Health

බහුලව දක්නට ලැබෙන කැඩුම් බිඳුමක් වන කොලොස් භග්නය

අතක මැණික් කටුව සන්ධියේ සිදුවන කැඩුම් බිඳුමක් ලෙස කොලොස් භග්නය හැඳින්විය හැකිය. නොදන්නා කෙනෙක් බොහෝවිට මෙහි පෙන්නුම් කරන විකෘතිතාව නිසා අස්ථි පැනීමක් (විස්ථාපනයක්) ලෙස මෙය වරදවා හඳුනාගන්නා අතර සැබැවින් ම මෙහි දී සිදුවන්නේ අර අස්ථියේ පහළ කෙළවර භග්නවීමයි. විශේෂයෙන් ම මෙවැනි අස්ථි බිඳීමක් සිදුවන්නේ යම් පුද්ගලයෙක් වැටීමක් සිදුවන විට අත්ල බිම තැබීමෙන් අස්ථියට ඇතිකරන ඍජු පීඩනයෙනි. ඉන් පසුව මෙය ගෑරුප්පුවක ආකාරයේ විකෘතිතාවකට පත් වේ.

කොලොස් භග්නයේ ලක්ෂණ

x යටි බාහුවේ කෙළවර මැණික් කටුව සන්ධිය අසල වේදනාවක් පැවතීම.

x මැණික් කටුව සන්ධිය ආසන්න ප‍්‍රදේශය ඉදිමීමකට ලක්වීම.

x කොලොස් භග්නය සහිත ස්ථානය ගෑරුප්පුවක හැඩයෙන් යුත් විකෘතිතාවක් පෙන්නුම් කිරීම.

x සන්ධිය ක‍්‍රියා කිරීමේ නොහැකියාවක් හෝ අපහසුවක් ඇතිවීම.

ප‍්‍රතිකාර

x ප‍්‍රථමයෙන් ම භග්න වී ඇති අස්ථිය නැවත සකස් කිරීම සිදුකළ යුතුය. පළපුරුදු වෛද්‍යවරයෙකු විසින් එය නිසි ආකාරයෙන් සකස්කර, අනතුරුව දෙපැත්තට ඇද අල්ලා කැඩුම් බිඳුම් වෙනුවෙන් සකසා ඇති විශේෂිත තෙල් අදාළ ස්ථානයේ හොඳින් ආලේප කරයි. ඉන් පසුව ඒ මත පුළුන් තබා, සැකසූ අස්ථි යළි වෙනස් නොවන සේ පතුරු හතරක් ද තබා හොඳින් වෙලීම සිදුකරයි. ඒ ආකාරයෙන් එම ස්ථානයේ පවතින ඉදිමුම පහව යන තුරු දින තුනක් පමණ තෙල් ආලේප කිරීම පමණක් සිදුකරයි. එයට හේතුව එවැනි භග්නයක් සිදුවන ස්ථානයක ස්නායු ක‍්‍රියාකාරිත්වය වැඩි බැවින් එක් වරම බෙහෙත් බැඳීම සිදුකළහොත් විවිධ සංකූලතා ඇතිවීමේ ප‍්‍රවණතාවක් තිබෙන බැවිනි.

x ඉදිමුම පහව ගිය පසුව වාත සමන තැවිල්ලකින් තවා, තෙල් ආලේප කර, දේශීය චිකිත්සාවේ ඇති මැල්ලුම් බැඳීම සිදුකරයි. ඒ අනුව දිනපතා දින 14ක් පමණ මැල්ලුම් වර්ග බැඳීම සිදුකරන අතර පෙර දින බැන්ද මැල්ලුමක් පසුදින ලෙහන විට එම අවස්ථාවේ ම නැවත අලුතෙන් මැල්ලුම් බැඳීම සිදුකළ යුතුය. එහි දී මැල්ලුම් බැඳීම සිදුකරන්නේ ද ඒ මතින් පතුරු හතරක් තබා හොඳින් වෙලීමෙනි.

x දින 14කට පසු ස්නායුවල පෝෂණයට සහ සන්ධියේ ක‍්‍රියාකාරිත්වය නිසි ආකාරයෙන් සිදුකිරීමට ඊළඟ පියවර ලෙස පත්තු බැඳීම ආරම්භ කරයි. එහි දී ප‍්‍රථමයෙන් ම උඳු ප‍්‍රධානව සකස් කරන පත්තුවක් බඳිනු ලැබේ. මෙහි දී උඳු යොදාගන්නේ උඳුවල ස්නායු පෝෂණය කිරීමේ විශේෂ ගුණයක් පවතින බැවිනි. එම පත්තුව බැඳීම දින 15ක් පමණ සිදුකළ යුතුය.

