Health

කහ උණ හෙවත් හෙපටයිටිස් කියන්නේ මොකක්ද?

ලෝක හෙපටයිටිස් දිනය යෙදිලා තියෙන්නේ ජුලි 28 වෙනිදාට. හෙපටයිටිස් රෝගය සඳහා ජාත්‍යන්තර වශයෙන් දිනයක් වෙන් කරලා ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න හේතුව වෙලා තියෙන්නේ මේ ගැන දැනුවත් වීම මගින් මෙය මූලික අදියරේදීම වලක්වා ගන්න පුළුවන්කම තිබෙන නිසායි. සාමාන්‍යයෙන් ලෝකයේ හෙපටයිටිස් රෝගීන් මිලියන 290කට වැඩි පිරිසක් ජීවත් වෙනවා කියලා ලෝක සෞඛ්‍යය සංවිධානය වාර්තා කරලා තිබෙනවා. ඉන් වැඩි ප්‍රතිශතයක් ජීවත් වෙන්නේ ආසියාතික රටවල.

හෙපටයිටිස් කියපු ගමන් මතක් වෙන්නේ අක්මාව. මොකද මෙය අක්මාවේ පටක ඉදිමීම නිසා ඇතිවන රෝගයක් නිසා. අක්මාවේ පටක ඉදිමීම සිදු වෙන්නේ මත්පැන් භාවිතය නිසා විතරයි කියලා හිතාගෙන හිටියත් ඇත්තටම අක්මාවේ පටක ඉදිමෙන්න හේතු කීපයක්ම තිබෙනවා. ඒ තමයි විවිධ අසාත්මිකතා, ඒ කියන්නේ විවිධ ඖෂධ වර්ග විසවීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍යතා ආදිය නිසාත් හෙපටයිටිස් ඇති වෙන්න පුළුවන්.

හෙපටයිටිස් රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය තමයි ඇස්වල සුදු ඉංගිරියාව කහ පැහැයට හැරීම. ඒ වගේම දිගින් දිගටම ඇතිවන ආහාර අරුචිය සහ උදරයේ වේදනාවක් පැවතීමත්, අධික තෙහෙට්ටු ස්වභාවය, පාදවල පතුල් ප්‍රදේශය ඉදිමීම, අඳුරු පැහැ මුත්‍රා පිටවීම ආදියත් මෙහි රෝග ලක්ෂණ විදිහට ඇති වෙනවා. මේ රෝග ලක්ෂණ පවතිනවා නම් ඒ හෙපටයිටිස් රෝගයම ද කියලා නිර්ණය කර ගන්න රුධිර පරීක්ෂාවකින් පුළුවන්.

මේ රෝගයේ ප්‍රභේද කීපයක් තියෙනවා. ඒවා හෙපටයිටිස් A හෙපටයිටිස් B හෙපටයිටිස් C හෙපටයිටිස් D හෙපටයිටිස් E විදිහට හඳුන්වලා තියෙනවා. මින් හෙපටයිටිස් A තත්ත්වය වැඩිපුර ම බලපාන්නේ කුඩා දරුවන්ට. රුධිරයේ හෙපටයිටිස් Aවලට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රතිදේහ නොතිබීම නිසා තමයි මේ තත්ත්වය උදාවෙන්නේ. මේ තත්ත්වයට මේ දක්වා ප්‍රතිකර්ම සොයාගෙන නැති වුණත් හෙපටයිටිස් A කියන්නේ වළක්වාගත හැකි තත්ත්වයක්. හෙපටයිටිස් B තත්ත්වය සඳහා කුඩා කාලයේ එන්නත් ලබාදීම සිදු කරනවා. අපේ රටේ හෙපටයිටිස් B සඳහා වන එන්නත රජයේ වියදමින් කුඩා දරුවන්ට නොමිලේම ලබා දෙනවා. ඒ නිසා මේ තත්ත්වය සඳහා අපේ රටේ තිබෙන්නේ ඉතාම සුළු අවදානම් තත්ත්වයක් විතරයි. හෙපටයිටිස් C කියන්නේ අවදානම් සහිත තත්ත්වයක්. නිසි ආකාරයට ප්‍රතිකාර නොලැබුණොත් මෙය අක්මාවේ පිළිකා හෝ සිරෝසිස් වගේ උග්‍ර රෝගවලට පවා පත් වෙන ආකාරයේ තත්ත්වයක්. හෙපටයිටිස් D තත්ත්වයට පත් වෙන්නේ හෙපටයිටිස් B ආසාදනය වෙලා තිබෙන විතරයි. හෙපටයිටිස් E තත්ත්වය අපේ රටේ දකින්නට ලැබෙන්නේ නැති තරම්.

ඉහත වර්ග අතරින් අපේ රටට අවදානම් සහිත තත්ත්වය විදිහට හෙපටයිටිස් B තත්ත්වය හඳුන්වා දෙන්න පුළුවන්. මෙය බෝ වෙන්නේ ශරීර තරල මගින්. ඒ කියන්නේ රුධිරයට අමතරව ශරීරයෙන් නිකුත් කරන සියලු ම තරල ඔස්සේ මෙය බෝවීමේ අවදානමක් පවතිනවා. ඒ කියන්නේ මෙය වෛරසයක් නිසා බෝවන රෝගයක්. හෙපටයිටිස් රෝගයේ භයානක ම තත්ත්වය තමයි අක්මා සෛල විනාශවී ගොස් අක්මා බද්ධයක් සිදු කළ යුතු තත්ත්වයට පත්වීම. ඒ වගේම හෙපටයිටිස් රෝගය පහසුවෙන් ම බෝ වෙන්න පුළුවන් ක්‍රම කීපයක් ම තිබෙනවා.

රෝගියෙකුගේ රුධිරය නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරය සමග මිශ්‍රවීම, ඒ කියන්නේ එන්නත් මගින් හෝ රුවුල කපන රේසර්, ටැටූ, මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා කටු ආදිය මගින්. ඒ වගේම රෝගියෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීමෙන් මෙය බෝවීම සිදු වෙනවා. රෝගී ගැබිනි මවකගේ කුස තුළ සිටින දරුවාට මේ රෝගය බෝවෙනවා. මේ රෝගය වෛරස රෝගයක් නිසා පහසුවෙන් ම ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. ඒ නිසා හෙපටයිටිස් රෝගීන් සමීපව ඇසුරු කරන අය, මේ රෝගය බහුලව පවතින ප්‍රදේශවල ජීවත් වන අය, එන්නත් කටු මගින් මත්ද්‍රව්‍ය ශරීරගත කර ගන්නා අය, රෝහල් කාර්ය මණ්ඩලවල සාමාජිකයන් ආදිය මේ තත්ත්වය ගැන අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්.

රෝගය බෝවීම වළක්වාගන්න පුළුවන් පහසුව විදිහ තමයි ඒ සඳහා වන එන්නත් වර්ග අන්වාර්යයෙන් ම කුඩා කාලයේ දී දරුවාට ලබා දී තිබීම. ඉන් රෝගය බෝවීමෙන් වළක්වාගන්න පුළුවන්. ඒ වගේම රෝගය ආසාදනය වුණාට පස්සේ නිසි ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තොත් අක්මා සෛල ඉදිමීමේ තත්ත්වය තෙක් වර්ධනය කර ගන්නේ නැතිව මූලික අවස්ථාවේ දී ම ඉන් මිදීමේ හැකියාව තිබෙනවා.

සටහන – දුලංජලී මුතුවාඩිගේ