Food

ශරීර ශක්තිය වඩවන ගොටුකොළවල ගුණ

පළා වර්ගයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවේ ජනතාවට ගොටුකොළ යනු ඉතාමත් සමීප ආහාරයකි. පුද්ගලයන්ගේ ආහාර රුචිකත්වය අතින් වයස් භේදයකින් තොරව හැමෝම කැමැත්තක් දක්වන මෙය, ආයුර්වේදයේදී ඉතාමත් වටිනා ඖෂධයක් ලෙසින් හැඳින්විය හැකිය. එනම් මෙය ඖෂධීය ආහාරයක් වේ.
මෙම ඖෂධය ආයුර්වේදයේදී මණ්ඩුකපර්ණී, බ්‍රාහ්මී, දිව්‍යා සහ මහෝෂධී යන නම්වලින් හඳුන්වයි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Centella Asiatica වන අතර ආයුර්වේදයේදී මෙහි කුලය මණ්ඩුකපර්ණී කුලය ලෙස හඳුන්වයි. එහෙත් උද්භිත විද්‍යාත්මකව මෙය අයිති වන්නේ Apiaceae කුලයට ය. එමෙන් ම සෙවණ සහිත තෙත් පරිසරයන්හි මෙම පැළෑටිය හොඳින් වැඩෙන අතර මෙය බිම දිගේ වැතිරී වැඩෙන ශාකයකි. මීටර් දෙකක් පමණ දුරට පවා විහිදී වැඩිය හැකි ගොටුකොළ ශාකයේ පත්‍ර රවුම් දාර සහිත ස්වභාවයක් ගනී. තව ද මෙයට මන්ඩුකපර්ණී නම් නාමය ලැබීමට හේතුව මෙහි පත්‍රවල ස්වභාවයත්, මෙයට තැනින් තැනට පැන මුල් ඇදීමේ ස්වභාවයක් තිබීමත් නිසා ය.
ගොටුකොළවල ප්‍රභේද දෙකක් පවතී. එනම්, හීන් ගොටුකොළ සහ මහ ගොටුකොළ ය. නමුත් මෙම ප්‍රභේද දෙකෙහි ආහාරමය වටිනාකම සහ ඖෂධීය ගුණවල කිසිදු වෙනසක් නැත. ඖෂධ සකස් කිරීමේදී සහමුලින් ගත් අමු පැළෑටිත්, මඳ පවනේ වියළාගත් පැළෑටිත් යන දෙආකාරයෙන් ම භාවිත කරයි. එනම් එහිදී ඖෂධ පිණිස සම්පූර්ණ පැළෑටිය ම භාවිත කරයි. නමුත් මෙහිදී මෙය තද අව්වේ වියළාගැනීම සුදුසු නැත.
ආයුර්වේදයේදී ශරීරයේ මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාකිරීමේ හැකියාව වර්ධනය කර දුර්වලතා මගහරවාගැනීමට මෙම ඖෂධයේ ඇති මේද්‍ය ගුණය වැදගත් වේ. එමෙන්ම ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ වන චරක සංහිතාව සහ සුශ්‍රැත සංහිතාව යන ග්‍රන්ථ දෙකෙහිම ගොටුකොළ දක්වා ඇත්තේ වයස්ථාපන ද්‍රව්‍යයක් හැටියට ය. එනම් මෙම ඖෂධයට පුද්ගලයෙකු වයසට යාමෙදී පෙන්නුම් කරන ලක්ෂණ ඇතිවීම පමා කිරීමේ හැකියාවක් තිබේ. මෙයට හේතුව ලෙස මෙම බ්‍රාහ්මී හෙවත් ගොටුකොළ ශාකයේ පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය දැක්විය හැකිය.
මීට අමතරව රක්ත අර්ශස්, රක්ත අතීසාරය, විවිධ ගර්භාෂගත රෝග ආදිය නිසා ශරීරයේ රුධිර ගැලීම් තත්ත්ව ඇතිවන අවස්ථාවල මෙම පැළෑටිය ඖෂධයක් ලෙස භාවිත කරයි. එමෙන්ම චර්ම රෝග සහ මුත්‍රා රෝග සඳහා ද ගොටුකොළ වඩාත් ගුණදයක ඔසුවකි.
