Health Guide

ඔබේ දරුවාට හදිසියේ උණ වලිප්පුව සෑදුණොත්?

දවස පුරා ඒ මේ අත දුව පැන සෙල්ලම් කරමින් සිටින ඔබේ සුරතල් දරු පැටියාට හිටිහැටියේ උණක් සෑදී අසනීපවූ විටෙක, දෙමාපියෝ මහත් සේ බියට පත්වෙති. එසේම, දරුවාට උණ සමඟ උණ වලිප්පුව ඇතිවුවොත් එම තත්ත්වයේ දී බොහෝ දෙමාපියන් දරුවා ඔසවාගෙන, කෑගසමින්, කලබලකාරීව රෝහල කරා දිව එති. නමුත්, එවන් අවස්ථාවක වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මූලික අවබෝධයක් ලබාදීම මෙම ලිපියේ ප්‍රමුඛතම අරමුණයි.

උණ වලිප්පුව යනු කුමක්ද?

මාස 6ත් අවුරුදු 6ත් අතර වයස්වල පසුවන කුඩා දරුවන්ට උණ ඇතිවී පළමු පැය 24 තුළ දී හටගන්නා වලිප්පුව උණ වලිප්පුව ලෙස හඳුනාගත හැකිය. දරුවාගේ උණට හේතු වන්නේ බොහෝ විට යම් ආසාදන තත්ත්වයක් විය හැකිය. (උදා : උගුරේ ආසාදන, මුත්‍රා ආසාදන, බැක්ටීරියා හෝ වෛරස ආසාදන)

■ මෙසේ දරුවාට උණ 39°C – 40°C (101°F – 102°F)ත් අතර තද උණක් ඇති අවස්ථාවක සමහර විට උණ වලිප්පුවක් ඇතිවන්නට පුළුවන. දෙමාපියන්ට හෝ පවුලේ අනෙකුත් සහෝදර සහෝදරියන්ට කුඩා කල උණ වලිප්පුව ඇතිවී තිබේ නම්, එවැනි අවස්ථාවල දී එම පවුලේ කුඩා දරුවන්ට උණ වලිප්පුව ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. නමුත් මෙය බියවීමට කරුණක් නොවේ.
■ උණක් නොමැති විටෙක පවා සමහර දරුවන්ට වලිප්පුව ඇතිවන්නට ඉඩ තිබෙන අතර, එය උණ වලිප්පුවට වඩා වෙනස් තත්ත්වයකි. උණ වලිප්පුව සෑදුණු දරුවෙකුට උණ නොමැති සාමාන්‍ය තත්ත්වයක දී වලිප්පුවක් සෑදීමේ සම්භාවිතාව 3%ත් 5%ත් අතර වේ. ඒ අතරින් ද ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන්ට වලිප්පුව සෑදීමට වැඩි ඉඩකඩක් පවතී.

උණ වලිප්පුව සෑදුණු විටෙක

■ දරුවාගේ අත් පා තදින් ගැහෙන්නට පටන්ගනී. සමහර විට මුළු සිරුර ම ගැහෙන්නට පුළුවන.
■ දරුවා සිහි මුර්ජාවී ඇති බවක් පෙනෙන්නට තිබේ.
■ දරුවාගේ ඇස් උඩ ගොස් සුදු ඉංගිරියාව පමණක් දැකිය හැකිය.
■ මුඛයෙන් සෙම දියර හෝ වමනය පිටවීමක් දක්නට ලැබේ.

මෙවැනි අවස්ථාවකට තම දරුවා පත්ව සිටිනු දැකීම දෙමව්පියන් ලෙස කිසිවෙකුත් අපේක්ෂා නොකරති. එලෙස ම මෙම තත්ත්වය බොහෝ දුරට ඉතා ම කෙටි කාලයක් තුළ දී යථා තත්ත්වයට පත්වේ. නමුත්, උණ වලිප්පුව සෑදුණු පසුව දරුවා රෝහලකට හෝ වෛද්‍යවරයෙක් වෙත රැගෙන යා යුතුය. නිවසේ දී එක් වරක් උණ වලිප්පුව සෑදුණු දරුවෙකුට නැවත වතාවක් (පැය 8ක් ඇතුළත) උණ වලිප්පුව සෑදීමට ඉඩ ඇති නිසා මෙසේ පළමු වතාවට උණ වලිප්පුව ඇතිවූ දරුවා වෛද්‍යවරයකු වෙත රැගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් වේ.

