Beauty

Salon යන්න ඕනෙ ඇයි?

ස්වාභාවිකව ලද රූසපුව තවදුරටත් සුන්දරවත් කර ගැනීමට රූපලාවණ්‍යය ඔස්සේ ලැබෙන මනා වූ දායකත්වය නිසා ම අපේ යුවතියන් රූපලාවණ්‍ය පිළිබඳව දක්වන්නේ දැඩි උනන්දුවකි. මෙහිදීි බොහෝදෙනෙකුට ඇතිවන ගැටලුවක් වන්නේ රූපලාවණ්‍ය කටයුතු සිදුකරගැනීම සඳහා රූපලාවණ්‍යාගාරයක් වෙත යා යුතුමද, නැතහොත් නිවසේ සිට ම තමාට අවශ්‍ය රූපලාවණ්‍ය සත්කාර කටයුතු සිදුකරගත නොහැකි ද යන්නයි. ඇත්තෙන් ම ඔබට නිවසේ සිට ම වුව ද යම් යම් සරල රූපලාවණ්‍ය කටයතු සිදුකරගත හැකිය. එහෙත් රූපලාවණ්‍ය කලාව තුළ දී එම සත්කාරයන් ඔස්සේ බලාපොරොත්තුවන්නේ හුදෙක් ආලේපන ආලේප කිරීමක්, නැතහොත් රූපය ඔපමට්ටම් කිරීම ම නොව රූපලාවණ්‍ය සත්කාරයන් හරහා මානසික සැහැල්ලු බව ඇතිකිරීම සහ සේවාදායකයා වෙත යම් මානසික සුවයක් අත්කරදීම ද රූපලාවණ්‍ය කලාව තුළ දී අපේක්ෂා කෙරෙයි. එබැවින් රූපලාවණ්‍යාගාරයක් වෙත ගොස් රූපලාවණ්‍ය පිළිබඳව විධිමත් හැදෑරීමක් සහිතව එම විෂය ප්‍රගුණ කළ ශිල්පියෙකුගේ උපදෙස් සහ දායකත්වය ලබාගනිමින් නිරවද්‍ය තාක්ෂණික ක්‍රමවේද මගින් රුපලාවණ්‍ය සත්කාර සිදුකරගැනීම ඉතා වැදගත් වේ. ඔබ රූපලාවණ්‍යාගාරයකට ගොස් ඔබගේ රූපලාවණ්‍ය කටයුතු සහ සත්කාරයන් සිදුකරගන්නේ නම් එය වඩාත් ම යෝග්‍ය වන්නේ එබැවිනි. අනෙක් කරුණ වන්නේ වර්තමානයේ පවතින ඉතා කාර්යබහුල ජීවන රටාව නිසා රූපලාවණ්‍ය සත්කාරයන් සඳහා කාලය වෙන්කරගැනීම ද අසීරු ය. එබැවින් රූපලාවණ්‍යගාරයකට ගොස් තමන්ගේ රූපලාවණ්‍ය කටයුතු සහ සත්කාරයන් සිදුකරගැනීම හරහා නිසි පරිදි කාලය කළමනාකරණය කරගනිමින් එම සත්කාරයන් සිදුකරගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.

රූපලාවණ්‍යාගාරයකින් අපට ලබාගත හැකි සේවාවන් මොනවාද?

කේශාලංකරණය සඳහා

කෙස් කළඹ යනු පුද්ගල පෞරුෂත්වයක් කෙරෙහි මෙන්ම බාහිර සුන්දරත්වය වර්ධනය කෙරෙහි හේතුවන ප්‍රබල සාධකයකි. ඔබ ඔබගේ කෙස් කළඹ පිළිබඳ අවධානය දැක්වීම ඉතා වැදගත් සාධකයක් වන්නේ එබැවිනි. සාමාන්‍යයෙන් අවම වශයෙන් මාස 1 1/2 වරක් හෝ කෙස් අග ඉවත් කළ යුතු අතර ඒ හරහා කෙස් කළඹෙහි නිරෝගීබව මැනවින් පවත්වාගත හැකිය.

