Beauty

නිවසේදී ම ලස්සන වෙන්න ස්වාභාවික සත්කාර කිහිපයක්

අද වන විට රුව පිළිබඳව ලෝකයේ ගොඩනැගී ඇති වඩාත් පිළිගත් මතය වන්නේ පුද්ගලයෙකු සතු ඔවුන්ට ම අවේණික ස්වාභාවික පෙනුම එම පුද්ගලයාගේ සැබෑ සුන්දරත්වය බවයි. එමනිසා තවදුරටත් ඔබේ සමේ පැහැය හෝ ස්වාභාවිකව ඔබට උරුමවූ පෙනුම වෙනස් කරගැනීමට වෙහෙසීම වෙනුවට ඔබට ම අනන්‍යවූ ඔබගේ ස්වාභාවික සුන්දරත්වය ආකර්ෂණීය ලෙස ඔපමට්ටම් කරගැනීම පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්නේ නම් එය වඩාත් වැදගත් වනු ඇත. අප මෙවර ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ නිවසේ සිට ම ඔබේ රුව වෙනුවෙන් සිදුකළ හැකි ඉතා පහසු ස්වාභාවික රූපලාවන්‍ය සත්කාර කිහිපයක් පිළිබඳවයි.

රූපලාවන්‍යාගාරයකින්, ඇදුම් ආයිත්තම් ආදී බාහිර සාධකයන්ගෙන් ඔබෙ රුවට එකතු කරගන්නා සුනදරත්වය මෙන් ම මෙම සරල රූපලාවන්‍ය සත්කාර කිහිපය ද ඔබේ එදිනෙදා ජීවිතයට පුරුද්දක් ලෙස එක් කර ගැනීම හැඩකාරියක් වන්නට සිහින දකින ඔබට නිසැකව ම ඉවහල් වනු ඇත.

ආකර්ෂණීය කෙස් කළඹක් වෙනුවෙන්

පිරිපුන් දිගු වරළසක් කියන්නේ බොහෝ යුවතියන්ගේ සිහිනයකි. හිසකෙස් සඳහා නිවසේ දී ම කරගත හැකි සරල ම සත්කාරයක් ලෙස තෙල් සත්කාරයක් කර ගැනීම හැඳින්විය හැකියි. මේ සඳහා ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල්, සහ පොල්තෙල් ආදී තෙල් වර්ගයක් භාවිත කළ හැකි අතර ස්වාභාවික තෙල් වර්ගයක් එනම් නිදසුන් ලෙස නිවසේ දී සකස් කළ පොල්තෙල් වැනි දෙයක් නම් වඩාත් සුදුසු වනු ඇත. එමෙන්ම නිවසේ දී ම සිදුකරගත හැකි තෙල් සත්කාරයක් සඳහා වඩාත් සුදුසු ම අමුද්‍රව්‍යයක් ලෙස පොල් මිටිකිරි (ගාගත් පොල්වලින් ලබාගත් ස්වාභාවික පොල්කිරි) යොදාගත හැකි අතර මිටිකිරි තේ හැඳි කිහිපයක් ගෙන හිස්කබලේ තවරා හොඳින් සම්බාහනය කළ හැකිය. කිසිදු රසායනික සංඝටකයක් අඩංගු නොවන මෙම සත්කාරයේ තෙල් සත්කාරයක් සඳහා අවශ්‍ය සියලු ම ගුණාංගයන් අන්තර්ගතව පවතී. පොල් මිටිකිරි මගින් හිස්කබලෙහි තෙතමනය ආරක්ෂා කරන අතර කෙස් කළඹ ඝනව වැඩිමට ද උපකාරී වේ.

පියකරු මුහුණක් සඳහා ස්වාභාවික සත්කාරයක්

මුහුණේ සම පිරිසිදුව පවත්වාගෙන යාම මුහුණේ පියකරුබව කෙරෙහි හේතුවන ප්‍රධානතම හේතු සාධකයක් වේ. අපට අපේ මුහුණ පිරිසිදු කර ගැනීම සඳහා ද ස්වාභාවික සරල ක්‍රමවේදයන් යොදා ගත හැකිය. එනම්, ඔබ එදිනෙදා භාවිත කරනු ලබන ෆේස් වොශ් එක, ස්ක්‍රබ් එකට අමතරව තවදුරටත් වැඩි පිරිසිදු කිරීමක් සඳහා ඔබට ස්වාභාවික සත්කාරයන් ද භාවිත කළ හැකිය. තක්කාලි යුෂ තුළ අඩංගු ්්‍ය් :්කචය් යහාරදංහක ්ජසා* අපේ සමේ අපිචර්මය හෙවත් ඉහළින් ම පිහිටා ඇති සමෙහි පවතින කුණු දුහුවිලි හොඳින් ඉවත් කිරීමට උපකාරී වේ. මෙම සත්කාරය සිදුකරගැනීම සඳහා තක්කාලි ගෙඩියක් ගෙන එය කුඩා කැබලිවලට කපා ඇස් වටා සහ තොල්වල හැර මුහුණ, බෙල්ල සහ උරහිස යන ප්‍රදේශයන්හි ආලේප කළ හැකි අතර කවාකාර ලෙස හොඳින් ආලේප කර එය සමට උරාගන්නා තෙක් විනාඩි කිහිපයක් වේලෙන්නට හැර පසුව අයිස් වතුරෙන් සේදිය යුතුය. මෙම සත්කාරය මගින් ඔබේ සම හොඳින් පිරිසිදුවී පැහැදිලි සහ පැහැපත් සමක් ඔබට හිමිවනු ඇත.

