Beauty

ඔබ ඔබම වෙන්න පුද්ගල සන්නාම ගොඩනැංවීම (Personal Branding)

“පුද්ගල ප්‍රතිරූපයක් ගොඩනගාගැනීමේ වැදගත්කම කුමක්ද?” යනුවෙන් ඔබට යම් ගැටලුවක් ඇති වූවා නම් අපට ඒ පිළිබඳ ඔබට ලබාදිය හැකි සරලම පිළිතුර වන්නේ “එය සමාජය තුළ ඔබ පිළිබඳ ගොඩනැගෙන අනන්‍යතාව නැතහොත් ඔබගේ මුද්‍රාව බවයි. එය ඔබගේ වෘත්තීය ජීවිතයේ අභිවෘද්ධිය උදෙසා මෙන්ම එදිනෙදා ජීවන කටයුතු තුළ දී ඔබේ අනන්‍යතාව තහවුරු කිරීමෙහිලා නිසැකව ම වැදගත් වනු ඇත. එනම් සරලව ම පුද්ගල ප්‍රතිරූපය හෙවත් පුද්ගල සන්නාමය යන්නෙන් “ඔබ කවුද?” යන්න සමාජය තුළ ඉස්මතු කරවනු ඇත.

පුද්ගල ප්‍රතිරූපයක් නැතහොත් සන්නාමයක් ගොඩනගාගැනීමට පුද්ගලයෙකුගේ බාහිර රූපය ප්‍රබල හේතු සාධකයක් වන අතර මෙවර කලාපයෙන් අප ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ පිළිබඳවයි.

“සාමාන්‍යයෙන් ඔබ යම් පුද්ගලයෙකු පිළිබඳව සිහිපත් කරන අවස්ථාවක දී එක්වරම ඔබගේ මතකයට නැගෙන්නේ කුමක්දැයි” ඔබෙන් විමසුවහොත්, “පුද්ගල රූපය” බවට අනිවාර්යෙන් ම ඔබ පිළිතුරු ලබාදෙනු ඇත. ඇත්තෙන්ම අප යමෙක් පිළිබඳ සිහිපත් කළ විට අපට පළමුව ම සිහිපත් වනුයේ එම පුද්ගලයාගේ බාහිර ස්වරූපය හෙවත් බාහිර රූපයයි. රූපය එතරම් ම ප්‍රබල ය. එම නිසාම අප අපගේ බාහිර ස්වරූපය අපගේ වෘත්තීය ජීවිතයට හෝ අපගේ එදිනෙදා කටයුතුවලට ගැළපෙන ආකාරයකින් සකස් කර ගැනීමට මෙන්ම එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය.

මෙහිදී ගැළපෙන විලාසිතාවක් දිගු කාලීනව එක ලෙස ම පවත්වාගෙන යාම ද ඉතා වැදගත් සාධකයක් වන්නේ එවිට පහසුවෙන් ම ඔබ පිළිබඳ අනන්‍යතාවක් ගොඩනැගීමට හැකි වන බැවිනි. එම නිසා රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ හෝ වෙනත් විධිමත් මගපෙන්වීමක් යටතේ ඔබට ගැළපෙන ආකාරයෙන් බාහිර පෙනුම සකස් කර ගත හැකි අතර එලෙස සකස් කරගන්නා පෙනුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ද කටයුතු කළ යුතුය. නිදසුනක් ලෙස ඔබ හිසකෙස් කපා සකස් කරගෙන ඇත්නම් මාස 6කට වරක් හෝ රූපලාවණ්‍යගාරය වෙත ගොස් හිසකෙස් කපා සකසාගත හැකිය. ඇතැම් විට වසරකට වරක් හෝ හිසකෙස් සකස්කර ගැනීමට උනන්දුවක් නොදක්වන පුද්ගලයන් ද අප දැක ඇත. එය කිසිසේත් ම ඔබේ ප්‍රතිරූපය කෙරෙහි ධනාත්මක ප්‍රතිඵලයක් අත්කර නොදෙන අතර ඉන් ඔබේ සන්නාමය ගොඩනැගෙන්නේ ද නැත.

