Beauty

වියලි සමකට ස්වභාවික ප්‍රතිකාර

වියළි සමක් කියන්නේ හැම සුන්දර යුවතියකගේ ම, හැන්සම් කොල්ලෙක්ගේම නරක හීනයක් වගේ දෙයක් බව නම් නොකියාම බැහැ. සමෙහි පවතින තෙතමනය නැතිවී වියළි ස්වභාවයකට පත්වුණ විට සම රැලි වැටීම, දුර්වල වීම සහ සමේ නිරෝගී පෙනුම නැති වන්නට ඉඩ තිබෙනවා. දේශගුණය, උෂ්ණත්වය, උණුසුම් දිය නෑම සහ ක්ලෝරීන් ජලය, සර සබන් සහ සේදුම්කාරක, හිරු එළියට නිරාවරණය වීම ප්‍රධාන වශයෙන් සම වියළීමට බලපාන හේතූන් වෙනවා. සම වියළීම වළක්වාගන්නේ කොහොමද?

වෙළෙඳපොළේ කොතරම් වියළි බව නසන බෙහෙත් වර්ග තිබුණත් අපිට හොඳින් සොයා බලන්නට පුළුවන් නම් අපේ ගෙවල්වල සමේ පවතින වියළි බව නසන්න යොදා බැලිය හැකි අත්බෙහෙත් කිහිපයක් තියෙනවා.

1. ඔලිව් තෙල්
ඔලිව් තෙල්වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට් සහ සෞඛ්‍යමත් මේද වර්ග නිසා ඒවා සම මත ආලේපය ඔබේ සමට එය බෙහෙවින් හිතකරයි.

2. යොදය සහිත කිරි
සමේ ආලේප කිරීමෙන් ප්‍රතිඵල ලබාගන්නට හැකි මේ කිරිවල යොදයේ ඇති ලැක්ටික් ඇසිඞ් සමේ අලුත් කරන අතරේ සමේ ච්‍ය අගය සමබර කරන්නටත් උදව් වෙනවා. ඒ වගේම යොදය සහිත කිරි කියන්නේ හොඳ මෘදුකාරකයක්.

3. කිරි
කිරිවල පවතින තෙතමනය නිසා ඒවා පානය සහ ආහාරයට ගැනීම, සිරුරු සමේ පවතින වියළි සහ කසන තත්ත්වය පහකරලා යවන්නට සමත් වෙනවා, ඒ වගේම ඉහත කාරණාවේදී අපි කියූ ලැක්ටික් ඇසිඞ්වල පරිපුර්ණ බව නිසාම තෙතමනය සම මත රඳවා තබාගන්න ගතිය වැඩි කරන අතරම සමේ වර්ණය පැහැපත් කරයි.

4. මී පැණි
මීපැණි කියන්නේ ලොව හොඳම ස්වාභාවික තෙතමනය රැකදෙන සහ විෂබීජ නසන දියරයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම මී පැණිවලින් ඔබේ සමේ පවතින තෙතමනය වියළි දවසක පවා ගිලිහෙන්නට නොදී ආරක්ෂා කරනවා. එසේ වන්නට නම් එය මෙහි ඇති යෝගට්, කෝමාරිකා වැනි සමේ තෙතමනය රැකදෙන වෙනත් දෙයක් සමඟ මිශ්‍ර කර සම මත ආලේප කිරීම කළ යුතුයි. ඒ වගේම මී පැණිවල අඩංගු වෙලා තියෙන විටමින් සහ ඛනිජලවණ ප්‍රමාණය නිසා ඔබේ සමේ නිරෝගිකමට එය අනිවා පිටුවහලක් වෙනවා.

5. යෝගට්
යෝගට් කියන්නේ ඔබේ සම රැකගන්නට භාවිත කරන්නට පුළුවන් හොඳම අත් බෙහෙතක්. කිරිවලින් සහ එහි යොදයෙන් කුමක් හෝ ප්‍රතිඵලයක් ලබාදෙනවා නම් ඒ සියල්ලම ඔබ ආහාරයට ගන්නා සහ සමේ ආලේප කරනා යෝගට්වලිනුත් ලබාදෙන බව නම් නොකියාම බැහැ.

6. පොල්තෙල්
වියළි සමකට ප්‍රතිකාර කරන්නට පොල්තෙල් කියන්නේ හොඳ ප්‍රතිකාර ක්‍රමයක් වුණත් ලංකාවේ අපිට පොල්තෙල් මුහුණට ආලේප කිරීම නම් එතරම් සුදුසු වෙන්නේ නැහැ. මොකද ඌෂ්ණාධික රටක ජීවත් වන අපේ මුහුණේ පොල්තෙල් ආලේපයෙන් කුරුළෑ ඇතිවීමේ ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. නමුත් පොල්තෙල් කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කරන නැතිවී ගිය සුමුදු බව ආරක්ෂා කරලා දෙන හොඳ ප්‍රතිකාරයක්. රාත්‍රියට අත් සහ කකුල්වල සමෙහි ආලේප කිරීමෙන් වියළි බව නැතිකර සුමුදු සමක් ලබාගත හැකියි.

7. කෝමාරිකා
කෝමාරිකා කියන්නේ සමකට ලබාදෙන්න පුළුවන් හොඳම බෙහෙතක්. කොටින්ම හදිසි අනතුරක් නිසා ඔබේ සම පිලිස්සුණත්, ඔබ කෝමාරිකා ඒ පිලිස්සුනු තැනට ගෑවොතින් මැරුණු සම ඉවත් වෙලා අලුතින් සම නිපදවෙන්න පටන්ගන්න තරම් මේ ශාකසාරය ගුණවත්. සමේ තෙතමනය වගේම සමේ නිරෝගී බවටත් බොහොම වැදගත් වෙන ආහාරයට සහ සමේ ආලේපයට හොඳ කෝමාරිකා ඔබේ නිවසේ කුඩා පෝච්චියක වවා ගත්තත් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

8. මොයිස්චරයිසර්
ස්වාභාවිකවම නොවුණත් මේ වැඩෙත් අපේ රටේ කට්ටිය සෑහෙන්න කරන වැඩක්. ගොඩාක්ම ප්‍රතිඵලදායක වෙන්නේ ස්නානය කිරීමෙන් පස්සේ ගාන්නට පුළුවන් නම්, ඒ වගේම වොෂ් එකක් දාලා නින්දට කලින් ආලේප කරන එකෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වේවි.

මේ සත්කාර කිරීමට පෙර ඔබට ඇති ඇලර්ජි / අසාත්මිකතා ගැන දැනුවත් වන්න, වෛද්‍යවරයෙකු හමුවන්න.