Health Guide

අත්ල සහ ඇඟිලි හිරිවැටෙන මැණික්කටුව සහලක්ෂණය

මැණික් කටුව සහලක්ෂණය හෙවත් Carpal Tunnel Syndrome යනු ස්නායු අවහිර කිරීමට බලපාන අස්ථි රෝගයක් ලෙස හැඳින්විය හැකිය. මෙය හඳුනාගැනීමේ ප්‍රධාන ලක්ෂණය අත්ල සහ ඇඟිලි හිරිවැටීමයි. එනම් එහි දී අතේ යම් වේදනාවක් ඇතිවන අතර එම අතින් වැඩ කිරීමේ අපහසුවක් ඇති වේ.

අත්ල සහ ඇඟිලි දක්වා ගමන් කරන සුවිශේෂී ස්නායු තුනක් තිබේ. ඒවා රේඩියල් ස්නායුව (Radial Nerve), මධ්‍ය ස්නායුව (Median Nerve) සහ අල්නා ස්නායුව (Ulnar Nerve) ලෙස හැක්විය හැකිය. මෙම ස්නායු අවහිරවීමෙන් මැණික් කටුව ආශ්‍රිත හිරිවැටීමේ සහලක්ෂණය ඇති වේ. එනම් අල්නා ස්නායුව (Ulnar Nerve) අවහිරවීමෙන් සුළැඟිල්ල සහ වෙදගිල්ලේ කොටසක් හිරිවැටීමට ලක්වීම හෝ ක්‍රියා හානියක් සිදුවීම හඳුනාගත හැකිය. එමෙන් ම අනෙක් ස්නායු දෙක අවහිර වුවහොත් වෙදගිල්ලේ කොටසක්, මැදගිල්ල, දබරගිල්ල සහ මහපට ඇඟිල්ල හිරිවැටීම හෝ ඒවායේ ක්‍රියා හානියක් සිදුවීම හඳුනාගත හැකිය. මීට අමතරව ඉහත සඳහන් ස්නායු තුන ම අවහිරවීමෙන් අත්ල සහ ඇඟිලි සියල්ල හිරිවැටීම හෝ ක්‍රියා හානියක් සිදුවීම මෙහි ලක්ෂණ ලෙස දැක්විය හැකිය.

මැණික් කඩුව සන්ධියේ අස්ථි අටක් පවතින අතර ඒ අතරින් ගමන් කරන මෙම ස්නායු අවහිරවීමට බලපාන හේතු කිහිපයක්
තිබේ. විශේෂයෙන් ම ගර්භණී මව්වරුන්ට හෝමෝන වෙනස්වීම නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකිය. ඊට අමතරව අධික තරබාරු පුද්ගලයන්ට ද මෙම මැණික්කටුව සහලක්ෂණය ඇති වේ. තව ද පරිගණක ආශ්‍රිතව ඇඟිලිවලින් වැඩ කරන පුද්ගලයන්ට ද මෙම තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවක් ඇත. එමෙන් ම ආතරයිටීස් රෝගයෙන් පෙළීම, තයිරොක්සීන් අඩුවීම, මැණික්කටුව ආසන්නයේ අස්ථි භග්නයක් සිදුවීම, දියවැඩියාව රෝගයෙන් පෙළීම, අධික තරහව ඇතිවන පුද්ගලයෙකුවීම, අධික ලෙස ඖෂධ භාවිත කරන කෙනෙකුවීම හෝ අධික ලෙස නවීන රසකාරක අඩංගු ආහාර ගන්නා අයෙකුවීම මෙයට හේතු විය හැකිය.

පළපුරුදු වෛද්‍යවරයෙකුට සාමාන්‍යයෙන් මෙය ස්පර්ශයෙන් පරීක්ෂා කර හඳුනාගත හැකි අතර වර්තමානය වනවිට නවීන තාක්ෂණය යොදාගෙන ස්කෑන් (Scan) පරීක්ෂණයකින් ද ඉතාමත් පහසුවෙන් මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීමේ හැකියාව තිබේ. එහි දී බොහෝවිට මැණික්කටුව ආශ්‍රිතව පුංචි ඉදිමීමක් තිබේද, අත්ල සහ ඇඟිලි හිරිවැටීමකට ලක්ව තිබේද, රෝගියාට දැනෙන වේදනාව කෙබඳුද වැනි කරුණු සලකා බලා ස්පර්ශයෙන් රෝගියාව පරීක්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර සිදුකරයි. එහෙත් මේ සමග ගෙල ප්‍රදේශයේ ද කැක්කුමක් හටගෙන තිබේ නම් ගෙල ප්‍රදේශයෙන් ආරම්භ වන ස්නායු ද තිබෙන බැවින් සහ නවීන වෛද්‍ය තාක්ෂණය ද ඉතාමත් දියුණු මට්ටමක පවතින බැවින් ස්කෑන් (Scan) පරීක්ෂණයක් සිදුකර රෝගය නිවැරදිව හඳුනාගැනීමෙන් අනතුරුව නියමිත ප්‍රතිකාර කිරීම ආරම්භ කරයි.

