Beauty

ඔබ, “ඔබ” වෙනුවෙන් ආයෝජනය කරන්න

අපි අපගේ අනාගතය වෙනුවෙන් ජීවිතයේ විවිධ ආයෝජනයන් කරන්නෙමු. බොහෝ විට “ආයෝජනය” කියූ සැනින් ඔබට මුල්‍යමය ආයෝජනයන් පිළිබඳ සිහිපත් වන්නට ඇත. එහෙත් අද අප ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එලෙස මුදල් ගෙවා හෝ ඔබේ ජීවිතයේ අභිවෘද්ධිය වෙනුවෙන් බාාහිර ලෝකයෙන් ළඟාකර ගත නොහැකි, ඔබ තුළ ම පුරුදු පුහුණු කර ගත යුතු ඉතා වැදගත් කරුණු කිහිපයක් නැතහොත් ඔබේ පෞරුෂත්වය, ආත්ම විශ්වාසය සහ ජීවන අභිවෘද්ධිය ගොඩනංවාගැනීම වෙනුවෙන් ඔබ විසින් සිදුකළ යුතු ම ආයෝජනයන් කිහිපයක් පිළිබඳවයි.

ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්න

මනා අධ්‍යාපනයක් ඔස්සේ ඔබට ආධ්‍යාත්මීය වශයෙන් මෙන් ම සමාජයීය වශයෙන් ද දියුණුවක් ළඟාකරගැනීමට හැකි වනු ඇත. මෙහිදී අධ්‍යාපනය යන්නෙන් අදහස් කරනුයේ පාසල් අධ්‍යාපනය පමණක් නොවේ. පාසල් අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ඔබට ගැළපෙන ක්ෂේත්‍රයන් ඔස්සේ විධිමත් උසස් අධ්‍යාපනයක් ලබාගැනීම ඔස්සේ ඔබව දැනුමෙන් සන්නද්ධ කෙරෙන අතර උගත් බුද්ධිමත් පුද්ගලයෙකු ලෙස සමාජය තුළ ඔබට ඉහළ පිළිගැනීමක් ද ඒ හරහා නිරායාසයෙන් ම ගොඩනැගෙනු ඇත. එබැවින් ඔබට සුදුසු කුමන හෝ විෂය ධාරාවක් යටතේ විධිමත් අධ්‍යාපනයක් ලැබීම ඔබ ඔබේ ජීවිතය වෙනුවෙන් සිදුකළ යුතු ම ආයෝජනයක් වන්නේය.

ඔබේ පෞරුෂත්වය වෙනුවෙන් ආයෝජනය කරන්න

ඔබගේ පෞරුෂත්වය ඔබ පිළිබඳ සමාජය තුළ ගොඩනැගෙන විශ්වාසය සඳහා ප්‍රබලත ම සාධකය වනු ඇත. ඇත්තෙන්ම එය අපගේ ජීවිත කාලය පුරා ම වැදගත් වන, ජීවිතය පුරා ම ප්‍රතිඵල අත්විඳිිය හැකි ආයෝජනයක් ලෙස තවදුරටත් විස්තර කළ හැකි වන්නේ ඔබ වෘත්තීය වශයෙන් හෝ ආර්ථික වශයෙන් හෝ කුමන හෝ ආකාරයකින් ජීවිතය තුළ බිඳවැටුණ ද අප විසින් ගොඩනංවනු ලැබූ පෞරුෂත්වය හා විශ්වාසය ඔබට යළිත් නැගී සිටිමට මෙන් ම සමාජය තුළ ශක්තිමත්ව සිටීමට මහෝපකාරී වන නිසාවෙනි.
පෞරුෂත්වය ගොඩනංවාගැනීම වෙනුවෙන් අපට රූපලාවණ්‍ය කලාව තුළින් එකතු කර ගත හැකි කරුණු කිහිපයකි.

