Health Guide

ඔබේ ඇසේ පෙනන පරාසය අඩු කරන ග්ලුකොමා රෝගය

දෑස තරම් වටින කිසිවක් අපේ ජීවිතයේ නැති තරම්. ඒ නිසයි අපි වටින දේවල් ඇස් දෙක තරම් පරිස්සම් කරන්නේ. ඇස් රෝග අතරින් ග්ලුකොමාව කියන්නේ ඔබටත් නොදැනිම ඔබගේ දෑසේ පෙනීම ක්‍රම ක්‍රමයෙන් නැති කරන රෝගයක්. ඔබ මේ රෝගය ගැන දැනුවත් වෙන්න ඕනිත් අන්න ඒ නිසාමයි.

මොකක්ද මේ ග්ලුකොමා රෝගය?

ඇසේ ස්නායුවට හානි සිදුවීමෙන් වැළදෙන රෝගයත්. මෙය වැඩිපුරම දකින්න ලැබෙන්නේ ඇසේ පෙෂර් ඒකත් සමගයි. ඇසේ ස්නායුවට පීඩනය දරාගැනීමට නොහැකිවීම නිසා ස්නායු දුර්වලවීමක් මෙහිදී සිදුවෙනවා. මෙමඟින් ඇසේ ස්නායුවේ විවිධ වෙනස්කම් ඇති වේ. ඒ අනුව ග්ලුකොමා රෝගය හේතුවෙන් ඇසේ පෙනන පරාසය අඩු වෙනවා. නමුත් යම් වස්තුවක් දෙස බැලු විට එය පෙර පරිදිම පෙනෙනවා. පෙනෙන පරාසයේ අඩුවීමක් පමණයි දකින්න ලැබෙන්නේ. මෙහිදී ඇසේ පීඩනය සාමාන්‍ය ප්‍රමාණයකින් තිබෙන විට පවා ග්ලුකොමා තත්ත්වය තිබෙන්න පුළුවන්. ඒ වගේම ඇසේ පෙෂර් වැඩි වුණු විටත් ග්ලුකොමා තත්ත්වයක් තියෙන්න පුළුවන්. ග්ලුකොමාව රෝගය ඇති වෙන්නේ තමන්ගේ ඇසේ පීඩනය ඇසේ ස්නායුවට දරාගැනීමට නොහැකි වු විටදීයි.
ග්ලුකොමා රෝගයේ තත්ත්වය අනුව එය වර්ග කරන්න පුළුවන්. නැරෝ ඇන්ගල් කියන්නේ එවැනි ග්ලුකොමා තත්ත්වයක්. එවැනි විටකදී එක වරම ඇසේ පෙෂර් තත්ත්වය වැඩිවෙනවා. ඇසේ කැක්කුම ඇති වී ඇස රතුවීම වැනි ලක්ෂණ දකින්න ලැබෙනවා. ඒ වගේම ඇසේ පෙනීම අඩු වෙනවා. මෙය ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන ග්ලුකොමා තත්ත්වයක්.
කොනික් ඔිපන් ඇන්ගල් ග්ලුකොමා කියන තත්ත්වය තමයි බහුලව දකින්න ලැබෙන්නෙ. එහිදී ඇසේ පීඩනය වැඩිවී ටික කාලයක් ගත වන විට ඇසේ ස්නායුවට හානී සිදුවේ. එමෙන්ම පෙනෙන පරාසය අඩු වේ.

ග්ලුකොමාව වැලඳෙන්න කාටද?

ඕනිම කෙනෙකුට ග්ලුකොමා රෝගය වැලඳෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වයස අවුරුදු හතළිහ පහුවුණ ඕනිම පුද්ගලයෙක් ඇසේ ග්ලුකොමා තත්ත්වය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම තමුන්ගේ පවුලේ කෙනෙකුට ග්ලුකොමාව වැලඳී තියෙනවා නම් ඒ පුද්ගලයාට ග්ලුකොමාව වැලඳීමේ අවධානමක් තියෙනවා. ඊට අමතරව ඇසේ තුවාල තිබෙනවා නම් ග්ලුකොමාවට ගොදුරුවීමට ප්‍රවණතාවක් තිබෙනවා. විශේෂයෙන්ම පවුල් ඉතිහාසය තුළ ග්ලුකොමා රෝගීන් සිටිනවා නම් වයස අවුරුදු හතලිහ පසු වූ ගමන් ග්ලුකොමා පරීක්ෂාවක් සිදුකරගත යුතු වෙනවා.
වයසත් එක්ක තමයි ග්ලුකොමා තත්ත්වය ඇති වෙන්නෙ. අවුරුදු හතළිහ පනහ වසසේ පසුවන පුද්ගලයන්ට බොහොම කලාතුරකින් තමයි ග්ලුකොමා රෝගය වැලඳී තියෙන්නෙ. නමුත් වයස අවුරුදු හැත්තෑව, අසුව පමණ වන විට ග්ලුකොමා රෝගය වැළදීමට ඇති ප්‍රවණතාවය වැඩියි. ඒ නිසා වයසට යන විට ඇස් රෝග නැති වුණත් අවුරුදු දෙක තුනකට වරක් ග්ලුකොමා පරීක්ෂාවක් සිදුකර ගත යුතු වෙනවා.