එමෙන්ම ඔබට ගැළපෙන විලාසිතාවකට කෙස් කළඹ සකස් කර ගැනීම හරහා ඔබේ වරළසට හොඳ පෙනුමක් එක්කර ගත හැකිය. එහිදී රූපලාවණ්‍යාගාරයක ශිල්පීන්ගේ දායකත්වය හරහා ඔබේ අවශ්‍යතාවට සරිලන පරිදි එනම් නිදසුන් ලෙස, ඔබට ඇත්තේ සිහින් වරළසක් නම් එයට පිරිපුන් බවක් ගෙනදෙන ආකාරයට, ඔබ කෙස් කළඹ නිතර ගැටගසන අයෙකු නම් ඊට ගැළපෙන ආකාරයට, එසේත් නොමැති නම් ඔබ කෙස් කළඹට නිදහස් විලාසිතාවක් භාවිත කරන්නේ නම් ඊට සරිලන ආකාරයට ආදී වශයෙන් ඔබට සුදුසු විලාසිතාවකින් ඔබේ වරළස සකසාගැනීමට අවශ්‍ය දායකත්වය රූපලාවණ්‍යාගාරයක් තුළින් එබට ලබාගත හැකිය. එමෙන්ම අප කෙස් කළඹ සඳහා සිදුකරනු ලබන සත්කාරයන් ද කෙස් කළඹෙහි නිරෝගී සහ ආකර්ෂණීිය පෙනුම පවත්වාගැනීම කෙරෙහි හේතු වන ප්‍රබල සාධකයකි. අප සාමාන්‍යයෙන් නිවෙස් තුළ දී සිදුකරනු ලබන තෙල් සත්කාරයන් වුව ද නිසි ක්‍රමානුකුලව ගෘහාශ්‍රිතව සිදුකිරීම තරමක් අසීරු වේ. විශේෂයෙන් ම සම්බාහන සත්කාරයක දී නිවැරදි ක්‍රමශිල්ප උපයෝගී කරගනිමින් මාංශපේශී උත්තේජනය සිදුකෙරෙන අතර එමගින් යම් සැහැල්ලුවක් සහ ලේ ගමනාගමනය නිසි අයුරින් ක්‍රියාත්මකවීම හරහා නිරෝගීබවක් ද අත්කර දෙනු ඇත. කෙස් කළඹට සිදුකරනු ලබන මෙවැනි සත්කාරයන් නිවැරදිව සිදුකිරීම සඳහා ශිල්පීය දායකත්වය ලබාගැනීමට ඔබ රූපලාවණ්‍යාගාරයකට යොමුවන්නේ නම් එය වඩාත් යෝග්‍යවන්නේ එම නිසාවෙනි.

තව ද ඔබේ වරළසේ ඇති සිනිදු බව රැකගැනීමට, කෙස් කළඹෙහි දීප්තිමත් බව රැකගැනීමට මෙන්ම ඔබට රුචි ආකාරයෙන් ඔබේ කෙස් කළඹෙහි පෙනුම පවත්වාගැනීම සඳහා වූවද උචිත නවීන ක්‍රමශිල්ප අද වන විට රූපලාවණ්‍යය කලාව සතු වේ. නිදසුන් ලෙස භාහිර ආලේපනයන් ඔස්සේ සිදුකරනු ලබන කෙරටීන් සත්කාරය සහ කන්ඩිශනර් සත්කාරය ආදී වශයෙන් වූ විවිධ සත්කාරයන් රූපලාවණ්‍යාගාර ආශ්‍රිතව අදවන විට සිදුකරයි. මෙම සියලු ම සත්කාරයන් නිරවද්‍ය ක්‍රමශිල්පයන්ට අනුව සිදුකරගැනීමෙන් ඔබේ කෙස් කළඹට යම්කිසි හානියක්වී ඇත්නම් එම හානිය අවම කර ගැනීමටත්, කෙස් කළමට දීප්තිමත් මනා ආකර්ෂණීිය පෙනුමක් ලබාගැනීමටත් නිසැකව හැකිවනු ඇත.

හිසකෙස් සුදුවීම බොහෝදෙනෙකුට කෙස් කළඹ පිළිබඳව මතුවන ගැටලුවකි. ඒ සඳහා ඇති එකම විසඳුම වන්නේ හිසකෙස් වර්ණ ගැන්වීමයි. සාමාන්‍යයෙන් හිසකෙස් වර්ණගැන්වීම නිවසේ සිට ම සිදුකර ගැනීමට බොහෝදෙනා නැඹුරුවී සිටීයත් එහි යම්කිසි භයානකබවක් ඇති බැවින් ඔබ හිසකෙස් වර්ණ ගන්වාගැනීම සඳහා රූපලාවණ්‍යාගාරයකට යොමුවන්නේ නම් එය වඩාත් සුදුසුවන්නේ ය. හිසකෙස් වර්ණ ගැන්වීමේ දී සිහිතබාගත යුතු වැදගත්ම සාධකයන් වන්නේ වර්ණ ගැන්වීම සඳහා යොදාගන්නා නිෂ්පාදන සඳහා සේවාදායකයාගේ සම කෙතරම්දුරට සංවේදී ද යන්න පිළිබඳව පරීක්ෂාකර බැලීමයි. ඇතැම් විට වසර ගණනක් පුරා භාවිත කළ නිෂ්පාදනයෙහි වරදක් නැතැයි පූර්ව තක්සේරුව සිටිය ද කලින් කලට සම එයට ප්‍රතික්‍රියා දක්වන ආකාරයේ යම් වෙනසක් ඇතිවියහැකි බැවින් මෙලෙස පරීක්ෂා කිරීම ඉතා වැදගත්වේ. එමෙන්ම වර්ණ ආලේපනයේදිත් රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ දායකත්වයෙන් ක්‍රමවත්ව එම කටයුතු සිදුකරගැනීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේ. ඊට අමතරව ඔබ විලාසිතාවක් ලෙස කෙස් කළඹ වර්ණගන්වා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් එය ද රූපලාවණ්‍යාගාරයකට ගොස් නිවැරදි මගපෙන්වීමක් හරහා ගැළපෙන වර්ණ යොදාගනිමින් සිදුකර ගැනීම හරහා ඔබේ පෞරුෂත්වයට හානියක් නොවන ලෙස ගැළපෙන වර්ණයන් තෝරාගනිමින් සිදුකරගැනීමට අවස්ථාව ලබාගත හැකිය.