නිවසේ දී දරුවාට උණ වලිප්පුව සෑදුණු විට

■ කලබල නොවීම ඉතාම වැදගත් ය.
■ එම තත්ත්වය තාවකාලික බවත්, එය අනතුරුදායක නොවන බවත් සිහි තබාගන්න.
■ දරුවා වම් ඇලයට හරවා ආරක්ෂිතව තබන්න.
■ දරුවා හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළෙන්නේදැයි විමසිලිමත් විය යුතුය.
■ වලිප්පුව සෑදුණු දරුවාගේ සිරුර නිල් පැහැවීමට ඉඩ ඇති අතර, ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
■ අත් පා ගැහෙන විට තදින් අල්ලාගැනීමෙන් වළකින්න.
■ ගැහෙන දරුවා පරිස්සමෙන් බිමක වැනි සමතලා පෘෂ්ටයක තබා ඒ අවට තිබෙන අනතුරුදායක දේ වහාම ඉවත් කරන්නට වගබලාගත යුතුය.
(උදා : වීදුරු, කතුරු, පිහි වැනි මුවහත් දේවල් සහ බරින් වැඩි පෙරළීමට ඉඩ ඇති දේවල්)
■ දරුවාගේ ගෙලෙහි නූල් ආදිය දමා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතුය. (ගෙල සිරවීමට ඉඩ ඇති නිසා)
■ හැකි නම් දරුවාගේ සිරුරේ ඇඳුම් ලිහිල් කළ යුතුය.
■ දරුවාගේ දිව හැපේ යයි සිතමින් මුඛය විවෘත කිරීමට යාම හෝ මුඛය තුළට හැඳි වැනි දේ දැමීම කිසිසේත් ම නොකළ යුතුය.
■ මුඛය බලෙන් විවෘත කර පැරසිටමෝල් හෝ වෙනත් දියරමය පානයන් මුඛය තුළට වත් කරන්නට යාම ඉතා ම අවදානම් සහගත වේ.
■ දරුවා ජලයෙන් නැහැවීම හෝ ජල කරාමයකට අල්ලාගෙන සිටීම කිසිම අවස්ථාවක දී නොකළ යුත්තකි.
■ උණ වලිප්පු තත්ත්වය පහව ගොස් දරුවා ප්‍රකෘති තත්ත්වයට පත්වන තුරු මඳක් කල්පනාකාරීව විමසිලිමත් වන්න. එතෙක් මිනිත්තු 05ක් වැනි කාලයක් බලා සිටීමට හැකිය. ඉන්පසු එම තත්ත්වය පහව ගිය පසු ගිලන් රථයක් ගෙන්වාගෙන හෝ ළඟ ම ඇති රජයේ රෝහලට දරුවා රැගෙන යන්න. නැතහොත් වලිප්පුව තිබිය දී වුවත් දරුවා රැගෙන යා හැකිය. නමුත් අනවශ්‍ය ලෙස දරුවාව ඔසවාගෙන දිවීම නොකරන්න. දරුවාගේ මුඛයෙන් සෙම හෝ වමනය පිටවිය හැකි නිසා දරුවා ඔසවාගෙන යාමේ දී ඒවා පිට උගුරේ ගොස් පෙනහලු‍ වෙත ගමන් කිරීමෙන් බරපතළ සංකූලතා ඇති වන්නට ඉඩ ඇත.

උණ වලිප්පුව ඇතිවීම වළක්වාගත හැකිද?

■ මෙහිදී වඩාත් වැදගත් වන්නේ දරුවාගේ උණ අඩුකර ගැනීමයි.
■ දරුවා උණෙන් පෙළෙන අවස්ථාවක නියමිත මාත්‍රාවෙන් (දරුවාගේ බරට සරිල‍න) පැරසිටමෝල් ඖෂධය පැය 06කට වරක් ලබාදීම.
■ උණ අඩු නොවුණ ද මාත්‍රාව වැඩිපුර දීම නොකළ යුතු අතර ම, පැය 06ට වඩා අඩු කාලයක දී නැවත පැරසිටමෝල් ලබාදීම ද දරුවාට අහිතකර බව තරයේ සිහි තබාගත යුතුය.
■ ඇල් ජලයේ පොඟවා තෙත මිරිකාගත් රෙදි කැබැල්ලකින් දරුවාගේ නළල, කිහිලි සහ ඉකිළි ප්‍රදේශය තෙත මාත්තු කිරීම සුදුසු ය.
■ දරුවාගේ ඇඳුම් ලිහිල් කර හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම. (විදුලි පංකාවක් යට දරුවා තැබීම හෝ එසේ නොහැකි නම් අතින් හෝ පවන් සැලීම)
■ මේ සියල්ලට අමතරව දරුවාට දියර වර්ග, කැඳ, සුප් සහ ජීවනී ලබාදීම අනිවාර්ය වේ.

ඔබේ කලබලකාරී බව නිසා බොහෝ විට ඔබ නොසිතන අනතුරු පවා ඇතිවිය හැකි නිසා මෙවැනි අවස්ථාවල දී මනා කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාම වැදගත් ය. උණ වලිප්පු තත්ත්වය නිසා ඔබේ දරුවාට හානියක් නොවුණ ද, ඔබේ අනවශ්‍ය කලබලකාරී බව දරුවා අනතුරේ හෙළන්නට ඉඩ තිබේ. එම නිසා හදිසි අවස්ථාවක දී වඩාත් කල්පනාකාරීවීම සියල්ලන්ට ම යහපතකි.

වෛද්‍ය වේදික ජයසූරිය
(මූලික ප්‍රතිකාර ඒකකය රිජ්වේ ආර්යා ළමා රෝහල බොරැල්ල)

සටහන – ශෂිකා තල්පෙහේවා