අප යම් පුද්ගලයෙකු සමග කතා කරන විට නිතැතින් ම ඔවුන්ගේ අවධානය යොමු වන්නේ අපගේ මුහුණ පිළිබඳවයි. එබැවින් අපගේ මුහුණ සහ බාහිර ස්වරූපය යහපත් ආකාරයෙන් පවත්වාගැනීම අපගේ පෞරුෂත්වය වර්ධනය කෙරෙහි ඉතා වැදගත් වනු ඇත.
මෙහිදී අප ප්‍රථමයෙන් ම අවධානය දැක්විය යුත්තේ අපගේ සම පිරිසිදුව තබාගැනීම පිළිබඳවයි. මන්දයත් පිරිසිදුකම යනු ආකර්ෂණීය බවේ පළමු ලක්ෂණයයි. එබැවින් අවම වශයෙන් මසකට වරක් හෝ ක්ලීන් අප් එකක් (clean up) සිදුකිරීම ඔබේ මුහුණේ සම පිරිසිදුව සහ පැහැපත්ව පවත්වාගැනීම සඳහා කෙරෙන කදිම ආයෝජනයක් වනු ඇත. එමෙන්ම සුළු මුදලක් වැය කරමින් සිදුකරනු ලබන එවැනි සත්කාරයක් මගින් ඔබට දීර්ඝ කාලීන යහපත් ප්‍රතිඵලයක් අත්කර ගත හැකි අතර සම මනා ලෙස නිරෝගිමත්ව පවත්වාගෙන යාම මගින් ඔබ වියපත් වුව ද පැහැදිලි සුන්දර සමක් ඔබට හිමිකර ගත හැකිය. ක්ලීන් අප් එකක්ට අමතරව ඔබට ෆේෂල් සත්කාරයක් කර ගත හැකි නම් ඒ ඔස්සේ ද ඔබට ධනාත්මක ප්‍රතිඵලයක් අත් කර ගත හැකි අතර අප නිර්දේශ කරන්නේ අවම වශයෙන් මසකට වරක් ක්ලීන් අප් සත්කාරයක් හෝ සිදු කර ගැනීමට යොමුවීම අත්‍යවශ්‍ය බවයි.

ඔබේ පෞරුෂත්වය ගොඩනංවාගැනීමේ කාර්යයේ දී වැඩි අවධානයක් දැක්විය යුතු අනෙකුත් සාධකය වන්නේ ඔබගේ කෙස් කළඹයි. බොහෝ විට යම් විශේෂ අවස්ථාවක් සඳහා හෝ වසර කිහිපයකට වරක් පමණක් හිසකෙස් කප්පාදු කිරීමට සහ හැඩගසවාගැනීම ඇතැමුන් පුරුදුවී සිටියි. එහෙත් ඔබේ අවුල් වූ, අපිළිවෙළකට ඇති කෙස් කළඹ ඔබේ පෞරුෂය කෙරෙහි දරුණු ඍණාත්මක බලපෑමක් ඇති කරවන බව ඔබ දැන සිටියාද? ඔබට ඇත්තේ කෙටි කොණ්ඩයක් නම් අවම වශයෙන් එය මසකට වරක් හෝ කප්පාදු කර හැඩගස්වාගනිමින් තමන්ගේ විලාසිතාව රැකගත යුතුය. ඔබට ඇත්තේ දිගු කෙස් කළඹක් නම් මාස දෙකකට වරක් හෝ හිසකෙස් කප්පාදු කරමින් කෙස් කළඹේ රටාව රැකගැනීමට කටයුතු කළ යුතුයි. බොහෝදෙනෙක් හිසකෙස් පහසුවට හැසිරවීමේ අභිලාෂයෙන් කොණඩය ගැටගැසීම, ෆෝනි ටේල් දැමිම වැනි විලාසිතාවකට අනුගත විය හැකියි. එහෙත් එමගින් ඔබේ ප්‍රතිරූපයට අහිතකර තත්ත්වයක් උදා විය හැකිය. මන්දයත් යම්කිසි ඔබට අනන්‍ය වූ මෙන් ම ඔබ විසින් පවත්වාගෙන එනු ලැබූ විලාසිතාවට පරිභාහිර විලාසිතාවක් අනුගමනය කිරීම හරහා ඔබ වෙන්කර හදුනාගැනීමට අසීරු විය හැකියි. එබැවින් සෑම විට ම ඔබට ගැළපෙන් විලාසිතාවක් තෝරාගනිමින් එය දිගුකාලීනව ඉදිරියට පවත්වාගෙන යාමට උත්සාහ කිරීම ඉතා වැදගත් ය.

