Health Guide

දියේ ගිලුණු අයෙක්ට ප‍්‍රථමාධාර දෙන අයුරු

ජලය ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම්වල නියලීමට ලොකු කුඩා කවුරුත් පාහේ විශේෂ කැමැත්තක් දක්වනවා. නොදන්නා, නුපුරුදු පළාතක වුව ද ලස්සන දිය පහරක්, ජලාශයක් දුටු විට එහි බැස ස්නානය කරන්න ඔබට සිතක් පහළවන්නේ ඉබේමයි. නමුත් මේ ආසාව නිසා ම ඇතැම් පුද්ගලයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ අවස්ථා බොහෝමයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප‍්‍රකාශ කරනක පරිදි වාර්ෂිකව ලොව පුරා දියේ ගිලීම හේතුවෙන් පුද්ගලයන් 360 000ක් පමණ මිය යනවා. අවාසනාවන්ත ම කරුණ වන්නේ මෙම මරණවලින් බොහෝ ප‍්‍රමාණයක් වළක්වාගැනීමට හැකියාව තිබූ ඒවා වීමයි. ඒ් සඳහා අවශ්‍ය වන්නේ අනතුරක දී බුද්ධිමත්ව ක‍්‍රියාත්මකවීම පමණයි.

දියෙහි ගිලූණු පුද්ගලයෙකුට පිහිටවීමට පෙර ඔබ මෙම කරුණු පිළිබඳව දැන සිටීම ඉතමෙත් වැදගත් වෙනවා. නිවරදි මොහොතේ නිවරදි ලෙස ක‍්‍රියාත්මකවීම වටිනා ජීවිතයක් බේරාගැනීමට මඟක් බව මතක තබාගන්න.

දියේ ගිලූණු රෝගියෙකුට ප‍්‍රථමාධාර ලබාදීමේ දී ඔබ හෘද පුනර්ජීවනය දැන සිටීම ඉතාමත් වැදගත්. දියෙහි ගිලීමට වැඩි අවධානමක් ඇත්තේ කුඩා ළමයින්, ඔවුන්ගේ කෙළිලොල්බව හා ජලයට ඇති කැමැත්ත ඊට ප‍්‍රධාන හේතුවක්. ඒ නිසා දරුවන් ජලාශයක්, දිය පහරක් දුටු වහාම එයට බැසීමට, ජලය සමග ක‍්‍රීඩා කිරීමට දරුවන් පෙළඹෙන්නේ නිරායාසයෙන්.

කුඩා දරුවන් සිටින දෙමව්පියන් හා ළමා ආරක්ෂණ සැපයුම්කරුවන් හෘද පුනර්ජීවනය අනිවාර්යයෙන් දැන සිටිය යුතු වෙනවා.

දෙමාපියන් වැඩිහිටියන් වශයෙන් විශේෂයෙන් ම දරුවන් පිහිනුම් තටාකයක්, ජල කඳක් ආශ‍්‍රිතව ගැවසෙන විට ඔවුන් අධීක්ෂණය කිරීමට වගබලාගන්න. මන්ද යත් ඔබගේ අවධානය ගිලිහෙන එක් නිමේෂයක දී ඔබේ සුරතල් දරුවා අනතුරකට මුහුණ පෑ හැකියි. ඒ නිසා එවැනි ස්ථානවල දී ඔබේ දරුවන් ඔබ අසලින්ම තබාගන්නට අමතක නොකරන්න.

දරුවන්ට පිහිනීම ඉගැන්වීම හා ඔවුන්ව ජලයට හුරු කරවීම මෙවැනි විපත් වළක්වාගැනීමට ඇති පහසු මගක්. ජලය නුපුරුදු දරුවා එකවර ජලයට වැටුණු විටක තැති ගැනීමට ලක්වීම සාමාන්‍ය ස්වාභාවයයි. නමුත් පිහිනීම හුරු පුරුදු දරුවන් එලෙස තැති ගැනීමකට ලක් වන්නේ නැහැ. ඒ නිසා පිහිනීම පිළිබඳව ඔවුන් තුළ ඇති අවබෝධය මෙවැනි අවස්ථාවක දී ඔවුන්ට නිසැකයෙන් ම පිහිට වේවී. ජලයට හුරුපුරුදු ඔවුන් දැඟලීමට හෝ කලබලයට පත් නොවීම ඔවුන්ව බේරාගන්නා ඔබේ කටයුත්ත තව තවත් පහසු කරන්නක් වේවී.

