Health Guide

ඔබේ ඇස් දෙක ඇස් දෙක වගේ බලාගන්න

වටිනා කියන දේවල් අපි ඇස් දෙක වගේ රැකගන්නවා. ඇස කියන්නේ අපිට ඒ තරම්ම වැදගත් දෙයක්. අපි ලෝකය දකින්නේ ඇස් දෙකෙන්. ඒ නිසා ඇසෙහි නිරෝගීභාවය ඉතාමත් වැදගත්.

ඇසෙහි ප්‍රධානතම කාර්යය වන්නේ දැකීමයි. මෙහිදී ප්‍රතිබිම්භයක් දෘෂ්ටි විතානය මත පතිත වූ පසු ස්නායු මගින් ඒකී ප්‍රතිබිම්භය මොළය කරා රැගෙන යනු ලබයි. මොළය මගින් දකින්නේ කුමන වස්තුවක් ද යන්න අවබෝධ කරගනියි. ඇසෙහි මෙම ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවීමට නම් ඇසෙහි ඇති සියලු අවයව නිසි පරිදි ක්‍රියාකාරී විය යුතුය. ප්‍රතිබිම්භයක් දෘෂ්ටි විතානය මත පතිතවීමට නම් ඇසෙහි කළු ඉංගිරියාව, කාචය, පාරදෘෂ්‍ය විය යුතුය. කාචය මගින් අදාළ වස්තුවේ ප්‍රතිබිම්භය දෘෂ්ටි විතානය මතට නාභිගත විය යුතුය. දෘෂ්ටි විතානය නිරෝගී නම් ස්නායු මගින් ඒලෙස දකින ප්‍රතිබිම්භය මොළය කරා රැගෙන යනු ලබයි. මෙකී ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවීමට කාචය, දෘෂ්ටි විතානය, කළු ඉංගිරියාව හා ඇසෙහි ස්නායු නිරෝගීමත් විය යුතුය.

ඇස නිර්මාණය වී ඇත්තේ ස්ථර තුනකිනි.

1 කළු ඉංගිරියාව හා සුදු ඉංගිරියාව 2 කෝරයිට් ස්ථරය 3 දෘෂ්ටි විතානය එම ස්ථර තුනයි.

ඇස් රෝග පිළිබඳව කතා කරන විට

■ ඇසෙහි සුද

■ කෙරටකෝනස්

■ ග්ලුකෝමා

■ මැකුයුලර් ඩී ජෙනරේෂන් (දෘෂ්ටි විතානය වයසට දිරීම හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් නිසා ඇති වන ලේ ගැලීම)

■ රෙටිනර් ඩිඩැෂ්මන්ට් (දෘෂ්ටි විතානය ගැලවීම) ආදී අක්ෂි රෝග ශ්‍රී ලංකාවේ බහුලව දකින්නට ලැබේ.

මේ අතරින් ද ඇසෙහි සුද ශ්‍රී ලංකාවේ බහුලවම දකින්න ලැබෙන රෝගයක්. අසෙහි සුද යනුවෙන් හදුන්වන්නේ ඇසෙහි පාරදෘෂ්‍යතාව නැති වී ඒ හරහා ආලෝකය ගමන් නොකිරීමයි. කාචය මත ආලෝකය ගමන් නොකිරීම නිසා පැහැදිලි ප්‍රතාබිම්භයක් දෘෂ්ටි විතානය මතට ගමන් නොකරයි. ඒවිට යමක් දෙස බැලු විට පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් දක්නට ලැබේ. මෙවැනි රෝගීනට ඇතැම්විට දැඩි සූර්ය රශ්මිය හා තද ආලෝකය දරාගැනීමට නොහැකි වේ. ඒමෙන්ම වර්ණ හදුනාගැනීමේ දී අදාළ වර්ණ නිසි පරිදි හඳුනාගත නොහැකි වේ.
යම් පුද්ගලයෙකුට ඇසෙහි සුද හේතුවෙන් ඇස් නොපෙනීම සිදුවී ඇත්නම් සැත්කමක් මගින් ඇසෙහි සුද ඉවත් කර මිලි මීටර් 2.2 කුඩා සිදුරකින් කාචයක් දමනු ලබයි.

බහුලව දකින්නට ඇති අක්ෂි රෝගයක් වන ඇසෙහි සුදු ඇතිවීම

වයස්ගත වන විට ඇසෙහි සුද මතු වේ.
දියවැඩියා රෝගය පැවතීම, ඇසෙහි යම් යම් ආසාදන පැවතීම ආදී හේතු මෙම රෝගයට බලපායි.
ඒමෙන්ම ඉතාමත් කලාතුරකින් කුඩා දරුවන්ට උප්පත්තියෙන්ම ඇසෙහි සුද ඇතිවිය හැකිය. ඒමෙන්ම ගර්භනී අවදිය තුළ මවට යම් යම් රෝග ඇති වුවහොත් දරුවන්ට අසෙහි සුද ඇතිවිය හැකිය.
මෙයට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ යම් යම් රෝග වෙනුවෙන් ගනු ලබන ඹෟෂධ හේතුවෙන් ද ඇසෙහි සුද ඇති විය හැකිය.
කෙසේ නමුත් ඇසෙහි සුද ඇති වූ වහාම වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුත්තේ ලෝකය දකින නෙත් නිරෝගීමත් විය යුතු නිසයි.

විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොල (ශ්‍රී ජයවර්ධනපුර රෝහල)

  • සටහන – නදීරා අමරසිංහ

අක්ෂි රෝග පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොල මහතා විසින් ගෙන එන වටිනා ලිපි පෙළ මාසිකව නිරෝගා සඟරාවෙන් කියවන්න .