Health

දණහිස් අමාරුවට හෙළ වෙදකමේ ඇති විස්මිත ප්‍රතිකාර

වයසට යාමත් සමග බොහෝදෙනෙක් තුළ දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක් වන්නේ දණහිස් අමාරුවයි. මේ හේතුවෙන් ඔවුන් බොහෝදෙනෙක් සිය එදිනෙදා වැඩ කටයුතු සිදුකරගැනීමට අපහසු තත්ත්වයෙන් පසුවනු බොහෝවිට දක්නට ලැබෙයි.
දණහිස් අමාරුව ඇතිවීමට බලපාන හේතු බොහොමයකි. ආයුර්වේදයේ දණහිස් රෝගය ආමවාත රෝග තත්ත්වය ලෙසින් හදුන්වනු ලබයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙම රෝග තත්ත්වය ඔස්ටියෝ ආතරයිටීස් ලෙස හදුන්වනු ලබයි. මේ රෝග දෙකම සමාන කළ නොහැකි අතර නිශ්චිතව ම එකම රෝගී තත්ත්වයක් ලෙස හදුන්වා දිය නොහැකිය. නමුත් රෝග ලක්ෂණ අනුව විවිධ සමානතා පවතියි.

ආයුර්වේදයේ දී ආමය ලෙස හදුන්වනු ලබන්නේ අමු බවයි. ආහාරයක අමු බව රස ධාතුගතවීමෙන් වාතය සමග අනුබද්ධවීමෙන් ආමවාත රෝග තත්ත්වය ඇතිවන බව ආයුර්වේදයේ විස්තර වේ.

ඊට අමතරව ප්‍රවේණි හේතු මත ද ආමවාතය ඇතිවේ. ජානවලින් මෙම රෝගය ඇතිවන නිසා පවුලේ කෙනෙක් මෙම රෝගයෙන් පෙළීම ද රෝගය වැලඳීමට බලපාන එක් හේතුවකි.

ආසනික් වැනි රසායනික ද්‍රව්‍යවල බලපෑම මෙන් ම දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ඖෂධ භාවිත කිරීම, මොනිසෝනියම් ග්ලුකොමේට් (අජිනමොටෝ) වැනි රසකාරක භාවිතය ද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන වෙනත් සාධක ලෙස හදුන්වා දිය හැකියි.

එමෙන් ම දීර්ඝ වේලාවක් ඇවිදීම හා සිටගෙන සිටීමට සිදුවන රැකියාවක නිරතවීම ද ඇතම්විට දණහිස් රෝගය ඇතිවීමට බලපානු ලබයි.
ආයුර්වේදයේ සෝධන, තර්කන හා සමන වශයෙන් ප්‍රතිකාර කරන ක්‍රමවේද තුනකි. කුඹුරක් වපුරන විට පළමුව කුඹුර කොටා, වේලි මඩ තබා, වපුරන්නාක් මෙන් රෝගයකට පිළිවෙළින් ප්‍රතිකාර කිරීම ආයුර්වේදයේ සිරිතයි.

ශෝධන කර්ම

සෝධනය යනු ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වන පරිදි සකස් කරනු ලැබීමයි. සන්ධි රෝගවල දී බහුලව දකින්නට ලැබෙන්නේ ඉදිමුම හා කැක්කුමයි. මෙවැනි අවස්ථාවක දී ඉදිමුම අඩුවන පරිදි ප්‍රතිකාර කරනු ලබයි.
මෙහි දී අරත්ත අල, සුදුලූණු, මී ඇට, කොට්ට පොල්, පොල්පලාවලින් සකස් කරගත් පොට්ටනිවලින් තවා පිණ්ඩ තෙල් ආලේප කරනු ලබයි.
එමෙන් ම ගෝක්සුරාජි නම් ගුලි වර්ගය උදේට හා හවසට දෙක බැගින් උණු වතුරින් බීමට ලබාදෙනු ලබයි.
එමෙන් ම ඇසළ මුල්, රසකිඳ, පාවට්ට, අරලු, බුලු, නෙල්ලි කලං දෙක බැගින් ගෙන පත අට එකට සිඳ උදේට හවසට කෝප්ප භාගය බැගින් කෑමට පෙර බීමට නියම කරනු ලබයි.

ශමන කර්ම

මෙම ප්‍රතිකාර සිදු කිරීමට පෙර රෝගියාගේ සීනි මට්ටම පරීක්ෂා කරනු ලබයි. ප්‍රතිකාර ලෙස අරිෂ්ට වර්ග ලබාදෙන්නේ රුධිරයේ සීනි මට්ටම යහපත් අගයක පැවතියොත් පමණි. නැත්නම් රෝගියා වෙත ලබාදෙනු ලබන්නේ කසාය වර්ග පමණි.
එමෙන් ම යෝගරාජ ගුලි බැබිල මුල් හා සුදුළුෑණු තැම්බූ වතුරින් බීමට දෙනු ලබයි.
ශෝධන කර්මවල දී බාහිරින් තැවීම පමණක් සිදුකළ අතර ශමන කර්මවල දී මැල්ලුම් බැඳීමට පටන්ගනු ලබයි.
එමෙන් ම මෙහි දී මී කොළ හා පොතු, අමුකහ, පොල් එකට කොටා තල තෙලින් මලවා බඳිනු ලබයි.

තර්පණ කර්ම

මෙම අවධිය තුළ දී රෝගය සමනය කිරීමෙන් අනතුරුව රෝගියට අවශ්‍ය පෝෂණය ලබාදීම සිදු කෙරේ.
ලේවල සීනි නොපවතින රෝගීන්ට බලාරිෂ්ට හා අශ්වගන්ධාරිෂ්ට එකට කලවම් කර උදේ හවස කෑමට පසු ලබාදෙනු ලබයි.
රුධිරයේ සීනි මට්ටම ඉහළ රෝගීන්ට දසමූල කසාය ලබාදෙනු ලබයි.
එමෙන් ම පන්ච තික්ක ගුලි දෙක බැගින් උදේ හවස උණු වතුරින් බීමට ලබාදෙයි. එමෙන් ම මහානාරායන වැනි තෙල් ආලේප කිරීම ද සිදු කිරීම ආයුර්වේදයේ ක්‍රමයයි.මේ කාලය තුළ දී රෝගීන් තක්කාලි, බල මාළු, ඉස්සන්, දැල්ලන් වැනි උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි.
එමෙන් ම උදේ 12ට පෙර ස්නානය කළ යුතු අතර හවස ස්නානය කරන්නේ නම් උණු වතුර භාවිත කිරීමට වගබලාගත යුතුයි.
විශේෂයෙන් කුකුළු මස්, සැමන් ආදිය ආහාරයට ගැනීම අහිතකර අතර ධාන්‍ය වර්ග ආහාරයට ගත යුතුයි.

එස්. එම්. නුවන් සමීර සේනානායක (හොරිවිල වෙද මහතා)
(කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය – හොරිවිල, පලුගස්වැව)

සටහන – නදීරා අමරසිංහ