ඔබ අඳින ඇඳුම් පැලඳුම්, සමේ පැහැපත් බව මෙන්ම ඔබ හිසකෙස් සකස්කරන, හිසකෙස් පීරන ආකාරය, ඔබ භාවිත කරන සුවඳ විලවුන් වර්ගය පවා ඔබේ ප්‍රතිරූපය ගොඩනැගීම කෙරෙහි පාදක වනු ඇත. එනම් ඔබ උදෑසන නිවසින් පිටවන විට ඔබට අනන්‍ය වූ ස්වරූපයට අනුව සූදානම්ව නිවසින් පිටතට යා යුතුය, ඔබ මුහුණට යම්කිසි ප්නැ මච එකක් යොදන්නේ නම් එය සැමවිට ම එක හා සමාන විය යුතුය. එසේ ඔබගේ බාහිර ස්වරූපය නිසි ලෙස සමානව පවත්වාගැනීමට අපොහොසත් වන්නේ නම් එහිදී ඔබේ ප්‍රතිරුපය බිඳවැටෙනු ඇත. මන්දයත්, එහිදී සමාජය තුළ ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහෙන අතර ඔබ නිරන්තරයෙන් වෙනස්වන පුද්ගලයෙකු ලෙස සමාජය විසින් ඔබ පිළිබඳ අදහසක් නිර්මානය කර ගනු ඇත. එමනිසා අපට ගැළපෙන ආකාරයෙන් අපගේ බාහිර ස්වරූපය සකස්කර ගැනීමට මෙන්ම එය ඒකාකාරීව ඉදිරියට පවත්වාගෙන යාමට ද අප කටයුතු කිරීම හරහා ඔබව දුර සිට වුව හඳුනාගැනීමට හැකි තත්ත්වයක් උදාවනු ඇත. එවිට ඔබ සන්නාමයක් ලෙස ගොඩනැගී ඇති බව සනාථ වනු ඇත.

ඇතැම් විට යම් යම් වෘත්තීන්ට අනුව සමාජය තුළ ම ගොඩනැගුණු ප්‍රතිරූපයන් හඳුනාගැනීමට හැකිය. උදාහරණයක් ලෙස, වෛද්‍ය වෘත්තිකයෙකු පිළිබඳ, පාසල් විදුහල්පතිනියක් පිළිබඳ ආදි වශයෙන් විවිධ ප්‍රතිරූපයන් සමාජය තුළ ගොඩනැගී පවතී. එවැනි අවස්ථාවක දී ඔබගේ ප්‍රතිරූපය ද එලෙස සමාජය තුළ ගොඩනැගී ඇති ප්‍රතිරූපයන්ට අනුකූලව සකස් කරගන්නේ ද නැතහොත් වෙනත් අයුරකින් සකසාගන්නේද යන්න පිළිබඳ ඔබට තීරණය කළ හැකිය.

අප ගොඩනගාගන්නා සන්නාමය හරහා බොහෝ දේවල් සමාජය වෙත සන්නිවේදනය කළ හැකිය. එනම් අප සතු යම් දක්ෂතාවක් හෝ හැකියාවක් පිළිබඳ, අපගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ හෝ අපගේ ජීවන රටාව පිළිබඳ යම්කිසි දෙයක් ඒ ඔස්සේ සන්නිවේදනය වන අතර අප පිළිබඳ යම් හැගීමක් ජනනය කරනු ලැබේ. ඔබ පිළිබඳ හොඳ සන්නාමයක් ගොඩනැගුණු විට නිරායාසයෙන් ම ඔබට සමාජ ආකර්ෂණය, ගෞරවය හා පිළිගැනීම හිමිවන අතර යහපත් සමාජ සබඳතා ගොඩනගාගැනීමට, මෙන්ම නායකත්වය දැරීමට වුව ද අවස්ථාව නිතැතින් ම උදාවනු ඇත.

