Food

ආහාර සුරක්ෂිතතාව සෑමදෙනාගේ ම යුතුකමකි

මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර-පාන, ඇඳුම්-පැලඳුම් හා ඉඳුම්-හිටුම් අතුරින් වැදගත්ම අවශ්‍යතාව ආහාරපාන ය. ඔබත් මමත් අප සියලුදෙනාගේ ම ජීවන අරගලයේ ප්‍රධාන අරමුණ ආහාරපාන යන ප්‍රධාන අවශ්‍යතාව සපුරාගැනීම නොවන්නේද? ආහාරපානවලින් තොරව අපට ශරීරය පවත්වාගෙන යන්නට කිසිසේත් නොහැකිය. කාලය ගෙවීයාමත් සමග ලෝකයේ ම ආහාර රටාවන් වෙනස්වී ඇත. අතීතයේ පැවති වස විසෙන් තොර පෝෂණීය ආහාර වෙනුවට අද බොහෝ විට ක්ෂණික පෝෂණය අවම දූෂිත ආහාර රටාවකට මිනිසුන් නිරායාසයෙන් ම තල්ලුවී ඇත. අනාරක්ෂිත දුෂිත ආහාර හේතුවෙන් විවිධ රෝගාබාධවලට වාර්ෂිකව ගෝලීය වශයෙන් පුද්ගලයන් මිලියන ගණනක් ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විවිධ ගණනය කිරීම් සිදුකර ප්‍රකාශයට පත් කර ඇත.

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය සෑම වසරක ම ජුනි මස 07 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ 2018 වසරේ දෙසැම්බර් මාසයේ ය. “ආහාර සුරක්ෂිතතාව සෑමදෙනාගේ ම යුතුකමකි.” යන තේමාව යටතේ දෙවන වරට මෙම වසරේ ලෝක ආහාර සුරක්ෂිතතා දිනය පැවැත්වීමට නියමිත ය.

අතීතයේ දී මෙන් නොව වර්තමානයේ දී දැනුවත්ව හා නොදැනුවත්ව ශරීරයේ පැවැත්මට අප ශරීරයට ලබාදෙන්නේ වස විස ය. නාගරීකරණය, සංචාරය හා කාර්යය බහුලත්වය හේතුවෙන් මිනිසුන් බොහෝමයක් පිළියෙල කළ, අර්ධ වශයෙන් පිළියෙල කළ ආහාර වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට පෙළඹී ඇත. එසේම පවතින සමාජ තත්ත්වය අනුව ද සහල්, එළවළු, පලතුරු, මස්, මාළු, ධාන්‍ය වර්ග සහ ජලය ද වෙළෙඳපොළෙන් ලබාගත යුතුය. ලෝක ජනගහනය වර්ධනය වන විට ආහාර ඉල්ලුම ඉහළයයි. එම ඉල්ලුමට සැපයුම් කිරීමට නම් කෘෂිකර්මාන්තයේ සහ සත්ත්ව නිෂ්පාදනයේ ද සැපයුම වර්ධනය කළ යුතුය. මෙසේ සැපයුම වර්ධනය කිරීමත් සමග ආහාරවල සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු බොහෝමයකට මුහුණදෙන්නට සිදුවේ.

වරද ඇත්තේ කොතැනදැයි එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට තනි තනි පුද්ගලයා වශයෙන් ආහාරවල සුරක්ෂිතතාව පිළිබඳව අවධානය යොමුකරන තාක් මෙම ව්‍යසනයෙන් ඔබටත් මටත් ගැලවීමක් නැත.

සුරක්ෂිත ආහාර හා පෝෂණය අතර ඇත්තේ සහසම්බන්ධතාවකි. සුරක්ෂිත බවින් තොර ආහාර මන්දපෝෂණ විෂම චක්‍රය නිර්මාණය කරයි. විශේෂයෙන් ම ළදරුවන්, කුඩා දරුවන් හා වැඩිහිටියන් ද මෙම විෂම චක්‍රයේ ගොදුරක් බවට පත්වේ.

