Food

එළවළු පලතුරු වසවිසෙන් තොරව කන්න – මහාචාර්ය චන්න ජයසුමන

කුසගින්න යනු යුද්ධයකි. එය අවි දරා කරන යුද්ධයට වඩා බෙහෙවින්ම බිහිසුණු ය. ලෝකයේ සිටින සෑම පුද්ගලයෙකුම මෙම යුද්ධයේ කොටස්කරුවන් ය. එමෙන්ම සෑම පුද්ගලයෙකුම කුමන හෝ ආකාරයකින් මෙයට සම්බන්ධ විය යුතුව තිබේ. මෙහිදී ඇතැමුන් තමාගේ කුස පුරවාගැනීම වෙනුවෙන් වැඩි ප්‍රතිලාභ ලබාගැනීමට විවිධ උපක්‍රම භාවිත කරයි. ඒ තුළ සමාජ සාධාරණ උපක්‍රම මෙන්ම සමාජ විරෝධී ක්‍රියා ද තිබේ. මේ එවැනි සමාජ විරෝධි අයුරින් ජනතායට වසවිස කැවීම පිළිබඳව ය.

බොහෝ විද්වතුන් පවසන ආකාරයට ශ්‍රී ලංකාව යනු අද වනවිට ලෝකයේ වැඩිම වසවිස පරිභෝජනය කරන රටවලින් එකකි. එය සනාථ වන කාරණා ද දැක්විය හැකිය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනතාවට අතීතයට සාපේක්ෂව වසවිස යෙදූ ආහාර පරිභෝජනය කිරීමට සිදුවීම ප්‍රතිශතයක් ලෙස ගතහොත් ඉතා ඉහළ අගයක් ගනී. එසේම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී කෘෂි භෝග සඳහා යොදන පලිබෝධනාශකවල ප්‍රමිතිය පිළිබඳව ද ගැටලු පවතී. ආනයනය කෙරෙන විවිධ පලිබෝධනාශක නිසි පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම මෙයට හේතුවයි. විශේෂයෙන්ම ලියකියවිලි පමණක් පරීක්ෂා නොකොට අදාළ ද්‍රව්‍යය ද ක්‍රමවත්ව, නිසි අයුරින් පරීක්ෂා කිරීම කළ යුතුය.

ශ්‍රී ලංකාව වැනි රටක මිනිසුන්ගේ ආහාර රටාව බොහෝ අක්‍රමවත් ය. එනිසාම විවිධ ක්ෂණික ආහාරවලට හුරුවීමෙන් ඔවුන්ට විවිධාකාරයේ ලෙඩරෝගවලට මුහුණපෑමට සිදුව ඇත. මෙයට විසඳුමක් ලෙස වර්තමානයේ වෛද්‍යවරුන් පවා ජනතාවට වැඩි වශයෙන් එළවළු සහ පලතුරු ආහාරයට ගන්නා ලෙස උපදෙස් දෙයි. නමුත් විශේෂයෙන්ම නාගරික සමාජයේ ජනතාවට වසවිසෙන් තොර එළවළු සහ පලතුරු මිලදී ගැනීමට හැකියාවක් තිබේද? අද වනවිට ගම පවා නව්‍යකරණය වී ඇති බැවින් එළවළු තට්ටුවක්, පලතුරු වට්ටියක් වසවිසෙන් තොර බවට විශ්වාස කරන්නේ කෙසේද? ඒවා බොහෝදෙනාට තිබෙන ගැටලු ය.

බෝගයක් වගා කිරීමෙදී මෙන්ම ඵල හටගත් පසුව ද ඒවාට විවිධ රාසයනික ද්‍රව්‍ය එකතු කිරීම සිදු වේ. විශේෂයෙන්ම එළවළු, පලතරු කල් තබාගැනීමට සහ පලතුරු ඉක්මනින් ඉදවීමට ඇතැම් වෙළෙන්දන් ඒවාට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරයි. එහෙත් අපට වෙළෙඳපොළේදී හමුවන එළවළුවක් හෝ පලතුරක් දුටු පමණින් ඒවාට වසවිස එක්ව ඇත්දැයි හඳුනාගැනීම අපහසුය. එය බොහෝවිට රසායනාගාරමය කටයුත්තකි. එනම් නියම ආකාරයේ රසායනාගාර පරීක්ෂණයකින් තොරව සාමාන්‍ය පුද්ගලයෙකුට වසවිස රහිත එළවළු, පලතුරු හඳුනාගත නොහැකිය.

එසේ වුවත් යම් එළවළුවක් හෝ පලතුරක් ආසාමාන්‍ය ආකාරයෙන් පිරිසිදුව තිබේ නම් එය එවැනි වසවිස සහිත වූවක් විය හැකිය. විශේෂයෙන්ම කෘමි හානි හෝ දිලීර හානි රහිත එළවළු, පලතුරු මිලදී ගැනිමේදී සැලකිලිමත් විය යුතුය. තව ද යම් පලතුරක් ඉදෙන්නේ ක්‍රමානුකූල ආකාරයකට ය. එය එසේ නොවී සම්පූර්ණ ඵලයම එකවර එකම පැහැය ගෙන, එකම ආකාරයෙන් ඉදී ඇත්නම් ඇතැම්විට එය රසායනික ද්‍රව්‍යක් යොදා ඉදවූ පලතුරක් ද විය හැකිය. එහෙයින් පරීක්ෂාකාරී වීම තමාගේ සෞඛ්‍යයට සුබදායක ය.
නමුත් ශරීරයට අහිතකර නොවන ආකාරයේ දුම් ගැසීම වැනි සාම්ප්‍රදායික ක්‍රම මගින් පලතුරු ඉදවීමටත්, එළවළු සහ පලතුරු කල් තබාගැනීමටත් ක්‍රමවේද පවතී. ඒ ආකාරයේ යහපත් ක්‍රමවේද මගින් පලතුරු ඉදවන සහ එළවළු, පලතුරු කල් තබාගන්නා වෙළෙඳ මහතුන් ද ශ්‍රී ලංකාව පුරා ඕනෑ තරම් සිටී. එහෙයින් මෙය එවැනි වෙළෙඳ මහතුන් ද අපහසුතාවට පත් කරන නීති විරෝධි කටයුත්තකි. දඬුවම් ලැබිය යුතු වරදකි.

