Food

ක්ෂණික කෑම සංස්කෘතියේ හොඳ නරක

මිනිසුන්ගේ එදිනෙදා ආහාර පුරුදු පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ අහතා සමග කළ සාකච්චාවකි

කාර්යබහුල ජීවන රටාවත් එක්ක, අද වන විට මිනිසුන් එදිනෙදා ආහාරයට ගන්නා කෑම වර්ගත් වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස ශරීර සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද?

අපේ රටේ කාන්තාව අතීතයේ ගෘහණියක් විදිහට නිවසක ආහාර වේල සඳහා වගකීමකින් කටයුතු කළා. කුඹුරේ, නියරේ, ලන්දේ, කන්දේ ස්වභාවිකව හැදුණු වසවිසෙන් තොර ආහාර වර්ග නෙළාගෙන පවුලේ අයට කෑමට දුන්නා. එම නිසා ඇයට කෙටීම, පෙළීම, ඇඹරීම ආදී මුළුතැන්ගෙයි කටයුතුවලින් නිරෝගිමත් ශරීරයක් ලැබුණා. අද වනවිට පුරුෂයා වගේ ම කාන්තාව ද පවුලේ ජීවන බරට උරදී ඇත. බොහෝ කාන්තාවන් ද රැකියාවල නිරත වෙනවා. බොහෝ ලාංකික නිවෙස්වල දිවා කාලයේ නිවසේ කවුරුවත් නෑ. ගහක්, වැලක්, මල් පැළයක් වවන්නට වෙලාවක් නෑ. මේ වෙහෙසකාරී ජීවන රටාවේදී බොහෝ අය “පිටින් කන්නට” පුරුදු වෙලා. පිටතින් රැගෙන එන ආහාරවල බොහෝ විට අධික පිටි, සීනි හා තෙල් අඩංගු වෙනවා. ඒ ඒ වයස් කාණ්ඩ අනුව මිනිස් ශරීරයට අවශ්‍ය ශක්ති ප්‍රමාණය වෙනස් වනවා. අධික පිටි, සීනි හා තෙල් අඩංගු ආහාරවල ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් අඩංගුයි. ක්‍රියාශීලී නොවන ජීවන රටාවකට අධික ශක්ති ප්‍රමාණය ඉතා ම නරකයි. පිටතින් ලබාගන්නා “සකස් කළ ආහාර”වල ග්ලයිසිමීක් අගය ඉතා ඉහළයි. ඒ කියන්නේ එම ආහාරවල පෝෂක කොටස් ලේවලට උරාගැනීමේ සීඝ්‍රතාව ඉතා වැඩියි. එය ද හානිකර තත්ත්වයක්. ආහාරවලට එකතු කර ගන්නා තෙල් වර්ගවල ද ගැටලු තිබෙනවා. වැඩි ලාභයක් බලාපොරොත්තුවෙන් ආහාරවලට එක්කරන සංතෘප්ත මේදය නිරන්තර ශරීරයට ඇතුළුවීම අපට බෝ නොවන රෝග ඇතිවන්නට බලපානවා. ඒත් එක්කම වෙළෙඳපොළේ දී සිදුවන තෙල් නැවත නැවත රත් කිරීම නිසා තෙල්වල නිපදවෙන “ට්‍රාන්ස් ඇසිඞ්” පිළිකාකාරක ගුණයෙන් යුක්තයි.
වෙළෙඳපොළේදී ආහාර රස ගැන්වීමට, කල්තබාගැනීමට, වර්ණ ගැන්වීමට, කෘමි සතුන්ගෙන් සිදුවන හානි අවම කරන්නට ආදී ක්‍රියාවලීන් සඳහා ආහාර මත එක් කරන විවිධ රසායනික ද්‍රව්‍ය නිරන්තරව ශරීරගතවීම මිනිසාගේ ශාරීරික නිරෝගීභාවයට ප්‍රබල තීරණයක්. නිවසේදී සකස් කරන ආහාරවලට වඩා වෙළෙඳපොළේ ආහාරවල පිරිසිදුභාවය පිළිබඳවත් ගැටළු බොහෝයි.

