල් භාවිතය යෝග්‍ය වේ.
නෙල්ලි ඉස්ම, මුකුණුවැන්න ඉස්ම, කීකිරිඳිය, කෝමාරිකා ඉස්ම, වෙරඵ ඉස්ම ආදිය යොදා හිස සම්බාහනය කිරීම ද යෝග්‍ය වේ.

අකලට හිස කෙස් සුදුවීම පාලනය කිරීමට ආයුර්වේද ප‍්‍රතිකාර වන පානයන්

1. අමුක්කරා අල, තල සමග ගොටුකොළ තම්බා කෂාය
කර පානය.
2. අභයාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් උදේ සවස බීම.
3. නෙල්ලි තැම්බූ වතුර පානය.
4. කොළ කැඳ වර්ග පානය.

හිස කෙස් අකලට සුදු පැහැවීම පිළිබඳව ළතැවෙමින් සිටින ඔබට මෙම කරුණු කාරනා වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

ආයුර්වේද වෛද්‍ය W. M. S. M. ශිරෝමි විජේසිංහ
(ආයුර්වේද මහ රෝහල – දියතලාව)

සටහන – දිශාන්ති වෙදගේ