සාමාන්‍යයෙන් ආයුර්වේදයේ දී ප්‍රතිකාර සඳහා ශරීරයේ වාත, පිත්ත සහ කපජ යන දෝෂ ගැන සැලකිලිමත් වී ඖෂධ යොදගනියි. මෙහිදී ගොටුකොළ ඖෂධය පිත්ත සහ කපජ දෝෂ සඳඟා ඉතා ගුණදායක ය. එමෙන් ම වර්තමානයේදී විවිධ මානසික රෝගයන් සඳහා ප්‍රතිකාරයක් ලෙස ද මෙම ශාකය යොදගනී. තව ද නින්ද නැතිකම, සන්ධි රෝග, පීනසය, ආමාශගත තුවාල වැනි රෝග තත්ත්ව සඳහා ද මෙම ශාකය ඖෂධයක් ලෙස භාවිත කරයි. එපමණක් නොව අකලට කෙස් හැලීම, කෙස් සුදුවීම වැනි හිසකෙස් ආශ්‍රිත රෝග සඳහා ද මෙය කදිම ඖෂධයකි. එමෙන් ම මෙය ඇතැම් අයට වයසත් සමග සිදුවන අමතකවීම් වළක්වාගැනීමට සහ අපස්මාරය, පොතුකබර වැනි තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා ද භාවිත කළ හැකි ඖෂධයක් ලෙස විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු කර ඇත.
පීනස් රෝගය සඳහා මෙම ඖෂධයේ අමු ඉස්ම කෝප්ප භාගයක් පමණ ගෙන රතු ළුෑණු ගෙඩි දෙකක පමණ ඉස්ම සමග මිශ්‍ර කරගෙන උදෑසන පානය කිරීම ඉතා ම සුදුසු වේ. මීට අමතරව ගොටුකොළ සලාදයක් ලෙස ද නිතර මෙවැනි රෝගීන් සඳහා භාවිත කළ හැකිය. එමෙන්ම වියළාගත් ගොටුකොළ මුල් කුඩු කර දිනකට තේ හැඳි භාගයක් පමණ උණුවතුරකොප්ප භාගයකට පමණ දමා, ටික වේලාවක් වසා තබා, පෙරා පානය කිරීමට හැකිය.
මීට අමතරව පීනස් රෝගය සඳහා තවත් ප්‍රතිකාරයක් ලෙස ගොටුකොළ යුෂ ගෙන එයට සීනි දමා ලිපේ තබා කකාරා පැණියක් ලෙසින් සකසාගෙන භාවිත කළ හැකිය. මෙය “මණ්ඩුකපර්ණී පැණිය” ලෙස වෙළෙඳපොළේ ද ඇති අතර පීනසය, කැස්ස වැනි රෝගවලට ඉතා ම උචිත ය. විශේෂයෙන්ම දිනකට දෙවරක් කුඩා දරුවන්ට වරකට තේ හැඳි එකක් බැගින් සහ වයස අවුරුද දහයක්/fදාළහක් පමණ වන දරුවන්ට වරකට තේ හැඳි දෙකක් පමණ බැගින් මෙහිදී ඖෂධයක් ලෙස ලබාදිය හැකිය.
තව ද සුවවීම ප්‍රමාද තුවාලවලට අමු ගොටුකොළ එළඟි තෙල් සමග අඹරා ආලේප කිරීමෙන් සුව ගෙන දේ. විශේෂයෙන් ම වයස්ථාපන ගුණය මෙම ශාකයේ අන්තර්ගත නිසා හැකි නම් දිනපතා ම මෙහි සම්පූර්ණ ශාකය පවනේ වියළා කුඩුකරගත් තේ හැඳි එකක් එළකිරි සමග මිශ්‍ර කර පානය කිරීම ඉතාමත් ගුණදයක ය. එසේම ඉඟුරු, වැල්මී, ගොටුකොළ එක වර්ගයකින් ග්‍රෑම් පහක් පමණ වන සේ ගෙන අඹරා කල්කයක් සාදා වරකට ග්‍රෑම් දහයක් පමණ මී පැණිත් සමග ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය වර්ධනය වී ශරීරයේ පෘෂ්ඨිමත්භාවය ඇතිකරගැනීමට ද හැකි වේ.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක