Beauty

ආකර්ෂණීය පෞරුෂයකට මේ කරුණු පිළිපදින්න

පුද්ගලයෙකුගේ පෞරුෂත්වය ගොඩනැගෙනුයේ ඔහු හෝ ඇය සතු ආත්මවිශ්වාසය තුළිනි. රැකියාවක නිරතව සිටින කාන්තා ඔබට වෘත්තීය භූමිකාව මෙන් ම සමාජයීය භූමිකාව තුළ ද ආත්මවිශ්වාසයකින් හා මනා පෞරුෂයකින් යුතුව කටයුතු කළ හැකි නම් නිසැකව ම ඒ හරහා ඔබට යහපත් ප්‍රතිරූපයක් ගොඩනගාගැනීමටත්, තම කටයුතුවල සාර්ථකව නිරතවීමටත් අවස්ථාව සැලසෙනු ඇත. පුද්ගලයෙකුගේ භාහිර රූපය යනු එම පුද්ගලයාගේ ආත්මවිශ්වාසය ගොඩනගාගැනීමෙහිලා වැදගත් ම වන අංගයකි. බාහිර රූපය ගොඩනගාගැනීම සඳහා රූපලාවණ්‍යය ඉවහල් කර ගත හැකිය. එබැවින් මෙවර කලාපය ඔස්සේ අප සාකච්ඡා කරනුයේ රැකියාවක නිරත වී සිටින කාර්යබහුල ඔබේ පෞරුෂ්‍යත්වය වර්ධනය කරගැනීම සඳහා උපයෝගී කරගත හැකි රූපලාවණ්‍ය කාරණා කිහිපයක් පිළිබඳවයි.

ලස්සනට ඉන්න නම් වැදගත් ම දේ පිරිසිදුකමයි.

පුද්ගලයෙකුගේ ලස්සන තීරණය කෙරෙන ප්‍රධානත ම සාධකය වන්නේ පිරිසිදුකමයි. එබැවින් මුහුණ ශරීරය සහ හිසකෙස් ආදීය හොඳින් සෝදා පිරිසිදුව තබාගැනීම වැදගත් වේ. එහි දී තමන්ගේ සම සහ හිසකෙස් පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව ඊට ගැළපෙන පිරිසිදුකාරකයක් තෝරාගැනීමට ද කටයුතු කළ යුතුයි.

උදෑසන දී මෙන් ම රාත්‍රීයේ නින්දට යාමට පෙර ද පිරිසිදුකාරකයක් මගින් මුහුණ පිරිසිදු කිරීමට කටයුතු කරන්නේ නම් එය යහපත් ය. හිසකෙස් පිරිසිදු කිරිමේ දී ෂැම්පු පමණක් භාවිත නොකර කන්ඩිෂනර් එකක් ද භාවිත කිරීම වැදගත්වන අතර ෂැම්පූ එක හිස්කබලටත්, කන්ඩිශනර් එක හිසකෙස් සඳහාත් ආදී වශයෙන් ආලේප කළ යුතුයි. ඒ හරහා හිසකෙස් ගැටගැසීම සහ අනවශ්‍ය ලෙස හිසකෙස් පිම්බීම වැනි කෙස් කළඹ ආශ්‍රිත ගැටලු අවම කරගනිමින් හිසකෙස් පහසුවෙන් හසුරවාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. පිරිසිදුකම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ශරීරය පිරිසිදුව තබාගැනීම ද ඉතා වැදගත් කරුණකි. ඒ සඳහා ද පිරිසිදුකාරකයක් භාවිත කළ හැකි අතර පිරිසිදුකාරකයක් තෝරාගැනීමේ දී එහි සුවඳ පිළිබඳව ද සැලකිලිමත්වීම වැදගත් ය. ශරීරය පිරිසිදු කිරීමේ දී වැටකොළු පොත්තක් වැනි යමක් භාවිත කර සම පිරිමදිමින් මැරුණු සෛල ඉවත්කර ගත හැකි අතර ඒ හරහා සම මත කුණු දුහුවිලි රැඳීම අවම කරගනිමින් පිරිසිදු පැහැදිලි සමක් ලබාගත හැකිය.

දවස පුරා ම පිරිසිදුකම පවත්වාගන්නේ කෙසේද?

නිවස තුළ දී මේ ආකාරයෙන් පිරිසිදු වූ පසු, “දවස පුරා ම පිරිසිදුකම අප තුළ පවත්වාගන්නේ කෙසේද?” යන්න පිළිබඳව ද අප විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එහි දී දහඩිය දුර්ගන්දය පාලනය කර ගැනීම ඉතා වැදගත් කරුණකි. දහඩිය දුර්ගන්දය පාලනය කිරීම සඳහා සුදුසු ම පියවරක් ලෙස Deodorant එකක් භාවිත කිරීම හඳුන්වාදිය හැකි අතර ඒ හරහා දහඩිය දැමීම යම් මට්ටමක් දක්වා පාලනය කර ගත හැකිය. ඊට අමතරව සුවඳ විලවුන් වර්ගයක් භාවිත කිරීම ද සුදුසු ය. මෙහි දී කොලෝන් වර්ගයක් භාවිත කිරීම වෙනුවට අධි සාන්ද්‍රනයෙන් යුත් සුවඳ විලවුන් වර්ගයක් (Perfume) තෝරාගැනීම වඩාත් උචිත වන්නේ, කොලෝන් එකක ඇති සාන්ද්‍රනය ඉතා ඉක්මනින් වාශ්ප වන බැවින් වැඩිහිටි පුද්ගලයෙකුගේ දහඩිය දුර්ගන්දය පාලනය කිරීමට එහි සාන්ද්‍රණය ප්‍රමාණවත් නොවන බැවිනි. තව ද දහඩිය දුර්ගන්දය අවම කරගැනීම සඳහා අනවශ්‍ය රෝම ඉවත්කිරීම ද වැදගත් පියවරක් වන අතර වර්තමානය වනවිට කාන්තා, පිරිමි යන දෙපාර්ශ්වය ම මෙම පියවර අනුගමනය කිරීමට නැඹුරුවී සිටියි. විශේෂයෙන් ම අත් යට ප්‍රදේශයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම දහදිය දුගඳ පාලනය කිරීම සඳහා වැදගත්වනු ඇත.

ඇඳුම්, පාවහන් සහ බෑගයක් තෝරාගැනීමේ දී…

ඇඳුම් තෝරාගැනීමේ දී තමන්ගේ කටයුතු සිදුකරගැනීමට අපහසු නොවන පරිදි, තම පරිසරයට ගැළපෙන ආකාරයේ ඇඳුමක් ඔබ කැමති විලාසිතාවකින් තෝරාගත හැකිය. එමෙන් ම ඔබගේ බාහිර පෙනුම තවදුරටත් ඔපමට්ටම් කරගැනීම සඳහා ඇඳුමට ගැළපෙන පරිදි පාවහන් යුගලක් තෝරාගැනීමට ද කටයුතු කළ හැකි අතර ඔබගේ උසට ගැළපෙන සහ අපහසුතාවක් ඇති නොවන අන්දමේ පාවහන් යුගලක් තෝරාගැනීම පිළිබඳව එහි දී සැලකිලිමත් විය යුතුය. සාමාන්‍යයෙන් වෘත්තීය මට්ටමේ කටයුතු සඳහා සෙරෙප්පු (Slippers) සහ Sandals වැනි පාවහන් භාවිත නොවන අතර ඒවා සාමාන්‍ය ගෘහාශ්‍රිතව භාවිත කරනු ලබන පාවහන් සේ සැලකෙන බැවින් ඔබ පාවහන් තෝරාගැනීමේ දී ඒ පිළිබඳව ද වඩාත් කල්පනාකාරී විය යුතුය.

බෑගයක් තෝරාගැනීමේ දී ද තමන්ගේ කටයුතුවලට ඔබින සහ තම ඇඳුම් පැළඳුම් වලට ගැළපෙන බෑගයක් තෝරාගැනීම වැදගත් ය. අලංකාරවත් පෙනුමක් ඇති බෑගයන් තෝරාගැනීම ඔබේ බාහිර පෙනුමත් පෞරුෂත්වයත් තවදුරටත් වර්ධනය කර ගැනීමට උපකාරීවනු ඇත.

කෙස් කළඹ ඔබේ පෞරුෂයත්වය කෙරෙහි බලපානු ලබන වැදගත් ම සාධකයකි.

තමන්ගේ හිකෙස් සහ මුහුණ හසුරුවාගන්නා ආකාරය ද පුද්ගල පෞරුෂත්වය කෙරෙහි බලපානු ලබන වැදගත් සාධකයකි. එහි දී හිසකෙස් පිළිබඳ අවධානය යොමුකිරීමේ දී කෙස් කළඹ තමාට ගැළපෙන විලාසිතාවකට අනුව කපා (Hair Cut) සකස් කරගත හැකි අතර ඒ හරහා එදිනෙදා කටයුතුවල දී කෙස් කළඹ බාධාවක් නොවන අන්දමෙන් අපහසුතාවකින් තොරව හසුරුවාගැනීමට ද හැකියාව ලැබෙනු ඇත. සැමවිට ම හිසකෙස් සැකසීමේ දී ඉදිරිපස පෙනුම පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු අතර ඔබට ගැළපෙන විලාසිතාවකට අනුකූලව හිසකෙස් සකස් කරගත හැකිය. මෙහි දී රූපලාවාණ්‍යාගාරයකට ගොස් අවම වශයෙන් මාස 1 1/2 වරක් හෝ හානිවී ඇති හිසකෙස් සඳහා අවශ්‍ය ප්‍රතිකර්මයන් සිදුකරගැනීමටත් කෙස් අග පැලී ඇති කොටස් ඉවත්කර ගැනීමටත් කටයුතු කළ යුතු අතර හානි වූ හිසකෙස් ඔබේ පෞරුෂත්වයට මෙන් ම හිසකෙස් වර්ධනයට බාධාවක් වනු ඇත. ඊට අමතරව වර්තමානය වන විට කෘත්‍රිමව හිසකෙස් සකස් කරගත හැකි විවිධ ක්‍රමවේද රාශියක් හඳුන්වා දී ඇති අතර ඉන් ඔබට ගැළපෙන විලාසිතාවක් ගැළපෙන අවස්ථාවන් වෙනුවෙන් යොදාගත හැකිය. සුන්දර කෙස් කළඹ නිසැකව ම ඔබේ පෞරුෂත්වය වර්ධනය කිරීමෙහිලා ඉවහල්වනු ඇත.

ආකර්ෂණීය පෙනුම යහපත් පෞරුෂයක් ගොඩනැගීමෙහිලා ඉවහල්වනු ඇත.

ඉහත සඳහන් කළ පරිදි ගැළපෙන පිරිසිදුකාරකයක් මගින් මුහුණ සහ සම පිරිසිදුව පවත්වාගැනීම මෙහිදී ඉතා ම වැදගත් කරුණකි. එම මූලික පිරිසිදු කිරීම්වලට අමතරව මුහුණට තවදුරටත් ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීම සඳහා එදිනෙදා කටයුතුවල දී අපට ඉතා සරල Makeup එකක් ද භාවිත කළ හැකිය. ඒ සඳහා අවශ්‍යවන්නේ ඉතාමත් අවම අමුද්‍රව්‍ය කිහිපයකි. එනම් මුහුණට ආලේප කළ හැකි පවුඩර් එකක්, ඇස් වලට ආලේප කළ හැකි Eye Liner එකක්, ඇහි පිහාටුවලට ආලේප කළ හැකි Maskara එකක්, සහ තොල් ආලේපනයක් වැනි අවම ද්‍රව්‍ය කිහිපයක් පමණි. මෙම ද්‍රව්‍ය කිහිපය යමෙකුට ඇත්නම් ඒවා භාවිත කර ඉතා චාම් අලංකාරවත් පෙනුමක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. පුද්ගලයෙකුගේ පෞරුෂත්වය මෙන් ම ආකර්ෂණය ද අප පළමුව දකින්නේ මුහුණ තුළිනි. එබැවින් එම ආකර්ෂණීය බව ළඟා කරගත හැකි නම් එය තම දෛනික ජීවිතයේ කටයුතු සිදුකරගැනීම සඳහා ද බොහෝ සේ ඉවහල් වනුයේ ආකර්ෂණීය පෞරුෂය සහ පෙනුම සඳහා සමාජයීය අවධානය හා මනාපය නිතැතින් ම හිමිවන බැවිනි.

හෂිනි ගුණසේකර
(අධ්‍යක්ෂිකා නැචුරල් සැලුන්)

සටහන – පියුමිලා අරවින්දි