Health Guide

පිත්තාශයේ ගල් සෑදෙන්නේ කෙසේද ?

පිත්තාශය යනු අක්මාවට යටින් ඇති පිත රැස්කරන, මල්ලක් වැනි කුඩා ඉන්ද්‍රියකි. අක්මාවෙන් නිපදවන පිත, පිත්තාශයේ රැස්කර මේද ආහාර ජීර්ණයට අවශ්‍ය වන නිසා විටින් විට ප්‍රධාන පිත්ත නාලය (Common Bile Duct) හරහා කුඩා බඩවැලේ ග්‍රහණිය කොටසට නිදහස් කෙරේ.
පිත තරලයක් ලෙස පවතින අතර එහි සංයුතිය වන්නේ කොලෙස්ටරෝල්, ලයිපොප්‍රෝටීන හා පිත්ත වර්ණකයි. මේවා සමානුපාතික ප්‍රමාණවලින් පවතින විට ද්‍රාව්‍ය වශයෙන් පැවතුණ ද කොලෙස්ටරෝල් හෝ පිත්ත වර්ණකවල අනුපාතය වැඩි වුවහොත් හෝ ලයිපොප්‍රෝටීනවල ප්‍රමාණය අඩු වුවහොත් මේ තරලය ඝනීකරණය වී ඉන්පසුව ස්ථමික බවට පත්වී ඒ මත කැල්සියම් රොඩු සෛල තැන්පත් වී පිත් ගල් සෑදේ. මෙම ගල් තනි ගලක් (Solitary Calculus) හෝ කුඩා ගල් විශාල ප්‍රමාණයකින් (Multiple Calculi) ඇති බව හඳුනාගත හැකිය.

රෝග ලක්ෂණ

1. රෝග ලක්ෂණ කිසිත් නොමැතිව යම් කාලයක් පිත්තාශයේ ගල් තිබිය හැකිය. පරීක්ෂණවල දී අහම්බෙන් සොයාගන්නා පිත ගල් අහඹු ගල් (Incidatinal Gall Stones) ලෙස හැඳින්වේ. දියවැඩියාව ඇති රෝගීන්ට හැරුණු විට අනෙක් අයට ප්‍රතිකාර අවශ්‍ය නොවේ.

2. පිත ගල් නිසා පිත්තාශයේ බිත්තිය යම් ආසාධිත තත්ත්වයකට පත්වීම නිසා (Chronic Cholecystitis) දකුණ පස ඉලයට යටින් වේදනාවක් ඇතිවීම, බඩ පුරවා දැමීම, විශේෂයෙන් ම මේද ආහාර ගත්විට ඔක්කාර ගතිය, වමනය, කෑම අරුචිය වැනි දේ ඇතිවිය හැකිය.

3. පිත්තාශයේ ඇති පිත බැක්ටීරියා වැනි විෂබීජයක් නිසා උග්‍ර උදරාබාධ තත්ත්වයක් (Acute Cholecystitis) ඇතිවිය හැකි අතර එම පිත පැසවීම නිසා සැරව පිරුණු ප්‍රදාහයක් ලෙස ද  (Empyema) හඳුනාගත හැකිය.

4. පිත් ගලක් පිත්තාශයේ ගෙල ප්‍රදේශයේ අවහිරතාවක් ඇති කළොත් එහි ශ්ලේෂ්මල එක්රැස්වී ශ්ලේෂ්මල පිරුනු විශාල මල්ලක් ලෙස පරීක්ෂණවල දී දැකිය හැකිය. (Mucocele)

5. පිත් ගල්වලින් එකක් හෝ කීපයක් ප්‍රධාන පිත්ත නාලයට වැටීම නිසා එය අවහිර වී සෙංගමාල රෝග තත්ත්වය ඇතිවිය හැකිය. (Obstructive Jaundice) එහි දී රෝගියාගේ ඇස් හා මුත්‍රා කහ පැහැගැන්වෙන අතර එය දිගු කලක් පැවතුණහොත් වකුගඩු අක්‍රියවීම ද සිදු විය හැකිය. (Hepatorenal Syndrome)