හිසකෙස් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී හිසකෙස් වර්ණ ගැන්වීම යනු වර්තමාන කේශාලංකරණ කලාව තුළ වඩාත් සාකච්ඡාවට බඳුන්වී ඇති මාතාකාවකි. එනම් බොහෝදෙනා සුදු කොණ්ඩය සඟවාගැනීමට මෙන් ම විලාසිතාවක් ලෙස ද අද වන විට හිසකෙස් වර්ණ ගැන්වීම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනු ලබයි. හිස්කෙස් වර්ණ ගැන්වීම තුළින් වයස, පුද්ගල ආකර්ෂණය හා සුන්දරත්වය මෙන් ම පුද්ගල සමාජ පසුබිම යන කරුණු ද නිර්වාචිකව සන්නිවේදනය වනු ඇත.

මීළගට අප ශරීරයේ සම පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් ශරීරය ද පිරිසිදුව තබාගැනීමට අමතරව ශරීරයේ අනවශ්‍ය රෝම නිසි ක්‍රමවේදයක් උපයෝගි කර ගනිමින් ඉවත් කිරීම ද ඉතාමත් වැදගත් වේ. විශේෂයෙන් ම කාන්තාවක් විවිධ විලාසිතාවන් අනුගමනය කරන බැවින් නිසි ලෙස අත් කකුල්වල ඇති අනවශ්‍ය රෝම ඉවත කළ පැහැදිලි සමක් ඇගේ සුන්දරත්වය වැඩි කිරීම කෙරෙහි උපකාරී වන තවත් වැදගත් සාධකයක් වනු ඇත.

එමෙන්ම බොහෝදෙනෙකු වැඩි අවධානයක් නොදක්වන එහෙත් කාන්තා පිරිමි දෙපාර්ශ්වය ම සත්කාර කිරීම අත්‍යවශ්‍ය බාහිර ශරීර අංගයක් ලෙස අපට දෙපා හැඳින්විය හැකියි. දෙපා යනු වැඩිපුර ම කිළිටු වන නිරන්තරයෙන් පවිත්‍ර කළ යුතු ස්ථානයක් වන අතර යමෙකු ගේ දෙපා පවත්වාගෙන යන ආකාරය අනුව එම පුද්ගල සෞඛ්‍ය, පිරිසිදුකම මෙන් ම පෞරුෂය පිළිබඳ වුව ද යම් අවබෝධයක් ලබාගත හැකිය. එබැවින් ඔබේ මුහුණට, හිසකෙස්වලට දක්වන සැලකිල්ල මෙන් ම ඉහළ සැලකිල්ලක්, සත්කාරයක් ඔබේ දෙපාවලට ද ලබාදීමට ඔබ වගබලාගත යුතුය. ඒ සඳහා ඔබට පහසුවෙන් ම පෙඩික්‍යු වැනි සත්කාරයක් වෙත යොමු වීමට වුව හැකිය. ඔබ කෙතරම් මිල අධික පාවහන් යුගලක් පැලඳුව ද ඒ පාවහන් අතරින් දිස්වන ඔබේ දෙපා සහ නිය ක්‍රමවත්ව හා පිරිසිදුව නොමැති නම් ඔබේ ආකර්ෂණය හා පෞරුෂත්වය එමගින් ගිලිහී යනු ඇත. එබැවින් පිරිසිදුව පිළිවෙළකට ඔබේ දෙපා පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ.

ඉතින් ඔබත් අද සිට ම ඔබේ ජීවිතය තුළ ද ඉහත සඳහන් කළ ආයෝජනයන් ඔබ වෙනුවෙන් ආයෝජනය කිරීම ආරම්භ කරන්න. නිසැකව ම එය ඔබ වෙනුවෙන් සිදුකළ හොඳ ම ආයෝජනය වනු ඇත.

හෂිනි ගුණසේකර
(අධ්‍යක්ෂිකා නැචුරල් සැලුන්)

සටහන – පියුමිලා අරවින්දි