Health

දියවැඩියාව ඔබේ ඇස් දෙකට බලපාන හැටි

දියවැඩියාව අද වන විට බහුලව දකින්න ලැබෙන රෝගයක්. 2017 වසර වන විට ශ්‍රී ලංකාවේ දියවැඩියා හා පූර්ව දියවැඩියා රෝගීන් ලක්ෂ 44ක් වාර්තා වී තිබුණා. එය සංසන්දනාත්මකව බලන කල රටේ ජනගහනයෙන් පහෙන් පංගුවකි. අනෙකුත් පුද්ගලයන්ට සාපේක්ෂව දියවැඩියා රෝගීන් ඉතා පහසුවෙන් අක්ෂි රෝගවලට බඳුන්වීමේ අවධානමක් පවතියි. ඒ හේතුවෙන් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් සිය දෙනෙත් රැකගැනීම කෙරෙහි අන් පුද්ගලයන්ට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

දියවැඩියා රෝගය හේතුවෙන් ඇස්වලට හානි සිදුවිය හැකි ආකාර කිහිපයකි. ඉන් එක් ක්‍රමයක් වන්නේ දියවැඩියා රෝගයේ බලපෑම මත ඇසෙහි ලේ නහරවල වෙනස්කම් ඇතිවීමයි. මෙහි දී කල්ගතවීමත් සමග ඇසෙහි අලුතින් ලේ නහර සෑදෙන අතර එමගින් ඇසෙහි ලේ ගමනාගමනය අඩු වෙයි. එමෙන් ම ලේ නහරවලින් රුධිරය ද්‍රවයක් ලෙස පිටතට ගලා ඒම සිදුවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙළීම නිසා ඇසෙහි දෘෂ්ටි විතානයේ ලේ නහරවලින් මෙලෙස ලේ ගැලීම සිදුවෙයි.

ඇස තුළ මෙලෙස ලේ ගැලීම හේතුවෙන් දියවැඩියා රෝගීන්ගේ ඇස් පෙනීම නැති වී යාමට පවා හැකියාව තිබේ. නමුත් මෙම තත්ත්වය ඇති වන්නේ දියවැඩියා රෝගය වැලඳී බොහෝ කාලයක් ගතවීමෙන් අනතුරුවයි. එහෙයින් මේ තත්ත්වය පිළිබඳව දියවැඩියා රෝගීන් දැනුවත් වී සිටීම ඉතාමත් වැදගත් වේ.

එමෙන් ම ඇස මැද ඉදිමී ඇස් පෙනීම නැති වී යාම දියවැඩියා රෝගය හේතුවෙන් ඇතිවන තත්ත්වයකි. මෙහි දී ඇස තුළ ඉදිමීමක් ඇති වුව ද ඇස මැද ඉදිමෙන තෙක් ම රෝගියාගේ පෙනීමට කිසිදු බාධාවක් සිදුවන්නේ නැහැ. ඒ හේතුවෙන් සිය පෙනීම පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණීමට දියවැඩියා රෝගීන්ට හැකියාවක් නොමැත. මෙම තත්ත්වය හදුනාගැනීමට නම් දියවැඩියා රෝගීන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු ලවා අක්ෂි පරීක්ෂාවක් සිදුකර ගත යුතු ම වෙනවා.

ඇතැම් අවස්ථාවක දී එකවර ම ඇස මැද ඉදිමීම හෝ ඇසෙහි ලේ ගැලීමක් සිදුව ඇසෙහි පෙනීම අඩුවීමේ හැකියාව ද පවතියි. එතෙක් ඇස තුළ ලේ නහර ඇති වී තත්ත්වය කොතෙක් බරපතළ වී තිබුණත් ඉන් ඇසෙහි පෙනීමට කිසිදු බාධාවක් සිදු නොවේ. සාමාන්‍ය පරිදි ඇසෙහි පෙනීම පවතින හෙයින් රෝගීන්ට ද තමන් අක්ෂි රෝගයකින් පෙළෙන බව හඳුනාගන්නට හැකියාවක් නොපවතියි.
මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ ග්ලුකොමා රෝගය මෙන් මුල් අවස්ථාවේ දී රෝගියාට කිසිදු රෝග ලක්ෂණයක් පහළ නොවීමයි.
මෙම තත්ත්වය හේතුකොට ගෙන දියවැඩියා රෝගයෙන් පෙළෙන සෑම පුද්ගලයෙක්ම වසරකට වරක් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා සිය දෙනෙත් පරීක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු වේ.

අක්ෂි පරීක්ෂාව පිණිස අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමුවන රෝගීන් අක්ෂි පරීක්ෂාවක් මගින් මෙවැනි රෝගී තත්ත්වයකින් පෙළෙනවාද නැද්ද යන්න හඳුනාගැනීම සිදුකරනු ලබයි.

මෙහි දී අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් ඖෂධ මගින් ඇසෙහි බබා විස්තාරණය කර අක්ෂි පරීක්ෂාවක් සිදු කරනු ලබයි. එහි දී යම් ලෙසකින් දෘෂ්ටි විතානයට හානි වී ඇත්නම් එය මුල් අවස්ථාවේ දී ම හදුනාගැනීමට හැකි වේ. එවැනි අවස්ථාවක ඉතාමත් පහසුවෙන් ලෙස්ර ප්‍රතිකාර මගින් තවදුරටත් රෝගී තත්ත්වය නරක අතට හැරීම වළක්වාගැනීමට හැකියි. නමුත් ඇතැම් දියවැඩියා රෝගීන් දීර්ඝ කාලයක් තිස්සේ ඇස් පරීක්ෂා නොකොට සිය පෙනීම බොහෝ දුරට අඩුවූ පසු වෛද්‍යවරයෙකු වෙත යොමුවීම බහුලව ම දකින්න ලැබෙන දෙයක්. එවැනි අවස්ථාවක දී නැවත පෙනීම ලබාගැනීම අපහසු කාර්යයක්. ඒ අනුව මෙවැනි රෝගීන් අන්ධභාවයට ලක්වීමට පවා හැකියාව තිබෙනවා. නමුත් කල්ගත වී පැමිණෙන මෙවැනි රෝගීන් ලේසර් ප්‍රතිකාර කෙරේ යොමුකරවීමට හැකි නම් ලේසර් ප්‍රතිකාර සඳහා යොමු කරවීමට වෛද්‍යවරුන් කටයුතු කරනවා.

අක්ෂි රෝගියාව ලේසර් ප්‍රතිකාර කෙරේ යොමු කරවීමට නොහැකි නම් එන්නත් ප්‍රතිකාර මගින් ඇන්ටිවෙන්ජෙක්ෂන් නම් ඖෂධය ලබාදෙනු ලබයි. ඇසට එන්නත් කරකු ලබන මෙම ඖෂධය මගින් ඇස තුළ ඉදිමීම හා ලේ ගැලීම වළක්වාගත හැකියි. රෝගියාගේ රෝගී තත්ත්වය මත එන්නත් ලබාදිය යුතු කාලය තීරණය වේ. ඒ අනුව ප්‍රතිකාර අවශ්‍යතාව මත එන්නත් ලබාදෙන කාලය මාසයක්, දෙකක් හෝ ඊට වැඩි කාලයක් බවට පත් විය හැකියි.

නමුත් මෙම තත්ත්වය වඩාත් බරපතළ වී ඇති අවස්ථාවක, එනම් රෝගියා කල්ගත වී වෛද්‍ය ප්‍රතිකාර කෙරේ යොමු වූ අවස්ථාවක සැත්කමකට පවා භාජනය කිරීමට සිදු වේ. එමෙන් ම දියවැඩියා රෝගීන්ට ඉතාමත් පහසුවෙන් ඇසෙහි සුද ඇති විය හැකියි. (ඇසෙහි සුද ඇතිවීම පිළිබඳව පසුගිය කලාපයෙන් සාකච්ඡා කෙරිණ.) එහි දී සාමාන්‍ය පරිදි සැත්කමක් මගින් ඇසෙහි සුද ඉවත් කිරීම සිදු කෙරේ.
ලෝකය දකින නෙත් අන්ධ කරන මෙම අක්ෂි රෝගවලට තමන් ගොදුරු වී ඇද්ද යන්න පිළිබව සොයා බැලීමට දියවැඩියා රෝගීන්ගේ නිරන්තර අවධානය යොමු විය යුතු බව අපි ආදරයෙන් සිහිපත් කරන්නෙමු.

විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොල (ශ්‍රී ජයවර්ධනපුර රෝහල)

සටහන – නදීරා අමරසිංහ