මෙම එළවළු, පලතුරු කල්තබාගැනීමට සහ පලතුරු ඉදවීමට මෙන්ම කෘෂි භෝග වගාවට යොදාගන්නා විවිධ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අතිශයින්ම අහිතකර ය. ඒවාහි ශරීර සෞඛ්‍යයට අහිතකර ආසනික් වැනි බැර ලෝහ පවතින බව දැනටමත් වෛද්‍යවරු තහවුරු කරගෙන තිබේ. එම බැරලෝහ සහිත ආහාර ලබාගත් පසු ඒවා ශරීර අභ්‍යන්තරයේ විවිධ ඉන්ද්‍රියන් තුළ තැම්පත් වේ. එනම් වකුගඩු, අක්මාව, අග්න්‍යාශය වැනි අභ්‍යන්තර අවයවවල තැම්පත් වී හෝමෝන ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එසේම පිළිකා ඇතිවීමට ද බලපායි. තව ද අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආතරයිටීස්, හන්දිපත් අමාරු ආදී රෝගාබාධවලට මෙවැනි සිරුරට අහිතකර වසවිස මග පාදයි.
ඇතැම්විට එළවළුවක් හෝ පලතුරක් බාහිරින් දකින ආකාරයට හෝ සුවඳින් හෝ රසවෙන් ඒවාට මිනිස් සිරුරට අහිතකර වසවස යොදා ඇත්දැයි හඳුනාගත නොහැකිය. එබැවන් පාරිභෝගිකයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් මිනිසාගේ ශරීරයට අහිතකර නොවන ආකාරයේ සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරමින් කටයුතු කිරීම නිෂ්පාදකයාගේ (ගොවියාගේ) සහ වෙළෙඳ ප්‍රජාවගේ යුතුකමක් මෙන්ම වගකීමකි.
තව ද සියලු ජනතාවට වසවිසෙන් තොර ආහාර පරිභෝජනය කිරීමේ අයිතිය රජය විසින් තහවුරු කළ යුතුය. එහිදී ජනතායට ලබාදෙන එළවළු, පලතුරු ඇතුළු ආහාර වසවිසෙන් තොරව නිසි ප්‍රමිතියෙන් ඇත්දැයි පරීක්ෂා කළ යුතුය. ඒ සඳහා ගැළපෙන පරීක්ෂණාගාර පහසුකම් සහ විශේෂඥයන් රජය විසින් සපයනු ලැබිය යුතුය. එහිදී සාමාන්‍ය ජනතාවට වුව ද තමන් මිලදී ගන්නා එළවළුවක්, පලතුරක් පිළිබඳව සැකයක් ඇති වුවහොත් අදළ ආයතනයට ගොස් පරීක්ෂා කරවාගැනීමේ හැකියාව තිබිය යුතුය. එමෙන්ම නිතර නිතර වෙළෙඳපොළේ ඇති එළවළු, පලතුරු පරීක්ෂා කරන යාන්ත්‍රණයක් සැකසිය යුතුය.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මක ආර්ථිකයක් සහිත රටකි. ඈත අතීතයේ සිටම එළවළු, පලතුරු වැනි භෝග වගා කළ රටකි. ඒවා කල් තබාගෙන පරිභෝජනය කළ රටකි. පලතුරු ඉක්මනින් ඉදවන යහපත් සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කළ මිනිසුන් සිට රටකි. එම නිසා වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය අපට අලුත් දෙයක් නොවේ. එහෙයින් නව්‍ය කාර්යබහුල ජීවන වටපිටාවට වහල් වී ජීවිතය අඳුරු කරගත යුතු නැත.

තමන්ගේ කුසගින්න පියවාගැනීම වෙනුවෙන් තවකෙකුට වසවිස නොකවා අපි හෘද සාක්ෂියට එකඟ වෙමු. කෙනෙකුට ජීවිතයේදී ලැබිය හැකි හොඳම ධනය වන නිරෝගී බව සියලු ජනතාවට ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කරමු. ඉක්මනින්ම දිනක වසවිස නැති ශ්‍රී ලංකාවක නිරෝගීව රිසි සේ ආහාර අනුභව කරන්නට හැකි නිසැක වටපිටාවක් සකසාගනිමු.

මහාචාර්ය චන්න ජයසුමන

සටහන – ඉසුරු සුධාරක දිසානායක

වැඩි විස්තර නිරෝගා සඟරාවෙන්… සැප්තැම්බර් කලාපය දැන් වෙළෙඳපොලේ