News

වැළමිට වද්දා එකිනෙකා පිළිගන්නා අලුත් ම ක්‍රමය – Elbow Bumping

පහුගිය මාස කීපයක කාලයක් පුරා වසා දමා තිබුණු ලෝකයේ බොහොමයක් රටවල් මේ වෙද්දි විවෘත කර අවසන්. ඒකෙන් කියන්නේ ලෝකයේ පැතිරෙමින් පවතින කෝවිඩ් 19 වෛරස වසංගතය අවසන් කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් වසංගතයක් අවසන් වෙන්නේ එයට ප්‍රතිකාරයක් සොයාගැනීමෙන්. නමුත් මේ දක්වා කෝවිඩ් 19 වෛරසයට නිෂ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. සොයා ගනිමින් පවතින ඒවා තියෙන්නෙත් පර්යේෂණ මට්ටමේ. ඒ වගේම වසංගතයක් අවසන් වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තියනවා. ඒ තමයි එයට හැඩගැසීම. ඒ කියන්නේ වසංගතය තත්ත්වය පවතිද්දීම නිසි සෞඛ්‍යය ක්‍රම අනුගමනය කරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑම. ඉන් වසංගතය පාලනය වෙන අතරම වැඩ කටයුතුත් සාමාන්‍ය පරිදි සිදු වෙනවා. මේ ක්‍රමය මීට පෙර විවිධ වසංගත තත්වයන්වලදිත් යොදාගැනුණා. ඒ නිසා එය භාවිතයට ගැනීම වරදක් නැහැ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කරලා තියනවා.

මේ වෙද්දි ලෝකයේ රටවල් සියල්ලක් ම අනුගමනය කරන්නේ මේ කියූ දෙවෙනි ක්‍රමය. කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වළක්වාගන්න අනුගමනය කරන්න ඕනෙ සෞඛ්‍ය ක්‍රම ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර අවසන්. ඒ ක්‍රම සියල්ල ම අනුගමනය කරමින් තමයි දෙවෙනි ක්‍රමය භාවිතයට ගත යුතු වන්නේ. එහෙම නොවුණොත් නම් නැවතත් පාලනයකින් තොරව මෙය පැතිර යන්න තිබෙන ඉඩකඩ වැඩියි.

කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙන්න පටන්ගත්තාට පස්සේ පළමුවෙනි වරට මුහුණට මුහුණ පැවැත්වුණු යුරෝපා සංගම් නායක සම්මේලනය පහුගිය මාසයේ දින කීපයක් පුරා බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පිහිටා ඇති යුරෝපා සංගම් මූලස්ථානයේ දී පැවැත්වුණා. එය පැවැත්වුණෙත් ඉහත කී සෞඛ්‍ය නිරිදේශ සියල්ලක් ම ඒ ආකාරයෙන් ම අනුගමනය කරමිනුයි.

මේ සම්මේලනය ආරම්භ කරන වෙලාවේ රැස්වෙලා හිටපු මාධ්‍යවේදීන් ඇතුළු සියලුදෙනාට හරි අපූරු දර්ශනයක් දකින්න ලැබුණා. ඒ තමයි මුහුණු ආවරණ පැලඳගෙන සම්මේලනයට සහභාගි වුණු රාජ්‍ය නායකයන් සහ ලේකම්වරුන් සියලුදෙනා හරිම අපූරු විදිහට එකිනෙකාට ආචාර කරගන්නා ආකාරය.

සාමාන්‍යයෙන් බටහිර රටවල පුරුද්ද තමයි ආචාර කිරීමේ දී දෙදෙනා විසින් එකිනෙකාගේ දකුණු අත දිගු කර අතට අත දී ආචාර පැවැත්වීම. නමුත් මේ කාලේ ලෝකය පුරාම පැතිරී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා අතට අත දී ආචාර දැක්වීම යම් ආකාරයක අවදානම් කටයුත්තක් බවට පත් වුණා. ඒකට හේතුව අතට අත දීම මගින් එක් පුද්ගලයෙකුගේ අතේ කෝවිඞ් 19 වෛරසය තිබුණොත් අනිත් කෙනාටත් වෛරසය වහනය වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩිවීම. ඒ නිසා පහුගිය කාලය පුරාම අතට අත දී ආචාර කිරීමේ පුරුද්ද නතරවී තිබුණා. අවස්ථා කීපයක දී බටහිර රටවල රාජ්‍ය නායකයන් සිංහල ක්‍රමයට අනුව දෑත් එකතු කර ආචාර කිරීමේ ක්‍රමයත් අනුගමනය කර තිබුණු ආකාරයක් දකින්න තිබුණා.

නමුත් මේ වෙද්දි බටහිර වැසියන්ගේ ආචාර ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා. යුරෝපා සංගම් සම්මේලනයට සහභාගි වුණු රාජ්‍ය නායක නායිකාවන් එකිනෙකාට ආචාර කරගනු ලැබුවේ මේ අලුත් ක්‍රමයට අනුවයි. අලුත් ක්‍රමය තමයි එකිනෙකාගේ දකුණු අත නවා වැළමිට දෙක එකට ස්පර්ශ කිරීම. මේ ක්‍රමය ඔවුන් හඳුන්වා තිබුණේ elbow bumping කියලයි. මේ අලුත් ක්‍රමය නිසා දෑත්වල අත්ල සහ ඇඟිලි ප්‍රදේශය තවත් කෙනෙකුගේ දෑත්වල ඇඟිලි සමග ස්පර්ශ වෙන්නේ නැති නිසා වෛරසය ආසාදනයවීමේ අවදානම ඉතාම අඩුයි කියලා බීබීසී සේවය වාර්තා කරනවා. ඒ වගේම මේ විදිහට ආචාර කර ගැනීම අපේ ඇහැට ප්‍රිය මනාප දසුනක් බවත්, එලෙස ආචාර කිරීමෙන් අතට අත දී ආචාර කරනවාට වඩා විශාල විනෝදයක් ගෙනදෙන බවත් යුරෝපා සංගම් සම්මේලනයට සහභාගි වුණු ප්‍රංශ ජනපති එම්මානුවෙන් මැක්‍රන් පවසා තිබුණා.

මේ ආචාර ක්‍රමය අපිට අලුත් වගේ පෙනුණත් 2006 වසරේ පැතිර ගිය avian flu 2009 දී පැතිර ගිය swine flu සහ 2014 දී පැතිර ගිය Ebola වැනි වසංගත කාලවලත් එකිනෙකාට ආචාර කිරීම සඳහා යොදාගෙන තිබුණා. නමුත් ඒ පුරුද්ද දිගු කාලයක් පැවතුණේ නම් නැහැ. ඒකට හේතුව වුණේ මේ ආචාර ක්‍රමය පළමුව 80 දශකයේ නාගරික රස්තියාදුකාර තරුණ පරපුර එකිනෙකා ආචාර කර ගැනීම සඳහා යොදාගන්නා ලද ක්‍රමයක් වූ නිසා වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් මෙවර යුරෝපා සංගම් සම්මේලනයේ දී අනුමත වුණු යුරෝ ටි්‍රලියන 1.07ක සත් අවුරුදු අයවැය ලේඛනය සම්මත වුණු වෙලාවේ රාජ්‍ය නායකයන් සියලුදෙනා ම තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් වැළමිට එකට වද්දා ආචාර කිරීම රැස්ව සිටි සියල්ලන්ට ම ප්‍රියජනක දසුනක් බවට පත්වී තිබුණා.

සටහන – දුලංජලී මුතුවාඩිගේ