ගෙල වටා සහ අත් යට අදුරු සමට සාර්ථක පිළියමක්

ගෙල වටා ඇති අදුරු සම සහ අත් යට කිහිලි ප්‍රදේශයේ ඇතිවන දුර්වර්ණවීම් බොහෝදෙනෙකුට ඇති රූපලාවන්‍ය ගැටලුවකි. මේ සඳහා ද අපට නිවසේ දී ම සිදුකරගත හැකි සත්කාර ඇත. ඒ සඳහා මුං පිටිවලට කස්තුරි කහ, දෙහි බිංදු 3ක් පමණ, මී කිරි එකතු කර මෙම මිශ්‍රණය බෙල්ල සහ අත් යට කිහිලි ප්‍රදේශයේ අලේපනය කර හොඳින් වේලීමට හැර, වියලුණු පසුව මෘදු ලෙස පිරිමැද ඉවත් කර ගත හැකිය. මෙම සත්කාරය මගින් ගෙල සහ අත් යට ප්‍රදේශයන්හි අවපැහැගැන්වුණ සම සඳහා සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැකිය.

මුහුණේ සම වගේම ශරීරයේ සමටත් ඔබේ අවධානය ලබාදෙන්න

අප සාමාන්‍යයෙන් මුහුණේ සමට තරම් අවධානයක් අපේ ශරීරයේ සමට ලබා නොදෙන අතර ඇඟ සෝදා පිරිසිදු කිරීමෙන් ඔබ්බට ශරීරයේ සම සඳහා ද තවදුරටත් පිරිසිදු කිරීමක් අවශ්‍ය බව පිළිබඳව වුව ද බොහෝදෙනෙකුට අදහසක් නොමැත. එහෙත් මුහුණේ සමෙහි මෙන් ම ශරීරයේ සමෙහි ද පවතින මැරුණු සෛල ඉවත් කළ යුතු වේ. ශරීරයේ සම පිරිසිදු කර පැහැපත්බව ලබාගැනීමට මෙන් ම සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා ගාගත් ස්වාභාවික පොල් භාවිත කළ හැකි අතර ස්නානය කිරීමට හෝ ඇඟ සේදීමට පෙර අත්, දෙපා ආදී ශරීරයේ සම මත පොල් ආලේප කර හොඳින් පිරිමැද විනාඩි 10ක් පමණ තබා සෝදා හැරිය හැකිය. (මුහුණේ ආලේප කිරීම සඳහා මෙම සත්කාරය සුදුසු නොවේ.) නිවසේ දී ම පහසුවෙන් සිදුකරගත හැකි මෙම සත්කාරයෙන් සමෙහි වියළි ස්වභාවය නැති කර දීප්තිමත් ආකර්ෂණීය සමක් ඔබට ලබාගත හැකිය.

ලස්සන නිය පෙළක් නොවරදින සත්කාරයක්

නිසි ආකාරව නොවැඩෙන නිය සහ නිය ආලේපන ගැල්වීම නිසා දුර්වර්ණවූ නිය ආදී වශයෙන් නිය පෙළ ආශ්‍රිතව ද විවිධ රූපලාවන්‍ය ගැටලු බොහොදෙනෙකකුට පවතී. ලස්සන නිය පෙළක් සඳහා නිවසේ දී ම සිදු කළ හැකි සත්කාරයක් ලෙස පළමුව ඔබට දෙහි ලෙල්ලක් ගෙන නිය පිරිසිදු කර ගත හැකි අතර ඉන්පසු මඳ උණුසුම් ජල බඳුනකට ජෙලටින් ස්වල්පයක් මිශ්‍ර කර අපේ නිය එම බදුනට දමා විනාඩි 10ක් පමණ කාලයක් තැබිය යුතුය. මෙම සත්කාරය මගින් නියපොතු ශක්තිමත් වන අතර දුර්වර්ණ බව ද ඉවත් කර ගත හැකිය. එමෙන්ම නිය අලංකාරවත්ව තබාගැනීම සඳහා අනුගමනය කළ යුතු අනෙක් වැදගත් ම කරුණ වන්නේ නියවල හැඩය නිසියාකාව පවත්වාගැනීමයි. එමගින් නිය කැඩී යාම අවම කෙරේ.

දෙපාවල ලස්සනත් ඔබේ සුන්දරත්වයට ඉතා ම වැදගත්

ඔබ කෙතරම් වටිනා අලංකාර පාවහන් පැලඳුවත් ඔබෙ දෙපා ලස්සනට පිරිසිදුව නොමැති නම් එහි වටිනාකම සැණෙන් ගිලිහි යයි. එම නිසා මුහුණ මෙන් ම දෙපා ද ලස්සනට තබාගැනීම ඔබේ සුන්දරත්වය සඳහා හේතු වනු ඇත. මෙ සඳහා අපට නිවසේ දී ම ස්ක්‍රබ් සත්කාරයක් සිදුකර ගත හැකිය. ඒ සඳහා ලුණු කුඩු සහ කුමන හෝ සුදුසු තෙල් වර්ගයක් (පොල් තෙල්, ඔලිව් තෙල් හෝ බේබි ඔයිල් වැනි සුදුසු තෙල් වර්ගයක්) යොදාගත හැකි අතර එය නියපොතු අසල සහ දෙපාවල ගල්වා විනාඩි 2ක් 3ක් පමණ හොඳින් පිරිමැද සෝදාහැරිය යුතුය. මෙමගින් සම පිරිසිදුවී පැහැපත් කරන අතර විසබීජ නසමින් දුර්ගන්ධය ද ඉවත් කරනු ඇත. මෙම ස්ක්‍රබ් සත්කාරය දිනපතා සිදු කිරීමට සුදුසු නොවන අතර සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත් වේ.

හෂිනි ගුණසේකර
(අධ්‍යක්ෂිකා නැචුරල් සැලුන්)

සටහන – පියුමිලා අරවින්දි