Health Guide

ශ‍්‍රී ලංකා රජය දරුවන්ට නොමිලේ ලබාදෙන ප‍්‍රතිශක්තිකරණ එන්නත්

උපතේ සිට විවිධ වයස් මට්ටම්වල දී බිළිඳුන්ට දිය යුතු එන්නත් කීපයක් ම තිබෙනවා. ඒවා විවිධ රෝග සඳහාත් රෝගවලට ඇති ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහාත් ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නොමිලේ ලබාදෙනු ලබනවා. ඒ එන්නත් වර්ග මේ ආකාරයෙන් සඳහන් කරන්න පුළුවන්.

උපතේ දී

බිළිඳෙකු උපත ලබා දවස් දෙකක් ඇතුළත දෙනු ලබන එන්නතක් තිබෙනවා. එය හඳුන්වන්නේ බී සී ජී නමින්. මේ එන්නත ලබාදෙන්නේ ළදරුවන්ටත් ළමුන්ටත් වැලඳිය හැකි ක්ෂය රෝග තත්ත්වය වෙනුවෙනුයි. මේ එන්නත ලබාදෙන්නේ දරුවාගේ වම් අතේ උරහිසට පහළ කොටසට. බී සී ජී එන්නත නියම ආකාරයෙන් ලබාදුන්නොත් දරුවාට මාසයක් මාස එක හමාරක් විතර යද්දි එන්නත් කළ ස්ථානය පැසවා සලකුණක් ඇති වෙන්න ඕනෙ. මේ සලකුණ ජීවිත කාලය පුරා ම අතේ තිබෙන සලකුණක්.

මාස දෙක සම්පූර්ණ වූ පසු

බිළිඳාට මාස දෙක පසු වුණාට පස්සේ සතියක් තුළ පළමු පෝලියෝ මුඛ එන්නතත් පළමු පෙන්ටා සංයුජ එන්නතත් ලබාදිය යුතුයි. පෝලියෝ රෝගය සඳහා ලබාදෙන එන්නත ලබාදෙන්නේ බිඳු ආකාරයෙන් ගිලීම සඳහායි.

මාස හතර සම්පූර්ණ වූ පසු

බිළිඳාට මාස හතර සම්පූර්ණ වුණාට පස්සේ දෙවෙනි පෝලියෝ මුඛ එන්නතත් දෙවෙනි පෙන්ටා සංයුජ එන්නතත් අජීවී පෝලියෝ එන්නතත් කියන තුන ම ලබාදෙනවා. එකක් බිඳු ලෙස ගිලීම සඳහාත් දෙකක් වම් අතට සහ වම් පාදයටත් ලබාදිය යුතුයි.

මාස හය සම්පූර්ණ වූ පසු

තුන්වන පෝලියෝ මුඛ එන්නතත් තුන් වෙනි පෙන්ටා සංයුජ එන්නතත් ලබාදෙන්නේ බිළිඳාගේ වයස මාස හය සම්පූර්ණ වුණාට පස්සෙයි. මේ ආකාරයට මාස 2, 4 සහ 6 දී ලබාදෙන එන්නත් රෝග කීපයක් සඳහා ආරක්ෂාව සපයනවා. ඒ පෝලියෝ, ගලපටලය, පිටගැස්ම, කක්කල් කැස්ස, හෙපටයිටිස් බී සහ හිමොෆිලස් ඉන්ෆ්ලුවෙන්ස් බී කියන රෝගවලටයි.

මාස නවය සම්පූර්ණ වූ පසු

හතර වෙනි එන්නත බිළිඳාට ලබාදෙන්නේ මාස නවය සම්පූර්ණ වුණාට පස්සෙයි. ඒ සරම්ප, කම්මුල් ගාය සහ රුබෙල්ලා කියන රෝග සඳහා වන එන්නත්.

අවුරුද්ද සම්පූර්ණ වූ පසු

දරුවාගේ වයස අවුරුද්දක් වුණා ම එක් එන්නතක් ලබාදිය යුතු වෙනවා. ඒ අපි ජැපනීස් එන්සෙෆලයිටීස් කියලා හඳුන්වන ජපන් නිදිකර්පථ ප‍්‍රදාහය කියන රෝගය සඳහායි.

මාස 18 සම්පූර්ණ වූ පසු

නැවතත් දරුවාට එන්නත් ලබාදීම සිදු වෙන්නේ අවුරුදු එක හමාරෙදි. ඒ හතර වෙනි පෝලියෝ මුඛ එන්නත සහ ත‍්‍රිත්ව එන්නත කියන දෙක. පෝලියෝ ගලපටලය සහ කක්කල් කැස්ස කියන රෝග සඳහා ඇති අවදානම ඉන් අඩු වෙනවා.

අවුරුදු තුන සම්පූර්ණ වූ පසු

සරම්ප, කම්මුල් ගාය සහ රුබෙල්ලා සඳහා වන දෙවන එන්නත ලබාදෙන්නේ දරුවාට වයස අවුරුදු තුන සම්පූර්ණ වුණාට පස්සෙයි.

අවුරුදු පහ සම්පූර්ණ වූ පසු

පස් වෙනි පෝලියෝ මුඛ එන්නතත් ද්විත්ව එන්නතත් අවුරුදු පහේ දී ලබාදිය යුතුයි. ද්විත්ව එන්නත් ලබාදෙන්නේ ගලපටලය සහ පිටගැස්ම කියන රෝග දෙක සඳහායි.

අවුරුදු 11 සම්පූර්ණ වූ පසු

දරුවෙකුගේ ජීවිත කාලය තුළ අනිවාර්යයෙන් ම ලබාදිය යුතු, රෝග සඳහා වන ආරක්ෂිත එන්නත් අතරින් අවසාන එන්නත ලබාදෙන්නේ අවුරුදු 11 සම්පූර්ණ වුණාට පස්සෙයි. ඒ ටී ඞී නමින් හඳුන්වන මේ එන්නත වැඩිහිටි පිටගැස්ම සහ ගලපටලය කියන රෝග තත්ත්වයන් සඳහා ලබාදෙනවා.

මීට අමතරව ගැහැනු දරුවන්ට පුංචි කාලෙ රුබෙල්ලා එන්නත් දෙක සම්පූර්ණ කරන්න බැරි වෙලා තිබුණොත් අවුරුදු 12ට කලින් රුබෙල්ලා එන්නත ලබාදිය යුතු වෙනවා. මේ සියලු ම එන්නත් රජය මගින් නොමිලේ ලබාගැනීමේ පහසුකම් සලස්වා තිබෙන බව අවධාරණයෙන් කියන්න ඕනෙ.

(සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් මුද්‍රිත ළමා සෞඛ්‍ය සම සංවර්ධන සටහනින් උපුටා ගන්නා ලදී.)

සටහන – දුලංජලී මුතුවාඩිගේ