Health

කෙනෙකුගේ හිසක් තව කෙනෙකුට බද්ධ කරන්න පුළුවන්ද?

මිනිස් සිරුරට විවිධ ඉන්ද්‍රියන් බද්ධ කිරීමේ හැකියාව ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ. ඒක ලෝකයේ ඕනෑම රටක සිදුවෙන දෙයක්. හදිසි අනතුරුවලින් කැපිලා වෙන්වුණු අත්, පා සිරුරට බද්ධ කිරීම අපේ රටේ පවා සිදු වෙනවා. ඊට අමතරව සිරුර අභ්‍යන්තරයේ ඇති වකුගඩු, අක්මා, පෙනහලු විතරක් නෙවෙයි හෘදයන් පවා බද්ධ කිරීම අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. නමුත් කෙනෙකුගේ හිසක් තවත් කෙනෙකුට බද්ධ කරන්න පුළුවන් ද කියන කාරණය නම් ටිකක් පැටලිලි සහිතයි. ඒ වගේම විශාල අභියෝගයක්. කෙනෙකුගේ හිසක් තවත් කෙනෙකුට බද්ධ කරනවා කියලා කියන්නෙ මේ ශල්‍යකර්මයෙන් පස්සෙ අලුත් ම කෙනෙක් බිහිවෙනවා කියන එකයි.

කොහොම වුණත් මේ අභියෝගය භාරගන්න ඉතාලි ජාතික ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වන සර්ජියෝ කානවෙරෝ ඉදිරිපත් වුණා. ඉතින් ලෝකය උඩු යටිකුරු කරන ආකාරයේ ශල්‍ය කර්මයක්, එහෙමත් නැත්නම් ඉතිහාසය තුළ අලුත් පිටුවක් පෙරළෙමින් හිසක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් නුදුරේ දී ම සිදු වෙනවා. ඔහු මේ ශල්‍යකර්මයට අවශ්‍ය තොරතුරු රැස් කරන්නටත්, අත්හදා බැලීම් කරන්නත් පටන්ගත්තෙ මීට අවුරුදු 30කට කලින්. මුලින් ම ඔහු කෙසෙල් ගෙඩියක් දෙකට කපලා ඒක හරි විදියට බද්ධ කරන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා පරීක්ෂා කරලා තියනවා. ඉන් පස්සේ අවස්ථා කීපයක දී මීයන් 15දෙනෙකු මේ පර්යේෂණයට යොමු කරලා තියෙනවා. ඒ අතරින් මීයන් 9දෙනෙකු සඳහා හිස බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව සිදුකළ හැකිවූ බවත්, 6දෙනෙකු ශල්‍යකර්මය අතර දී සහ විවිධ අවස්ථාවල දී මියගිය බවත් ඔහු පවසනවා. ඒ වගේම සාර්ථකව හිස බද්ධ කරනු ලැබූ මීයන් දවස් 30ක් තුළ සම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත්වී තනිව ආහාර සොයාගත හැකි තත්ත්වයට පැමිණි ආකාරය ගැනත් වෛද්‍ය කානවලෝ පැහැදිලි කර දී තිබෙනවා.

ලොව පළමු වරට මේ පර්යේෂණයට මුහුණ දෙන්නෙ, එහෙමත් නැත්නම් තමන්ගෙ හිස දෙන්නෙ රුසියානු ජාතිකයෙක්. උපතින්ම ඔහු ආබාධිතයි. වැලරි ස්පින්ඩොනව් නම් වුණු ඔහුගේ පපුව ප්‍රදේශයෙන් පහළ කොටස සම්පූර්ණයෙන් ම ක්‍රියා විරහිතයි. ඒ කියන්නෙ ඔහු Spinal muscular atrophy කියන දුර්ලභ රෝගයෙන් පෙළෙනවා. වෛද්‍ය සර්ජියෝගෙ පර්යේෂණයට උදව් කරන්නත් තමන්ගේ හිසට අලුත් සිරුරක් බද්ධ කර ගන්නත් තියෙන උවමනාව නිසා ම වැලරි දෙපාරක් හිතන්නෙ නැතිව මේ ශල්‍ය කර්මයට මුහුණ දෙන්න තීරණය කළා. නමුත් මේ ශල්‍ය කර්මය සම්පූර්ණයෙන් ම අභියෝගයක්. ඒකට හේතුව තමයි එය සාර්ථක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සාර්ථක නොවුණොත් වැලරි තවදුරටත් ජීවත් වෙන්නෙ නැති බව සහතිකයි. මේ වනවිට ඔහුගේ ශරීරයට අභ්‍යන්තර වශයෙන් සෑම දෙයක් ම ගැළපෙන ආකාරයේ ශරීරයක් සොයමින් පවතිනවා.

