Beauty

ඔබේ සම ගැන නිතරම සැලකිලිමත් වෙන්න

රූපලාවණ්‍ය පිළිබඳව කතාබහ කිරීමේ දී සම පිළිබඳව අමතක කරන්න ම බැහැ. සම යනු මිනිස් ශරීරයේ විශාලත ම ඉන්ද්‍රියයි. සමෙහි නිරෝගීබව පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වන්නේ මේ හේතුවෙනුයි. සෑම කෙනෙක් ම තමන්ගේ සම රැුකබලාගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

සමෙහි පිරිසිදුකම පවත්වාගෙන යාම කෙනෙකුගේ පෞරුෂත්වය පවත්වාගෙන යාමට ඉතාමත් වැදගත් වන සාධකයක්. මෙහි දී සමට ගැළපෙන පිරිසිදුකාරකයක් තෝරාගෙන සම පිරිසිදු කිරීම ඉතාමත් වැදගත්. මෙවැනි පිරිසිදු කිරීමක දී රෝමකූපවල ඇති සිදුරු විවෘත වේ. මේ නිසා පිරිසිදුකාරකයක් භාවිත කළ පසු ටෝනර් එකක් භාවිත කළ යුතු ම වේ. මෙහි දී අයිස් වතුර, පිපිඤ්ඤා යුෂ, රෝස පෙති සාරය ආදිය ටෝනර් එකක් ලෙස භාවිත කළ හැකියි. එමෙන් ම සමෙහි තෙතමනය පවත්වාගෙන යාම ඉතාමත් වැදගත්. මේ සදහා මොයිස්චර්රයිසින් අඩංගු ක‍්‍රීම් එකක් භාවිත කළ යුතු වෙනවා.

පුද්ගලයෙකු දුටු සැණින් අපි ඇස යොමන්නේ මුහුණට මුහුණේ පියකරු බව පවත්වාගෙන යාමට මුහුණේ සමෙහි නිරෝගීබව ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මසකට වරක් ෆෙස් පැක් එකක් දැමීම ක්ලීන් අප් එකක් කිරීම මගින් මුහුණේ පැහැපත් බව හොදින් පවත්වාගෙන යා හැකියි. කඩල පිටිවලට වතුර එක් කර ඔබට නිවසේ දී ම පහසුවෙන් ෆෙස් පැක් එකක් සාදාගත හැකියි. එය ඔබේ සුන්දරත්වය ඔප් නංවාගන්නට ලෙහෙසියෙන් ම කරන්න පුළුවන් පුංචි ම පුංචි සත්කායක්.

බොහෝදෙනෙක් මුහුණේ සම ගැන කතා කරන විට මුහුණේ පැහැපත් බව පවත්වාගෙන යාමට පමණක් අවධානය යොමු කරනු දැකිය හැකියි. නමුත් මුළු ශරීරයේ ම සමෙහි පැහැය, නිරෝගීබව පවත්වාගෙන යාමට අප අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ අනුව විශේෂයෙන් ම කාන්තාවන් අත් පා, කිහිලිවල ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදු කළ යුතු වෙනවා. එය සමෙහි පිරිසිදුකම පවත්වාගෙන යාමට උපකාරී වන අතර ම දහඩිය දුගඳ පාලනය කිරීමටත් රුකුලක් වෙනවා.

සමෙහි කැළැල් ඇතිවීම බොහෝදෙනෙක් පීඩාවට පත් කරන ගැටලූවක්. මුහුණේ මෙවැනි ලප කැළැල් ඇතිවීමට බලපාන ප‍්‍රධාන කරුණක් වන්නේ කුරුළෑ කැඞීමයි. මුහුණේ ඇති කුරුළෑ ඇල්ලීම, කැඞීම නොකළයුතු දෙයක්. එමෙන් ම විෂබීජ නාශක ගුණයෙන් යුත් පිරිසිදුකාරකයක් භාවිත කළ යුතුයි. කොහොඹ කොළ තැම්බූ වතුරින් මුහුණ සේදීම නිවසේ දී ම කළ හැකි පහසු ප‍්‍රතිකාරයක්.

එමෙන් ම කෝමාරිකා මදය ආලේප කිරීමත් ඉතාමත් හොඳ සත්කාරයක්. එමගින් අව්වට පිලිස්සීමට ලක් වුණු සම යථා තත්ත්වයට පත් කරගත හැකියි.

බ්ලැකහෙඩ්ස්, වයිට්සහෙඩ්ස් ඉවත් කිරීම මගින් සමේ පැහැය තව තවත් ඔප් නංවාගැනීමට හැකියි. ස්ක‍්‍රබ් යනු ඒ සඳහා ඇති හොඳ රූපලාවණ්‍ය සත්කාරයක්. ස්ක‍්‍රබ් එකක් කිරීමේ දී රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ සහාය ලබාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නිවසේ දී ස්ක‍්‍රබ් එකක් කළ හැකි වුවත් සම ඉක්මනින් ඇදෙන සුළු ස්භාවයට ලක්වීමට හැකි හෙයින් එය ඉතාමත් පරිස්සමින් කළ යුතු වෙනවා. සම අලූත්වීමට දින 23ක් පමණ ගත වන හෙයින් දින 23කට වරක් ස්කබ් එකක් සිදු කිරීම ප‍්‍රමාණවත්.

මේ සියල්ල මෙන් ම ප‍්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, මානසික ආතතියකින් තොරව සැහැල්ලූ දිවිපෙවතක් ගත කිරීම සමෙහි නිරෝගීබව පවත්වාගෙන යාමට ඉතාමත් වැදගත් වෙනවා.

හෂිනි ගුණසේකර
(අධ්‍යක්ෂිකා – නැචුරල් සැලුන්)
සටහන – නදීරා අමරසිංහ