මිනිස් ශරීරයට අහිතකර සහ හානිකර බැක්ටීරියා, වෛරස, පරපෝෂිතයන් හෝ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ආහාරවල සුරක්ෂිතතාවට එල්ලවී ඇත්තේ දැඩි තර්ජනයක් ය. මෙම අනාරක්ෂිත ආහාර හේතුවෙන් රෝග වර්ග 200ට පමණ ගොදුරුවීමේ අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝකයේ සෑම පුද්ගලයන් දසදෙනෙකු අතරින් එක අයෙක් අනාරාක්ෂිත ආහාර හේතුකොටගෙන රෝගාතුර වන බවත්, එමනිසා සෑම වසරක ම පුද්ගලයන් 420,000ක් පමණ මරණයට පත් වන බවත් දක්වා ඇත.

වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 40%ක් පමණ ආහාර මගින් බෝවන රෝගයන්ට ගොදුරු වන අතර වසරකට මරණ 125,000ක් පමණ සිදුවන බවත් තවදුරටත් ඔවුන් පෙන්වාදෙයි. ඒ අතුරින් පාචනය හා පිළිකා යන රෝග දෙක බහුලව ම දැකිය හැකිය.

පාචනය වැලඳීමට ප්‍රධාන ම හේතුව වෛරස, බැක්ටීරියා සහ පරපෝෂීන් ය. ආහාර පිළියෙල කිරීමේ දී සෞඛ්‍යාරක්ෂිත නොවීම තළින් මෙම විෂබීජ පහසුවෙන් ම මිනිස් ශරීරය තුළට ගමන් කරයි.

රසායනික දව්‍ය ආහාර සමග මුසුවීම තුළින් පිළිකා වැනි දරුණු රෝගයන් මෙන්ම, දිගුකාලීන ආබාධ සහ ජීවිත අහිමිවීම පවා සිදුවේ.

මෙම අනාරක්ෂිත ආහාර හේතුවෙන් ඇතිවන රෝග තත්ත්වයන්ට අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල්වලට වසරකට වෛද්‍ය පහසුකම් වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්නට සිදුවේ. එසේම රෝගී ජනතාවක් හේතුවෙන් එම රටේ ඵලදායීතාව ද පහතට වැටේ. එනිසා රටක් වශයෙන් ඔවුන්ට නැගී සිටීමට අනාරක්ෂිත ආහාර විශාල බාධාවකි.

“ආහාර සුරක්ෂිතතාව සෑමදෙනාගේ ම යුතුකමකි.” යන තේමාව සාක්ෂාත් කරගැනීමට කාලය එළැඹ ඇත. ආහාර නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් අත විශාල වගකීමක් ඇත. පුද්ගලයන් වශයෙන් අපගේ ආහාරවල සුරක්ෂිතතාව කෙරෙහි පාරිභෝගිකයකු ලෙස අපේ යුතුකම ඉටු කරන්නට පෙළ ගැසෙමු.

■ ඔබ වෙළෙඳපොළෙන් ඇසුරුම් කර ඇති ආහාර දව්‍ය මිල දී ගන්නා විට එහි අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ අවධානය යොමු කරන්න.

■ ඔව් ඔබ කාර්යය බහුල ය. එහෙත් දිනකට අවම වශයෙන් පැය භාගයක කාලයක් ඔබ ඔබට ම ආහාර නිෂ්පාදනය කරන්නට යොමු කරන්න වෙළෙඳපොළට පැමිණෙන සෑම එළවළු පලතුරක ම විස රසායනිකයන් අන්තර්ගතව ඇත. ඔබ ගසට වැලට ලබාදෙන සත්කාරයටත් වඩා වැඩි සත්කාරයක් ගස් වැල් ඵලදාව ලබා දෙමින් ද ඔබේ මානසික සුවය සමග ම ඔබේ නිරෝගීකම වෙනුවන් ලබාදෙනු ඇත.

■ අනාරාක්ෂිත ආහාර නිෂ්පාදන හෝ සැපයුම්කරුවන් මගහරින්න

■ වතුර හොඳින් උතුරුවා නිවා පෙරා භාාවිතයට ගන්න.

■ කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර පරිභෝජනය කිරීම සම්පූර්ණයෙන් ම නවත්වන්න.

ආහාර නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් ලෙස පොදු සමාජයට සෞඛ්‍යසම්පන්න ආහාර පමණක් ලබාදෙන්නට හැකි තරම් උත්සාහ කරන්න. නියමිත ප්‍රමිතියෙන් යුතුව වස විසවලින් තොරව පිරිසිදුවට ඔබේ ආහාර නිෂ්පාදනය සිදු කරන්න. එය ඔබ රටටත් ලෝකයටත් සිදු කරන මාහැඟි උපකාරයකි.

සටහන – දිශාන්ති වෙදගේ