Beauty

අවස්ථාවට ගැළපෙන පරිදි ඇඳුම් පැලඳුම් තෝරාගන්නේ කෙසේද?

එදිනෙදා ජීවිතයේ දී අපට සහභාගිවීමට සිදුවන අවස්ථාවන් සඳහා සැරසී යා යුතු ආකාරය පිළිබඳ පොදු ආකල්පයක් සමාජ ආචාර ධර්මයන්ට සහ සමාජාවබෝධය ඔස්සේ සැකසී ඇත. ඒ අනුව අවස්ථාවට උචිත ලෙස ගැළපෙන පරුදි අපගේ ඇඳුම් පැලඳුම් සහ වස්ත්‍රාභරණ තෝරාගැනීමට අප විසින් කටයුතු කළ යුතු අතර අප යම් අවස්ථාවක් වෙත සහභාගීවීමේ දී අපට ඇරයුම් කරනු ලබන පාර්ශ්වයේ මෙන්ම අපගේ ද ගෞරවයට සහ ප්‍රතිරූපයට කැළැල්ක් නොවන පරිදි සැරසී යාමට අප අනිවාර්යයෙන් වගබලා ගත යුතුය. එතකොට අපි කොහොමද ඒ ඒ අවස්ථාවන්ට සුදුසු ආකාරයට හරියට ම ඇඳුම් පැලඳුම් තෝරාගන්නේ? නිසැකව ම ඔබට එවැනි ප්‍රශ්නයක් උද්ගතවන්නට ඇත. එම නිසා ම අප මෙවර ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තුවන්නේ අවස්ථාවට ඔබින පරිදි ඇඳුම් පැලඳුම් තෝරාගත යුතු ආකාරය පිළිබඳවයි.

අවස්ථානුකූලව ඇඳුම් පැලඳුම් තෝරාගත යුතු ආකාරය පිළිබඳව සඳහන් කිරීමේ දී අපට ප්‍රධාන වශයෙන් එම විවිධ අවස්ථාවන් කොටස් කිහිපයක් යටතේ වර්ග කළ හැකියි.

ජාතික ඇඳුම (National)

මෙම ඇඳුමහි නාමය දුටු විට ම එහි අර්ථය පිළිබඳව ඔබට නිසැක අවබෝධයක් සිහිනැගෙන්නට ඇත. සෑම රටක ම පාහේ තම ජාතික ඇඳුම ට නිසි පිළිගැනීමක් හා ගෞරවයක් ලබා දී ඇති අතර එබැවින් ජාතික ඇදුම පිළිබඳව අන්තර්ජාතික මට්ටමේ ගෞරවාන්විත අර්ථකතනයක් ගොඩනැගී ඇත. අප රට තුළ නම් ජාතික ඇඳුම වන්නේ කාන්තාව සඳහා ඔසරිය සහ පුරුෂ පාර්ශ්වය වෙනුවෙන් නැෂනල් ඇඳුමයි. එබැවින් ජාතික ඇඳුම (National) යන තේමාව යටතේ සූට් එකක් නොහොත් බටහිර සංස්කෘතික හැඩතල සහිත ඇඳුමකින් සැරසීම යෝග්‍ය නොවේ.

රාජකාරී ස්වභාවයක් සහිත සැඳෑ සාදයක් සඳහා

සාදයකට බොහෝ සෙයින් සමාන එහෙත් රාජකාරී ස්වභාවක් ද සහිත අවස්ථා සඳහා ඇදුම් තෝරාගැනීමේ දී කාන්තාවන් සඳහා දිගු ගවුමක් හෝ සාරියක් වැනි ඇඳුමකින් සැරසිය හැකි අතර පිරිමි පාර්ශ්වය සඳහා සූට් එකක් මේ සඳහා තෝරාගත හැකිය.

රාජකාරී අවස්ථා සඳහා (Formal)

මෙවැනි අවස්ථාවක් සඳහා සහභාගිවීමේ දී රාජකාරි ස්වරූපයෙන් යා යුතු අතර එහිදී පිරිමි පුද්ගලයන් සඳහා ටයි පටීයක් සහිතව ෆුල් සූට් එකකින් සැරසිය හැකි අතර කාන්තා පාර්ශ්වයට මෙවැනි රාජකාරි අවස්ථාවක් සඳහා සාරියක් හෝ ඔසරියක් මෙන්ම ජැකට් එකක් සහිතව සායක් හෝ කලිසමකින් ද සැරසිය හැකිය. එසේ නොමැති නම් රාජකාරි අවස්ථාවකට සුදුසු පරිදි අනවශ්‍ය ලෙස නිරාවරණයවී නොමැති සාමාන්‍ය දිගකින් යුත් ගවුමක් වුව තම පෞරුෂත්වයට ඔබින ආකාරයෙන් යොදාගත හැකිය.

රාජකාරී ස්වභාය අඩු සැහැල්ලු ස්වභාවයක් සහිත අවස්ථා (Smart Casual)

මෙවැනි අවස්ථාවක් සඳහා ඔබට තරමක් සැහැල්ලු පහසු ඇඳුමක් යොදාගත හැකි අතර කාන්තාවන් සඳහා ගවුමක් වැනි පහසු ඇඳුමක් මේ සඳහා යොදාගත හැකි අතර පිරිමි පුද්ගලයන් සඳහා සැහැල්ලු අත් කොට ෂර්ට් එකක් යොදාගත හැකිය.

සාමාන්‍ය අවස්ථා (Casual)

මේ සඳහා ඔබට සරල සැහැල්ලු ඇඳුමකින් සැරසිය හැකිය.

අප සෑම විට ම යම් අවස්ථාවක් සඳහා ඇඳුම් තෝරාගැනීමේ දී එම අවස්ථාව කිනම් කාණ්ඩයකට අයත් වන්නේද යන්න පිළිබඳව පමණක් නොව එම අවස්ථාව පවත්වන ස්ථානය මෙන්ම කාලය පිළිබඳව කිසියම් අවබෝධයක් සහිතව කටයුතු කළ යුතුය. විශේෂයෙන් ම වේලාව කියන සාධකය මත පිහිටා අප අපගේ ඇඳුම් පැලඳුම්වල වර්ණය තෝරාගත යුතු අතර එහිදී උදේ කාලයක පවත්වන අවස්ථාවක් සඳහා ළා පැහැ වර්ණ ද සැඳෑ හෝ රාත්‍රී අවස්ථාවක් සඳහා තද පැහැයෙන් යුතු වර්ණ ද භාවිත කළ යුතු වේ. විශේෂයෙන් ම රාත්‍රී කාලයේ අවස්ථා සඳහා තද පැහැ වර්ණයෙන් යුත් ශරීරයේ හැඩ දිස්වන අන්දමේ විචිත්‍ර විලාසිතාවක් යොදාගත හැකිය.

උත්සවය අනුව ඇඳුම් තෝරාගැනීමේ දී බොහෝවිට ඇරයුම සමග උත්සවයේ ස්වභාවය (Dress Code) දක්වන අතර ඒ අනුව ඇදුම් තෝරාගැනීමට කටයුතු කළ හැකිය. එමෙන්ම උත්සවය පවත්වන ස්ථානය ද මෙහිදී අවධානය යොමු කළ යුතු ම කරුණක් වන අතර එම අවස්ථාව අනුව ඇතැම් විට ඇඳුමෙහි ස්වභාවය පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය.

නිදසුන් ලෙස : පන්සලක පවත්වන මංගල අවස්ථාවක් නම් ඔබට සාමාන්‍ය විවාහ උත්සවයක් සඳහා සහභාගි වන අන්දමට සහභාගි විය නොහැකි අතර පන්සලකට යා යුතු ආකාරයට ඔබ සැරසිය යුතුය.

පුද්ගල ප්‍රතිරූපය හා අනන්‍යතාව ගොඩගැනීම කෙරෙහි පුද්ගල බාහිර ස්වරූපය ද ඉතා වැදගත් හේතු සාධකයක් වන අතර ඇතැම් පුද්ගලයන් සෑම අවස්ථාවක් සඳහා ම එක ම ආකාරයේ ඇඳුමකින් සැරසීමට කටයුතු කරනුයේ ඔවුන්ගේ අනන්‍යතාව සඳහා එය බෙහෙවින් උපකාරී වන බැවිනි. එම ආකාරයෙන් ඔබ ඔබට ම අනන්‍ය වූ යම් විලාසිතාවක් පවත්වාගෙන යන්නේ නම් ඒ ඒ අවස්ථාවන් සඳහා ද ඔබට එම විලාසිතා රටාව ම පවත්වාගෙන යා හැකිය.

පුද්ගල ප්‍රතිරූපය ගොඩනැගීම දින කිහිපයකින් සිදු කළ හැකි දෙයක් නොවන අතර එය බොහෝ විට දිගු කාල වකවානුවක් පුරා සිදුකරගෙන ආ ක්‍රියාවලියක් වනු ඇත. එබැවින් විලාසිතා තෝරාගැනීමේ දී සහ ඒ ඒ අවස්ථාවන් වෙත සහභාගීවීමේ දී සෑම විට ම සහභාගි වන ඔබගේත් ඔබට ඇරයුම් කළ පාර්ශ්වයේත් ගෞරවය හා ප්‍රතිරූපය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට ඔබ මනා අවබෝධයක් සහ හැදෑරීමක් සහිතව නුවණැතිව කටයුතු කළ යුතුය.

හෂිනි ගුණසේකර
(අධ්‍යක්ෂිකා – නැචුරල් සැලුන්)

සටහන – පියුමිලා අරවින්දි