මේ ශල්‍ය කර්මය පටන්ගන්න නම් වැලරිගේ හිස සෙල්සියස් අංශක ඍණ 15ට සිසිල් කරන්න ඕනෙ. එහෙම නොවුණොත් රුධිර නාල සහ ස්නායු මිය යන්න ඉඩ තියනවා. ඒ විතරක් නෙවෙයි වැලරිගේ හිසට ගැළපෙන සිරුරක් සොයාගන්නත් ඕනෙ. ඒ සිරුර අයිති පුද්ගලයා මොළය මියගිය හදවත ක්‍රියා කරන කෙනෙක් වෙන්නත් ඕනෙ. මේ හැම දෙයක් ම සපුරාගත්තට පස්සෙ ශල්‍යකර්මය සිදු කරන්න පටන්ගන්නවා. ඒ සෙල්සියස් අංශක ඍණ 15 උෂ්ණත්වයක් තුළ දී. වෛද්‍ය සරිජියෝ කියන විදිහට නම් මුලින් ම කරන්න තියෙන්නෙ හිස අයත් පුද්ගලයාගේ කොඳු ඇට පේළියට සම්බන්ධ සියලු ම ස්නායු සහ නහර සමග හිස කොටස ඉවත් කරන එක. ඊට පස්සෙ ඒ ආකාරයට ම හිස ඉවත් කළ සිරුරට බද්ධ කිරීම සිදු කරන්න ඕනෙ. සිරුර අයිති කෙනාගෙ කොඳු ඇට පෙළට හිස අයිති කෙනාගෙ හිස සහ බෙල්ල සහිත කොඳු ඇට පේළියේ ඉහළ කෙළවර සවි කරන්නෙ පොලිඑතිලීන් ග්ලයිකෝල්වලින්.

මේ ශල්‍ය කර්මයට පැය 36ක් 40ක් විතර ගතවෙනවා. ඒ විතරක් නෙවෙයි ගණනය කර තියෙන විදිහට නම් අමෙරිකන් ඩොලර් මිලියන 11ක මුදලකුත් වැය වෙනවා. මේ ශල්‍ය කර්මය සිදු කරන්න අඩු ම තරමේ පළපුරුදු වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය 150ක් වත් ඉන්න ඕනෙ. මේ සියලුදෙය ම සපුරාගත්තත් වැලරිගෙන් ඉහත සඳහන් කරපු මුදල අය කර ගන්නවද කියන එක නම් ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි මේ ශල්‍ය කර්මය සාර්ථකවීම සහ නොවීම අතර සම්භාවිතාව එකට එකයි. ප්‍රතිශතයක් විදිහට සියයට 50යි. සාර්ථක නොවුණොත් වැලරි මිය යනවා. මේ වගේ ශල්‍යකර්මයක් මීට කලින් කරලා නැති නිසා මොනවා වෙයිද කියලා කියන්න දන්නෙත් නැහැ. ඉතින් වැලරි තමන්ගේ ජීවිතය මේ තරම් අභියෝගයකට ලක් කරලා මුළු වෛද්‍ය විද්‍යාවේ ම අනාගතය වෙනස් කරන්න ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඔහුට කරන ගරු කිරීමක් විදිහට මේ සම්පූර්ණ වියදම ඉතාලි රජයෙන් දරන්න මේ වෙද්දි කටයුතු සම්පාදනය කරලා ඉවරයි.

මෙය සාර්ථක වුණොත් මෙතෙක් කාලයක් කිසිම දවසක තමන්ගෙ කකුල් දෙකෙන් ඇවිදපු නැති වැලරි අනුන්ගෙ කකුල් දෙකකින් ඇවිදින්න පටන්ගනී. ඒ වගේම ලෝකයේ බොහෝ රටවලින් මේ ශල්‍ය කර්මය සිදු කර ගන්න රෝගීන් පෝලිම් ගැහිලා බලන් ඉඳී. හැබැයි හිස බද්ධ කරන දෙවෙනි ශල්‍ය කර්මයේ ඉඳලා හැමෝටම අමෙරිකන් ඩොලර් මිලියන 11 ගාණෙ ගෙවන්න නම් සිද්ධ වෙයි.

සටහන – දුලංජලී මුතුවාඩිගේ