Food

වසවිසෙන් තොරව ආහාර නිෂ්පාදනය කරගන්නා පාරිසරික වගාව ගැන දැන ගන්න

වර්තමානයේ අපි ආහාරයට ගන්නා එළවළු වගේම පළතුරුවලින් වැඩි ප්‍රමාණයක් වගා කරන්නෙ රසායනික යෙදවුම්, නැත්නම් රසායනික පොහොර සහ පළිබෝධනාශක රාශියක් භාවිත කිරීමෙන් බව ඕනෙ ම කෙනෙක් දන්නවා. නමුත් මේ රසායනික යෙදවුම් කියලා කියන්නෙ අපේ ශරීරයට ඉතාමත් ම අයහපත් දෙයක් බවත්, මේ රසායනික යෙදවුම් අධික ලෙස පසට එකතු කිරීම නිසා පස නිසරු වෙන බවත්, පසේ ජීවත් වන මිනිසාට හිතකර කෘමීන් විශාල ප්‍රමාණයක් මිය යන බවත් බොහෝදෙනා දන්නෙ නැහැ. මේ නොදැනුවත් කම නිසාම ගෙවතු වගාවන් කරන බොහොමයක්දෙනා ලේසියට පහසුවට පොහොර විදිහටත්, කෘමින්ගෙන් බෝගවලට සිදුවන හානි වළක්වාගන්නත් වගාවන්ට දාන්න පුරුදු වෙලා ඉන්නෙ රසායනික පොහොර සහ රසායනික පළිබෝධනාශක.
නමුත් මේ හානිදායක බව සම්පූර්ණයෙන් ම නැති කරගන්න පුළුවන් ක්‍රම ඕනෙ තරම් තියෙනවා. ලෝකයේ දියුණු රටවල් දැන් රසායනික පොහොර හෝ රසායනික පළිබෝධනාශක යොදා වගාවන් කරන්නෙ නැහැ. රසායනික ද්‍රව්‍යවල තියෙන විෂ සහිත බව ගැන ඉතා ම හොඳින් දැනුවත්භාවයකින් ඉන්න නිසා ම ඒ රටවල් කාබනික, නැත්නම් පාරිසරික වගාවට හුරු වෙලා ඉන්නවා. නමුත් මේ පාරිසරික වගාව ගැන අපේ රටේ අය ඒ තරම් දැනුවත් නැති බව කියන්නම ඕනෙ.

පාරිසරික වගාව

පාරිසරික වගාව කියලා කියන්නේ පරිසරයට හිතකර ද්‍රව්‍ය විතරක් පොහොර විදිහට පාවිච්චි කර සිදු කරන වගාවට. ඒ ගැන තවත් ටිකක් පැහැදිලි කරන්න පුළුවන්. දිරාපත් වන කොළරොඩු, කොහුබත්, අඟුරු වගේ දේවල් පොහොර විදිහට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ වගේ දේවල් පරිසරයේ දී ම දිරාපත් වන දේවල්. ඒ නිසා පරිසරයට ඒවායින් හානියක් නැහැ. ඒ වගේ ම ඒවා “පරිසර සංවේදී ද්‍රව්‍ය” හෝ “පරිසර හිතකාමී ද්‍රව්‍ය” කියලා හඳුන්වන්න පුළුවන්. එහෙම කියන්නේ මේ වගේ දේවල්වලින් පරිසරයට හානියක් නැති නිසා ම විතරක් නෙවෙයි. පරිසරයේ ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවියාගේ සිට මිනිසුන් වගේ මහා ජීවීන් දක්වා කිසිම ජීවීන් කොට්ඨාසයකට මේ කියපු ද්‍රව්‍යවලින් හානියක් වෙන්නෙ නැහැ. ඒ හැමෝගෙම පැවැත්මට මේ ද්‍රව්‍ය හිතකරයි. ඒ නිසා තමයි මේවා පරිසර හිතකාමී ද්‍රව්‍ය විදියට හඳුන්වන්නෙ.

පාරිසරික වගාවෙදි එකතු කරන ස්වභාවික පොහොර වර්ගවලට කියන්නෙ කාබනික පොහොර කියලා. අපි හැමෝම දන්න කොම්පෝස්ට් පොහොරත් කාබනික පොහොරක් තමයි. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නේ කලින් කියපු විදිහට දිරාපත් වන කොළ රොඩු, කොහුබත් වගේ දේවල් එකතු කරලා. කාබනික පොහොර නිසා ජෛව සංරක්ෂණය සිදු වෙනවා. ඒ කියන්නෙ පරිසරය තුළ ආහාර දාම විශාල ප්‍රමාණයක් එකතු වෙලා ආහාර ජාල සෑදී තිබෙන බව අපි දන්නවා. උදාහරණ විදිහට මෙහෙම හිතමු. සූර්යා ලෝකය නිසා වර්ධනය වෙන තණකොළ වගේ ශාඛමය ද්‍රව්‍ය ආහාරයට ගන්න සතෙක් තමයි තණකොළ පෙත්තා. තණකොළ පෙත්තාව ආහාරයට ගන්න සතෙක් විදිහට ගෙම්බා සලකන්න පුළුවන්. එතකොට සර්පයින්ගේ ප්‍රධාන ආහාරයක් තමයි ගෙම්බා. උකුස්සා කියලා කියන්නේ සර්පයින්ව හොයාගෙන එන ලොකු ම සතුරා. එතකොට තණකොළ, තණකොළ පෙත්තා, ගෙම්බා, සර්පයා, උකුස්සා කියලා කියන්නෙ එක ආහාර දාමයක්. මේ වගේ ආහාර දාම ගොඩක් එකතු වෙලා තමයි ආහාර ජාල හැදෙන්නෙ. ලෝකයේ ආහාර දාම මිලියන ගණනක් තියෙනවා. ඒ නිසා ආහාර ජාල ඉතාම සංකීර්ණ වෙලා තියෙනවා.