6. කාලයක් පිත්තාශයේ ගල් තිබිම නිසා කලාතුරකින් පිත්තාශ පිළිකා සෑදීම ද සිදු විය හැකිය. (Gall Bladder Carcinoma)

7. ප්‍රධාන පිත්ත ප්‍රනාලයට (CBD)වැටුණු ගල් අග්න්‍යාශයික ප්‍රනාලය ද අවහිර කිරීමෙන් අග්න්‍යාශයේ දී උග්‍ර ප්‍රදාහිත තත්ත්වය (Acute Pancreatitis) ඇති කළ හැකිය.

රෝග විනිශ්චය

අල්ට්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණයෙන් (Ultra Sound Scan) පිත්තාශයේ ඇති ගල් හා ඒ හා සම්බන්ධ ඉහත සඳහන් කළ සංකූලතා පහසුවෙන් හඳුනාගත හැකිය. එහි දී ප්‍රධාන පිත්ත ප්‍රනාලයට(Common Bile Duct) බලපෑමක් ඇතිවී තිබුණහොත් ERCP නම් පරීක්ෂණය මගින් එහි ඇති තත්ත්වය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකිය. මෙහි දී නම්‍යශීලී බටයක ඇති කැමරාවක් හා ආලෝක ධාරාවක් යොදාගනියි. (Flexible Endoscopy) පිත්ත ප්‍රණාලයේ ඇති ගල් ඉවත් කිරීම ද සිදු කළ හැකිය.

ප්‍රතිකාර ක්‍රම

1. ගල් දිය කිරීමට ඖෂධ පාවිච්චි කිරීම, පිත්තාශයේ ගල් කුඩු කිරීම වැනි ක්‍රම අසාර්ථක නිසා වර්තමානයේ එවැනි ප්‍රතිකාර නොකරන තරම් ය.
2. රෝග ලක්ෂණ සහිත පිත් ගල් (Symptomatic Gall stone) සඳහා නිශ්චිත ප්‍රතිකාරය නම් පිත්තාශය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමයි. (Cholecystectomy)
අද තාක්ෂණයේ දියුණුවත් සමග ඉතා සියුම් ලෙස ලැපරස්කෝපය නම් උපකරණය භාවිත කර උදර බිත්තියේ ඇතිකරන සිදුරු කීපයකින් පමණක් මෙය ඉවත් කළ හැකිය. (Laparoscopic Cholecystectomy)
යම් අවස්ථාවල දී විශේෂයෙන් ම උග්‍ර ආසාධිත සංකූලතා ඇතිවිට මෙය උදරය විවෘත කර කරන ශල්‍යකර්මයකින් (Open Cholecystectomy) ඉවත් කිරීමට සිදුවිය හැකිය.

3. රෝග ලක්ෂණ නොතිබුණත් යම් හෙයකින් දියවැඩියා රෝගියෙකුට පිත්තාශයේ ගල් ඇති බව දැනගතහොත් එය ඉවත් කිරීම ප්‍රඥාගෝචර වේ. හේතුව මෙම රෝගීන්ට ඇතිවන සංකූලතා ඉතා උග්‍ර විය හැකි බැවිනි.

පිත්තාශයේ ගල් වළක්වාගත හැකිද?

1. අධික මේද ආහාර ගැනිමෙන් වැළකිය යුතුය.
2. ස්ථුල බව අඩුකරගැනීම හා රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරගැනීම වැදගත්.
3. දීර්ඝ කාලයක් උපත් පාලන පෙති පාවිච්චි කිරීමේ දී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
4. මැලේරියාව, රුධිර සෛල විනාශ වන රෝග (Haemolytic Diseases) ඇතිවීම පිත්ත වර්ණක ගල් සෑදීමට ප්‍රවණතාවක් ඇති නිසා ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

ආමාශ ආන්ත්‍රික විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන