Health Guide

එක්ව සිතමු වෙනසක් කරමු AIDS දුරලමු

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් නිරෝගා වෙබ් අඩවිය සහ නිරෝගා මාසික සඟරාව වෙනුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහනෙහි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි මහත්මිය සමග පැවැත්වූ සාකච්චාවකි.

HIV / AIDS යනු වෛරස් ආසාදන තත්ත්වයකි. මේ පිළිබඳව බිහිවී ඇති සමාජ කතිකාවත හා මතය බැහැර කරමින් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙය තවත් එක් රෝගී තත්ත්වයක් බවයි.
1988 සිට HIV වෙනුවෙන් දිනයක් වෙන් කළ අතර සෑම වසරක ම දෙසැම්බර් පළමු වෙනි දා ඒ සඳහා යොදාගනියි. මෙවර ලෝක AIDS දින තේමාව වන්නේ එක්ව සිතමු වෙනසක් කරමු AIDS  දුරලමු යන්නයි. ( Communities make the difference ) ්

HIV / AIDSයනු කුමක්ද? 

HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයකි. (Human Immunodeficiency Virus) මෙම වෛරසය මගින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සුදු රුධිරාණු වර්ගයක් වන CD 4 සෛල විනාශ කරයි. CD 4 සුදු රුධිරාණු වර්ගය නිසා යම් විෂබීජයක් ශරීරගත වූ පසු එය සිරුර තුළ වර්ධනයවීමට පෙර විනාශ කර දැමීම සිදු කරයි. මෙම වෛරසය හරහා රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය අඩාල කරයි. AIDS  යනු “නතු කරගන්නා ප්‍රතිශක්ති උනතා සහ ලක්ෂණය ”යි. (AIDS-Acquired Immunodeficiency Syndrome)

AIDS වෛරසය ශරීරගත වන්නේ කෙසේද?

ලිංගික සබඳධතා එක අයෙකුට පමණක් සීමා නොවීම තුළ මෙම වෛරසය ශරීරගතවීමට වැඩි ඉඩක් පවතියි. මෙම වෛරසය ශරීරගත වන ක්‍රම කිහිපයක් ම හඳුනාගත හැකියි. මුලික වශයෙන් ලිංගික සංසර්ගයේ දී එනම් මුඛ සංසර්ගයේ දී යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය යන ඕනෑ ම ක්‍රියාවක දී මෙය ශරීරගත විය හැකිය. මෙය ශරීරගතවීමට වැඩි අවකාශයක් පවතින්නේ ගුද සංසර්ගය මගිනි. 2018 දී අපට හමුවූ රෝගීන් අතරින් 46%කට මෙම රෝගය වැලඳී ඇත්තේ ඒ අයුරින් බව අනාවරණය විය. තව ද මවකගෙන් දරුවන් වෙත ද මෙය වියාප්ත විය හැකියි. එහි දී ගර්භණී සමයේ දී, දරු ප්‍රසූතියේ දී මෙන් ම මව් කිරි හරහා ද මෙය ශරීරගත විය හැකියි. මීට අමතරව එන්නත් කටු හවුලේ පරිහරණය කිරීමෙන් ද මෙය ශරීරගත වේ. නිදසුනක් ලෙස හෙරෝයින් වැනි මත් එන්නත් කටු හවුලේ භාවිත කිරීම මගින් ්‍HIV ආසාදනයවීමට ඉඩකඩක් පවතියි. මේ පිළිබඳව සමාජයේ විවිධ වැරදි මත පවතියි. එනම් ්HIV වෛරසය වැලඳුණු පුද්ගලයෙක් ඇසුරු කිරීම, අතට අත දීම, ඔවුන්ගේ ප්‍රාස්වාසය හරහා මෙය බෝවන බවයි. එම මතයන් සියල්ල ම කිසිදු පදනමක් නැති අසත්‍ය ප්‍රකාශ ලෙස බැහැර කළ හැකියි.

මෙහි රෝගී ලක්ෂණ මොනවාද? 

HIV වැලඳුණු පුද්ගලයෙක් තුළ එයට අනන්‍ය වූ රෝග ලක්ෂණ දැකිය නොහැකියි. ්HIV  හරහා සිදු වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කිරීමයි. එහි දී ඕනෑ ම රෝගයකට පහසුවෙන් ගොදුරුවීමට හැකි තත්ත්වයක් උද්ගතව වේ. බොහෝවිට ක්ෂය රෝගය, නිව්මෝනියා වර්ග, පාචනය වැනි රෝග මොළේ උණ, විවිධ පිළිකා වැනි තත්ත්වයන් මෙවැනි රෝගින්ට වැලඳිය හැකියි.

මෙම රෝගය වැලඳී ඇතිබව හඳුනාගන්නේ කෙසේද? 

HIV වැලඳී ඇත්තේ කෙසේද යන්න සාකච්ඡා කිරීමේ දී ඉහත දී සදහන් කළ HIV ශරීරගත අවදානම් හැසිරීම් රාටාවන්ට යමෙක් ලක් වී ඇත්නම් වහාම රුධිර පරීක්ෂාවක් සිදු කිරීම වැදගත් වේ. එවිට රෝගය උත්සන්නවීමට ප්‍රථම අවශ්‍ය ක්‍රියා මාර්ග වෙත යොමුවීමට අවස්ථව ලැබේ.

HIV වෛරසය මාරාන්තික ද? එයට ප්‍රතිකාර තිබේ ද?

AIDS  රෝගය මාරාන්තික රෝගයක් නොවේ. ඒ සඳහා ඖෂධ නූතන වෛද්‍ය විද්‍යාව සතු ය. ප්‍රතිවෛරස ඖෂධ නිසි පරිදි ලබාගැනීම හරහා HIV වෛරසය ජීවිතය කාලය පුරවට ම පාලනය කරගත හැකියි. තව ද මෙම රෝග වළක්වාගැනීම සඳහා තමන්ගේ සබඳතා විශ්වාසවන්ත එක සහකරුවෙකුට හෝ සහකාරියකට සීමා කිරීම ද වැදගත් වේ.

මෙම වෛරසය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ඇති තත්ත්වය කෙබඳුද?

ශ්‍රී ලංකාව HIV අඩු ආසාදිත රටක් ලෙස හඳුනාගත හැකියි. එය ආසාදනය වූවන් 0.1 වඩා අඩු ප්‍රමාණයක්, නැතහොත් 1000ට 1කටත් අඩු අනුපාතයක් ලෙසින් ප්‍රමාණාත්මකව දැක්විය හැකියි. සමාජය තුළ HIV  ආසාදනය වූවන් පිළිබඳව ඇත්තේ ඉතාමත් පසුගාමී සෘණාත්මක ආකල්පයකි. ඉන් පැහැදිලි වන්නේ මේ තත්ත්වය පිළිබඳව සමාජය සතුව ඇති අවම දැනුවත්භාවයයි. මෙම දුර්මතයන් බැහැර කිරීමට නම් සමාජය මේ පිළිබඳව නිසි ලෙස දැනුවත් විය යුතුයි. HIV  යනු හුදෙක් තවත් එක් රෝගී තත්ත්වයකි. ඇතැම් විට එය ශරීරගත වනුයේ එම රෝගීයාගේ අනුදැනුමකින් හෝ ක්‍රියාවකින් තොරවයි. එවැනි පරිසරයක් ඇති පුද්ගලයන් සමජයේ දුර්මතයන්ට ගොදුරුවීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

ඉහත දැක්වූ කරුණු ගෙන බැලීමේ දී නැවත නැවතත් පසක්වන්නේ මේ පිළිබඳව සමාජයේ දැනුවත්භාවය පුළුල් විය යුතු බවයි. තව ද මාධ්‍ය හරහා ද සුබ සිද්ධිය වෙනුවෙන් ජනතාව තවදුරටත් මේ පිළිබඳව ධනාත්මක ආකරයෙන් දැනුවත් කිරීම වඩාත් යෝග්‍ය බව සිහිපත් කළ යුතුයි.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි (ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන – කොළඹ )

සටහන – පියුමිලා අරවින්දි