x ඉන් අනතුරුව පැණි වර්ග යොදා සකසන පත්තුවක් තවත් දින 15ක් පමණ බඳිනු ලැබේ. ඒ අදාළ ස්ථානය ඝනවීම සඳහා ය.

x අස්ථි භග්නයක් සිදුවන විට ඛණ්ඩරා, මාංශ පේශි ආදිය ඉරීම සිදුවේ. එම හානිවලට ප‍්‍රතිකාර ලෙස අවසානයේ තෙල් කිර ආලේප කිරීම සිදුකරයි.

x මෙම ප‍්‍රතිකාර ක‍්‍රියාවලිය අතරතුර රෝගියාට වාත සමන කසාය ලබාදීම සිදුවේ. මීට අමතරව දේශීය චිකිත්සාවේ දී ලබාදෙන ගුලි ලබාදීම ද සිදුකරයි.

x තව ද මෙම ප‍්‍රතිකාර සමය පුරාවට ම රෝගියා තම අත උරමාවක් දමා එල්ලාගෙන සිටීම කළ යුතුය. එයට හේතුව අත පහළට දමාගෙන සිටියහොත් අතේ ඉදිමුම වර්ධනයවී ලේ ගමනට බාධා පමුණුවන බැවිනි.

x එමෙන් ම මෙම ප‍්‍රතිකාර අතරතුර රෝගියාට නිතරම අදාළ භග්නය සහිත තම අතේ ඇඟිලි නැමීමට, දිගහැරීමට උපදෙස් ලබාදෙයි. එසේ නොකළහොත් ඇඟිලි ඝනවී නැමීමට අපහසු තත්ත්වයක් ඇතිවිය හැකිය. තව ද ඇඟිලි නිතර නැමීමෙන් ස්නායුවල ක‍්‍රියාකාරිත්වය ද වර්ධනය වේ. එහි දී එම ස්ථානයේ රුධිර සංසරණය ද නිසි ආකාරයෙන් සිදුවේ. එනම් ප‍්‍රතිකාර හරහා සිදුකරන සුව කිරීමට අමතරව ශරීර ප‍්‍රතිශක්තිය හරහා සිදුවන සුවවීමට මෙම ක‍්‍රියාව යම් රුකුලක් සපයයි.

මෙවැනි අස්ථි බිඳීමක් සිදුවූ රෝගියෙක් විශේෂයෙන් ම අස්ථි භග්නය සිදුවූ ස්ථානය නොතෙමා ආරක්ෂා කරගත යුතුය. ස්නානය කිරීමේ දී ද එය නොතෙමෙන ලෙස ආවරණය කරගත යුතුය. මෙහි දී ඇල් ජලය ස්නානය කිරීම අගුණක් නොමැති අතරා ඖෂධ ගුණයන්ට හානි වන බැවින් කසාය පානය කරන්නේ නම් පමණක් උණු ජලයෙන් ම ස්නානය කළ යුතු වේ. ඊට අමතරව උෂ්ණ දෑ ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම අවශ්‍ය ය. එනම් තක්කාලි, සැමන්, දෙල්, මුරුංගා, ඉස්සෝ, දැල්ලෝ වැනි උෂ්ණ ආහාර මෙම කාලය තුළ ආහාරයට නොගත යුතුය.

මැණික් කටුව සන්ධිය අස්ථි අටකින් සමන්විත ඉතාමත් සංකීර්ණ සන්ධියකි. එම නිසා මෙවැනි භග්නයක් නිවැරදිව හඳුනාගෙන නිවැරදි ආකාරයෙන් නැවත සැකසිය යුතුය. එසේ නියමාකාරයෙන් සැකසීම සිදු නොවුණහොත් අස්ථි ඇදවීම, දරඳඬු ස්වභාවයට පත්වීම ආදී විකලතාවන් ඇතිවිය හැකිය. එමෙන් ම නිසි ආකාරයෙන් ප‍්‍රතිකාර කළහොත් මෙවැනි භග්නයක් මාස එක හමාරක්, දෙකක් වැනි කාලයකින් සුව කරගැනීමට හැකියාව තිබේ. එනම් නිරන්තරයෙන් ම සිදුවන සහ ඉතාමත් සංකීර්ණ ම භග්නය වන මෙය පළපුරුදු වෛද්‍යවරයෙකුගේ ආධාරයෙන් නිවැරදිව හඳුනාගෙන නිසි ප‍්‍රතිකාර සිදුකිරීමෙන් සාර්ථකව සුව කරගත හැකි තත්ත්වයකි.

එස්. එම්. නුවන් සමීර සේනානායක
(හොරිවිල වෙද මහතා)
(කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය – හොරිවිල, පලුගස්වැව)

සටහන – ඉසුරු සුධාරක දිසානායක