අප සාමාන්‍යයෙන් තරුණ අවධියේ දී යම් යම් විලාසිතාවන් කිරීමට පෙළඹෙයි. එහි කිසිදු ගැටලුවක් නොමැත. නමුත් එක්තරා වයසක දී එම විලාසිතාවන් අතරින් ඔබට වඩාත් ගැළපෙන විලාසිතාවක් ස්ථිර විය යුතුය. එලෙස ස්ථිර වූ විට ඔබව පහසුවෙන් හඳුනාගැනීමට හැකි වන අතර එලෙස ස්ථිර නොවූ විට ඔබ පිළිබඳ නිශ්චිත ප්‍රතිරූපයක් ගොඩනැංවීම ද අසීරුවනු ඇත. එබැවින් සැමවිට ම තමාට ගැළපෙන විලාසිතාවන් පිළිබඳ හොඳාින් සිතා බලා තෝරාගෙන එම විලාසිතාවන් පවත්වාගෙන යාම, මෙන්ම තම රූපය පිළිබඳ අවධානය යොමුකර නිසි ලෙස නඩත්තු කිරීම ඉතා වැදගත්වනු ඇත.

පසුගිය කාලයේ අපට මුහුණදීමට සිදු වූ කෝවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ බොහෝදෙනා මෙතෙක් කල් පවත්වාගෙන ආ එදිනෙදා ජීවන චර්යාවන් මෙන්ම බාහිර ස්වරූපයන් ද ගිලිහී විවිධ වෙනස්කම්වලට භාජනය වුණි. නිදසුන් ලෙස හිසකෙස් වර්ණ ගැන්වීම, හිසකෙස් සකස්කිරීම ආදිය සිදු කිරීමට නොහැකි වූ අතර බොහෝ පිරිමි පුද්ගලයින් හිසකෙස් කොටට කැපීම වැනී දෑ පවා එම කාලය තුළ සිදුකර තිබුණි. එම අවස්ථාවට අනුව තම පහසුව වෙනුවෙන් එසේ කටයුතු කළ ද, යළිත් ඔබ සමාජය වෙත පිවිසීමේ දී ඔබගේ පුද්ගල අනන්‍යතාවට හා සන්නාමයට හානියක් නොවන ආකාරයෙන් ඔබෙන් ගිලිහී ගිය බාහිර ස්වරූපය යළි ගොඩනගාගත යුතුය. නැතහොත් ඔබ මෙතෙක් කල් අඛණ්ඩව පවත්වාගෙන පැමිණි ඔබේ ප්‍රතිරූපයට ඉන් හානියක් සිදුවිය හැකිය. එම නිසා ඔබ රූපලාවණ්‍යගාරයක් වෙත පිවිස ඔබේ රූපය නැවත පෙර පවත්වාගෙන ආ ආකාරයට සකස්කර ගැනීමට යොමුවීම ඉතා වැදගත් වේ.
රූපය යනු හුදෙක් රූපලාවණ්‍ය පමණක් නොව සමාජ පිළිගැනීම, විශ්වාසය මෙන්ම අනන්‍යතාව වුව ගොඩනැගෙනුයේ රූපය පදනම් කරගනිමිනි. එබැවින් තම බාහිර පෙනුම නිසි පරිදි ඒකාකාරිව පවත්වාගනිමින් හොඳ පුද්ගල ප්‍රතිරූපයක් ගොඩනගාගැනීම හරහා පෞද්ගලික වාසි රැසක් හිමිවන අතර එවැනි පුද්ගලයෙකුට සමාජය තුළ යහපත් ඉදිරි ගමනක් ද පවතී.

එබැවින්, ඔබත් ඔබට ගැළපෙන ආකාරයෙන් ඔබේ ප්‍රතිරූපයත් සකස් කරගන්න. එය ඒකාකාරීව අඛණ්ඩව ඉදිරියට පවත්වාගනිමින් ඔබේ සන්නාමය සහ අනන්‍යතාවය ගොඩනගාගන්න. සමාජය තුළ ඔබ ඔබම වන්න.

හෂිනි ගුණසේකර
(අධ්‍යක්ෂිකා නැචුරඪල් සැලුන්)

සටහන – පියුමිලා අරවින්දි