එමෙන් ම බීමත්ව දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉතාමත් ඉහළ අගයක් ගනු ලබනවා. මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ජලයට නොබැසීමට වගබලා ගැනීම බුද්ධිමත් තීරණයක්. එමෙන් ම අපස්මාරය වැනි ක්ෂණිකව ඇතිවන රෝගී තත්ත්වයන් පවතින්නේ නම් එවැනි රෝගීන් තනිව පිහිනුම් කටයුතු නොකළ යුතුයි. ඔබ එවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් තනිවම පිහිනීම, අනාරක්ෂිත ස්ථානවලින් ස්නානය කිරීම සිදු නොකිරීමට වගබලාගත යුතුයි. ඔබගේ ඥාති හිතමිතුරන් මෙවැනි රෝගී තත්ත්වයකින් පසුවන්නේ නම් ඔවුන්ව තනිව ජලාශ අසලට නොයැවීමට වගබලාගන්න. ඔවුන් පිහිනීම, ස්නානය කිරීම වැනි ක‍්‍රියාකාරකම්වල යෙදෙන විට ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වන්න.

පුද්ගලයෙකු වතුරට වැටුණු විටක දී ඔවුන් ජලයේ ගිලීම වළක්වාගැනීම පිණිස හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක වී රබර් ටියුබ් වැනි ආධාරයක් සැපයීමට කටයුතු කරන්න. එමගින් ඔවුන් බේරාගැනීමට වෙනුවෙන් ක‍්‍රියාත්මකවීමට ඔබට කාලය ඉතිරි වේවි.

එමෙන් ම දියෙහි ගිලූණු රෝගියෙකුට ප‍්‍රථමාධාර ලබාදීමේ දී ඔබ මෙම කරුණු පිළිබඳව දැනුවත් වී සිටීම ඉතාමත් වැදගත් වෙනවා.

දියේ ගිලූණු රෝගියෙකු අසිහියෙන් පසුවෙමින් හුස්ම නොගන්නා තත්ත්වයක පසුවන්නේ නම් උදරයේ සහ පෙනහලූවල ජලය ඉවත් කිරීමට උත්සහ නොකරන්න. වහාම ප‍්‍රතිජීවණය ආරම්භ කිරීමට වගබලාගන්න. මෙහි දී,
1. නිකට උසවා නළල පහත් කර හුස්ම ගන්නා මාර්ගය පවත්වාගනිමින් මුඛය තුළ යම් අවහිරතාවයක් ඇතිනම් ආරක්ෂිතව ඉවත් කරන්න.
2. ආරම්භයේ දී හුස්ම වාර පහක් එක තත්ත්පරයට එක බැගින් ලබාදෙන්න. පසුව පපු තෙරපුම් සමග හුස්ම වාර 2ක් සේ අඛණ්ඩව ලබාදෙන්න.
පපු පෙරපුම් 30ක් ද හුස්ම වාර 2ක් ද ලබා දී සුදුසු වාහනයකින් හෝ ගිලන් රථයකින් ළඟ ම ඇති රෝහලට ඇතුළත් කරන්න.

මෙලෙස හුස්ම ලබාදීමේ දී විනාඩි දෙකකට පසු හුස්ම ඇතිද? ගෙලෙහි නාඩි වැටෙන්නේ ද යන්න පරීක්ෂා කර බැලීමට මතක තබාගන්න. එලෙස නැත්නම් අඛණ්ඩව හුස්ම ලබාදෙන්න. මෙහි දී රෝගියා උණුස්මව තබාගැනීමට වගබලාගන්න.
දියෙහි ගිලූණු රෝගියෙකු හුස්ම ගනිමින් සිහිය නොමැති තත්ත්වයක පසුවන්නේ නම් පැත්තකට හරවා රෝහල්ගත කිරීමට වගබලාගන්න.
මෙහි දී රෝගියාට ලබාදිය යුතු ප‍්‍රථමාධාර මෙසේයි.
1. හුස්ම ගන්නා මාර්ගය අවහිර නැති බව සහතික කර හිස ගෙල කෙළින් තබාගන්න.
2. තම පැත්තේ ඇති රෝගියාගේ අත ඉහළින් පැත්තකින් තබන්න. අනිත් පැත්තේ අත පපුව හරහා ගෙන විරුද්ධ පස තබන්න.
3. තමාට විරුද්ධව ඇති පාදය අංශක 90ක් නවන්න.
4. රෝගියාගේ අත හා පාදය උපයෝගී කරගෙන තමාගේ පැත්තට හරවන්න. හිස, ගෙල, ස්ථාවරද බලන්න. රෝගියා උණුසුම්ව තැබීමට පොරවන්න.
5. හැකි ඉක්මනින් රෝහල්ගත කරන්න.
දියෙහි / ගිලූණු රෝගියෙකුට නිසි අයුරින් ප‍්‍රථමාධාර ලබාදීම ඔහුගේ ඇයගේ ජීවිතය රැුකගැනීමට ඉවහල් වන බව මතක තබාගන්න.

සටහන – නදීරා අමරසිංහ
පුෂ්පා රම්‍යානි ද සොයිසා
(ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී – හදිසි අනතුරු අංශය, ශ්‍රී ලංකා ජාතික රෝහල)