සම ආරක්ෂාකර ගැනීම සඳහා

සම ආරක්ෂා කිරීම සඳහා ද නිවසේ දී යම් යම් ආලේපනයන් ආලේප කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. සම සඳහා ද නිවැරදි සම්භාහන ක්‍රියාවලියක් සිදුකිරීම ඉතා වැදගත් වන්නේ ඒ හරහා සමෙ ඇති අනවශ්‍ය දෑ ඉවත්කරමින් නිරෝගී සමක් ලබාගැනීම කෙරෙහි වැදගත් මෙහෙයක් ඉටුකරන බැවිනි. පේෂල් සත්කාරයක දී එහි ආලේපන හරහා ලබාදෙන සත්කාරයටත් වඩා එහිදී සිදුකරනු ලබන සම්බාහන ක්‍රියාවලිය සමෙහි නිරෝගිබව සඳහා වඩාත් යෝග්‍ය වන බැවින් එම පේෂල් සත්කාරයන් සඳහා යොමුවීම වුව ද මුහුනේ පැහැපත් සමක් පවත්වාගැනීම කෙහෙි වැදගත්වනු ඇත. එමෙන්ම සම වියපත්වීම ද මේ හරහා යම් මට්ටමකින් පාලනය වන බැවින් අවම වශයේන් මාස 1 1/2ට වරක් හෝ පේෂල් සත්කාරයකට යොමුවීම වඩාත් සුදුසු ය. තව ද මුහුණේ සම පිළිබඳව මෙන්ම මුළු ශරීරයෙහි ම සමෙහි ආරක්ෂාව පිළිබඳව අවධානය දැක්වීම අවශ්‍යය ය. එහිදී Body Scrub එකක් සිදුකරගැනීම ශරීරයේ සම පිරිසිදුව තබාගැනීමට උපකාරීවනු ඇත.

නිය අලංකරණය ද පුද්ගල පෞරුෂත්වය කෙරෙහි බලපෑමක් සිදුකරනු ලබන සාධකයක් වන අතර රූපලාවණ්‍යාගාරයක් වෙත ගොස් ඔබට ගැළපෙන නිය අලංකරණ ක්‍රමවේදයකට ඔබේ නිය සකසාගැනීම හරහා ආකර්ෂණීය පිරිසිදු නිය පෙළක් ලබාගත හැකිය.
මෙම කරුණුවලට අමතරව සමෙහි අනවශ්‍ය රෝම ඉවත්කිරීම සඳහා ද රූපලාවණ්‍යාගාරයක සහාය ලබාගත හැකිය. Wax කිරීම වර්තමානය වන විට කාන්තා පුරුෂ දෙපාර්ශ්වය අතර ම ඉතා ප්‍රචලිත කරුණක් වන අතර Shave කිරීමක දී සිදුවිය හැකි සීරීම් වැනි තත්ත්වයන්ට සාපේක්ෂව බැලීමේ දී Wax කිරීම අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙහිලා වඩාත් යහපත් ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය. Wax කිරීමේ දී අත් යට අනවශ්‍ය රෝම මෙන්ම කාන්තාවකගේ නම් අත්, පාවල සමෙහි පැහැදිලි පෙනුමක් ළඟාකර ගැනීම සඳහා අත්, පා ආදියෙහි ද අනවශ්‍ය රෝම ඉවත්කර ගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් රූපලාවණ්‍යාගාරයකට ගොස් සති තුනකට වරක් Wax කර ගැනීම සිදුකර ගැනීම ප්‍රමාණවත් වන අතර කාන්තාවගේ අනන්‍යතාවය ඔප් නංවා ගැනීම කෙරෙහි මෙය ඉවහල් වනු ඇත.

හෂිනි ගුණසේකර
(අධ්‍යක්ෂිකා නැචුරල් සැලුන්)

සටහන – පියුමිලා අරවින්දි