ග්ලුකොමා රෝගයේ රෝග ලක්ෂණ මොනවද?

ග්ලුකොමා රෝගයේ රෝග ලක්ෂණ දකින්න ලැබෙන්නෙ නැහැ. එයට හේතුව වන්නේ පෙනීමේ පරාසය අඩුවීම මිස ඇසේ පෙනීම දුර්වල නොවීමයි. ඇසේ සුද වගේ රෝගයක් වැළදුන විට පෙනීම අඩු වෙනවා. එවිට රෝගියාට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමු වෙන්න පුළුවන්. නමුත් ග්ලුකොමා රෝගය අන්තිම වෙනකම්, හොඳටම නරක අතට හැරෙනතෙක් රෝගියාට රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැහැ.

පරීක්ෂණයකින් ග්ලුකොමා තත්ත්වය හඳුනාගන්නෙ කොහොමද?

ග්ලුකොමා රෝගය හඳුනාගැනීමට ඇසේ පීඩනය මැන බැලිය යුතුයි. එමෙන්ම ඇසේ දෘෂ්ටි ස්නායුවට හානි සිදුවී ඇති දැයි පරීක්ෂා කර බලන්න පුළුවන්. මෙහිදී ඇසට බෙහෙත් දමා ඇසේ බබා විශාල කර ඇස පරීක්ෂා කිරීමක් සිදු කරනවා. නමුත් ඇතැම් අවස්ථාවල දී රෝගය නිශ්චිතවම හඳුනාගන්න හැකි වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී OCT වැනි පරීක්ෂණ මගින් ස්නායුව පරික්ෂා කර බැලිය යුතුයි. එවැනි පරීක්ෂණ මගින් ස්නායුවට හානි සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලිය හැකියි.
එමෙන්ම ඩසිමඩ්ක ිැැබ එැිඑ එකක් මගින් ඇසේ පෙනන පරාසය පිළිබඳව පරීක්ෂා කර බැලිය හැකියි . මෙම පරීක්ෂණ මගින් ඇසේ ග්ලුකොමා තත්ත්වය තිබේද නැද්ද යන්න නිවරදිව හඳුනාගන්න පුළුවන් වෙනවා. ග්ලුකොමා තත්ත්වයක් තිබෙන බවට හඳුනාගත් විට එ සඳහා ප්‍රතිකාර සිදු කළ හැකියි.
නමුත් මුල් අවධීයේ තිබෙන ග්ලුකොමා තත්ත්වයන් නිවරදිව හඳුනාගැනීමට අපහසුයි. එවැනි රෝගීන්ව වසරින් වසර පරීක්ෂණවලට බඳුන් කළ යුතු වෙනවා. ඒ අනුව යම් වෙනසක් හඳුනා ගන්න ලැබෙනවා නම් එවැනි රෝගීන්ව ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වෙනවා.

ග්ලුකොමා රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ග්ලුකොමා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ ඖෂධ ලබාදීමෙන්. මෙහිදී විවිධ ඹෟෂධ මගින් ඇසෙහි පීඩන තත්ත්වය අවම කරනු ලබයි. එලෙසින් පීඩනය අඩු කළ විට තවදුරටත් ඇසෙහි ස්නායුවට සිදුවීමට ඇති හානිය අවම වේ. එමගින් මෙතෙක් පැවති ග්ලුකොමා තත්ත්වය වර්ධනය නොවී පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. ඖෂධ මගින් පාලනය කළ නොහැකි විට ශල්‍ය කර්ම කෙරේ යොමු වෙනවා. ග්ලුකොමාව වෙනුවෙන් සිදු කරන ලේසර් ප්‍රතිකාර ද තිබෙනවා. නමුත් හැකිතාක්
බෙහෙත් මගින් ග්ලුකොමා රෝගය පාලනය කිරීමට කටයුතු කරනු ලබනවා. ඖෂධවලින් පාලනය කිරීමට නොහැකි වූ විට පමණක් ශල්‍යකර්ම කෙරෙහි යොමු වෙනවා.
ඇසේ පෙෂර් වෙනුවෙන් ශල්‍යකර්ම සිදු කරනු ලබන්නේ ඉතාමත් කලාතුරකින්. නමුත් ශල්‍යකර් මයකට මුහුණ දුන් රෝගියෙකු දින දෙක තුනකට වරක් ඇසේ පීඩන තත්ත්වය පරීක්ෂා කළ යුතු වෙනවා. සති දෙක තුනක් ගතවන තුරු මෙලෙස ඇස් පරීක්ෂා කළ යුතු වෙනවා.
ඔබේ ඇස් දෙකට වටිනාකමක් දීම ඉතාමත් අසීරු කරුණක් බව ඔබ දන්නවා. නිසි ලෙස අක්ෂි පරීක්ෂාවකට යොමු වී ග්ලුකොමා රෝගයෙන් වැළකී සිටිමට ඔබ සිතට ගත යුත්තේ ඒ නිසයි.

විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොල (ශ්‍රී ජයවර්ධනපුර රෝහල)

සටහන – නදීරා අමරසිංහ