මේක ස්වභාවික චක්‍රීය ක්‍රියාවලියක්. අපි වගාවන්ට යොදන මේ රසායනික ද්‍රව්‍ය නිසා මේ ආහාර ජාලවල පුරුක් විනාශ වෙන්න පුළුවන්. උදාරහණයක් විදියට ගෙම්බො වඳ වුණොත් තණකොළ පෙත්තන්ගෙ ගහනය සීග්‍රයෙන් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේ ම සර්පයන්ගෙ ගහනය අඩු වෙන්න පුළුවන්. ඒකෙන් පරිසරයේ සමතුලිත බව බිඳවැටෙනවා. පරිසර අසමතුලිතතාව මිනිසාට ඍජුව ම බලපානවා. හැබැයි කාබනික ද්‍රව්‍ය නිසා මේ කියපු චක්‍රීය ක්‍රියාවලියට කිසිම හානියක් සිදු වෙන්නෙ නැහැ. කාබනික පොහොර කියන්නෙ පරිසරයේ තියෙන දිරාපත් වන දේවල් ම නිසා ඒවායින් සතුන්ටවත් මිනිසුන්ටවත් හානියක් නැහැ. ඒ කියන්නේ ඒ චක්‍රයේ පුරුක්වලට හානි සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා පරිසරයත් සංරක්ෂණය වෙනවා.

පාරිසරික වගාවක් සිදු කිරීම

පාරිසරික වගාවක් කරන එක ගැන කතා කරද්දි ගොඩක් අයට හිතෙන දෙයක් තමයි ඉඩකඩ නැති නිසා මේ වගේ දෙයක් කරන්න බැහැ කියන එක. නමුත් ඒක නිදහසට කාරණයක් මිස පාරිසරික වගාවක් කරන්න බැරි වෙන්න හේතුවක් නෙවෙයි. පාරිසරික වගාවන් කරන්න පුළුවන් වෙන්නේ ග්‍රාමීය වශයෙන් විතරක් නෙවෙයි, නාගරිකවත් ඕනෙ තරම් සාර්ථක පාරිසරික වගාවන් තියෙනවා. ඒ වගේම දුප්පත් පොහොසත් බේදයක් නැතිව මේ වැඬේ කරන්න පුළුවන්. පාරිසරික වගාවට ගොඩක් ලොකු ඉඩක් ඕනෙ වෙන්නෙ නැහැ. පුංචි ඉඩක් හොඳට ම ඇති. ඒ නැතත් පුංචි මල් පෝච්චිවල, ඉටි බෑග්වල වුණත් මේ වගාව බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. කලින් කිව්වා වගේ ලෝකයේ සංවර්ධිත රටවල් විශාල ප්‍රමාණයක් මේ වෙද්දි රසායනික පොහොර යොදා සිදු කරන වගා ක්‍රම තහනම් කරලා තියෙනවා. ඒ වෙනුවට ඔවුන් සම්පූර්ණයෙන් ම විෂ ද්‍රව්‍යවලින් තොර පාරිසරික වගාවට යොමු වෙලා තියෙනවා.
පාරිසරික වගා ක්‍රමය මගින් වගා කරන්න බැරි දෙයක් නැති තරම්. එළවළු, පලතුරු ඕනෑ ම දෙයක් කාබනිකව ඉතා ම ක්‍රමවත් ආකාරයට වගා කරනවා නම් හොඳ ඵලදාවක් ලබාගන්න පුළුවන්. ඕනෙ කරන්නෙ විශාල ප්‍රමාණයේ ඉඩක් නෙවෙයි, විශාල ප්‍රමාණයේ උනන්දුවක් සහ කැපවීමක් විතරයි.
මතු සම්බන්ධයි
ලා වියා කැම්පසිනා ජාත්‍යන්තර සුළු ගොවි ව්‍යාපාරයේ දකුණු ආසියානු තරුණ කාන්තා සම්බන්ධිකාරක අනුකා විමුක්ති ද සිල්වා
සටහන – දුලංජලී මුතුවාඩිගේ