සාමාන්‍යයෙන් මෙම රෝගී තත්ත්වයේ දී බෙහෙත් බැඳීම සිදු නොකරයි. ප්‍රධාන වශයෙන් අදාළ ස්ථානයේ තෙල් ආලේප කිරීම, තැවීම සහ ඖෂධ බීමට ලබාදීම මෙහි ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයයි. එහි දී තත්ත්වය බරපතළ නොවේ නම් සති දෙකක් වැනි කාලයක දී රෝගය සම්පූර්ණයෙන් ම සුව කරගත හැකිය.

මෙය ස්නායු පද්ධතිය සහ අස්ථි පද්ධතිය යන පද්ධති දෙකට ම සම්බන්ධ රෝගී තත්ත්වයකි. මේ ආකාරයෙන් ස්නායු අවහිරවීම සිදුවන විට අදාළ රෝගියාට මුල් අවස්ථාවේ දී ම රෝගය සුව කරගැනීමට භාවිත කළ හැකි ප්‍රථමාධාර ද දේශීය වෛද්‍ය විද්‍යාවේ නිර්දේශිතව ඇත. එනම් ප්‍රථමයෙන් ම ඒ සඳහා විශේෂිත තෙල් වර්ගයක් වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලබාගෙන අදාළ ස්ථානයේ හොඳින් ආලේප කිරීමෙන් අනතුරුව, තැවීම සිදුකරයි. මෙම තැවිල්ල සඳහා මී පොතු, හරං කහ අල, අරත්ත අල සහ සුදු ළුෑණු භාවිත කරයි. එහි දී මෙම ඖෂධ කොටා, වණ්ඩුවේ තම්බාගැනීමෙන් පසුව පොට්ටනි බැඳ තැවීම සිදුකරයි. එමෙන් ම මෙහි දී ආලේප කිරීම සඳහා යොදාගැනෙන තෙල් වර්ගයකට උදාහරණයක් ලෙස ආයුර්වේද මධ්‍යස්ථානවලින් ලබාගත හැකි පිණ්ඩ තෙල් දැක්විය හැකි අතර මීට අමතරව මෙම අස්ථි ආශ්‍රිත ස්නායු ගැටලු සඳහා නිර්දේශිත විශේෂිත ආයුර්වේදීය ක්‍රීම් වර්ග ද මිලදී ගැනීමට තිබේ. තව ද මේ සඳහා බීමට ලබාදෙන රාස්නාධි නම් ගුලි වර්ගයක් ඇත. මෙය උදෑසන එකක් සහ සවස දෙකක් ලෙස උණුවතුර හෝ බැබිල හා සුදු ළුෑණු තැම්බූ වතුර සමග පානය කිරීම සුදුසු වේ. එසේ ම සුදු ළුෑණු සහ උළුහාල් තැම්බූ වතුර ද මේ සඳහා යෝග්‍ය වේ. මේවා ප්‍රතිකාර නොව ප්‍රථමාධාර වන අතර සුළු ස්නායු අවහිරයක් නම් එය මෙමගින් ම සුව වේ. නමුත් රෝගයේ ස්වභාවය අනුව සහ ප්‍රතිකාර නොකර කල්ගත වූ හෝ බරපතළ ස්නායු අවහිරයක් නම් පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන සාමාන්‍යයෙන් මාස එක හමාරක් වැනි කාලයක දී රෝගය සුව අතට පත් කරවාගත හැකිය.

එස්. එම්. නුවන් සමීර සේනානායක
(හොරිවිල වෙද මහතා)
(කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය – හොරිවිල, පලුගස්වැව)

සටහන – ඉසුරු සුධාරක දිසානායක