කොත්තු හා ෆ්‍රයිඞ් රයිස් අද වනවිට බොහෝදෙනාගේ ජනප්‍රිය ආහාරයක් බවට පත්වෙලා. මෙය ශරීර සෞඛ්‍යයට අහිතකරද?

බලන්න අද පාරේ යනවිට හන්දියක් හන්දියක් ගානේ කොත්තු කඩ, රයිස් කඩ. මුලින්ම කියන්න ඕනි මෙම පරිශ්‍ර තුළ ඇති පිරිසිදුභාවය. ආහාර ඖෂධ පරීක්ෂණ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මෙම ස්ථාන පරීක්ෂාව නිවැරදි කිරීම සිදු කළ ද නිසි ප්‍රමිතියෙන් තොර අපිරිසිදු පරිශ්‍ර පටන්ගන්න ඇතැම් වෙළෙඳුන් උපක්‍රමශීලීයි. ප්‍රමිතියෙන් තොර වෙළෙද ආයතන තුළ ආහාර ගබඩා කිරීමේ ක්‍රමය, අහාර සකස් කරන්නන්ගේ හා යොදාග න්නා ජලය ඇතුළු අමුද්‍රව්‍යවල සෞඛ්‍යමත්භාවය නිවැරදි නොවේ නම් එය මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරයක් සකස් කිරීමක් වෙනවා.
කොත්තු වැනි ආහාර සඳහා පිටි ඇනීම සිදුවන්නේ බොහෝ විට එකවරකි. එසේ ම ඒ සඳහා යොදගන්නා තෙල් වර්ග, රසකාරක වැනි දෑ ප්‍රමිතියෙන් තොර වෙන්න පුළුවනි. තව ද කොත්තුවල ශක්තිජනක ආහාර කාණ්ඩය බහුලයි. විටමින්, ඛනිජලවණ වැනි පෝෂක කොටස් අඩුයි. මෙවැනි ආහාර ස්ථුලභාවයට හේතුවනවා. ශරීර ස්කන්ධ දර්ශනය (ශරීරයේ උසට, වයසට, සරිලන බර) වැඩිවීම බෝ නොවන රෝග වැඩිවීමට ප්‍රධාන සාධකයක්.
ෆ්‍රයිඞ් රයිස් සඳහා එක්කරන මොනෝසෝඩයම් ග්ලුකොනේට් රසකාරකය පිළිකාජනකයක් බව ලොවම හඳුනාගෙන බොහෝ කාලයක්. තවදුරටත් මෙම පිළිකාරකය ආහාර සඳහා ඉතා බහුල වශයෙන් භාවිත වෙනවා.

එවැනි ආහාර නිතර ගැනීමෙන් කෙනෙකුට හැදෙන්න පුළුවන් රෝගාබාධ මොනවාද?

දියවැඩියාව, හෘදයාබාධ, රුධිරගත කොලෙස්ටරෝල් වැඩවීම නිසා ඇතිවන රෝග, ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා, අධි රුධිර පීඩනය, ආඝාතය වැනි රෝග සඳහා මෙම ආහාරපාන ඍජු බලපෑම් ඇති කරනවා.

හැමදාම කඩෙන් කන කෙනෙක් තමන්ගේ ආහාර වේල තෝරාගන්නේ කෙසේද?

හොඳ ම දේ තමයි නිවසේ තම පවුලේ ආහාරවේල වෙලාවට පිරිසිදුව හදගෙන කන එක. සංකීරණ වූ ජීවන රටාව තුළ එසේ කිරීමට නොහැකි අය සිටිය හැකියි. කොහේ හිටියත් අධික පිටි, අධික සීනි, අධික තෙල් අඩංගු ආහාර ගැනීම අවම කළ යුතුයි. එදිනෙදා මහන්සි වෙන ප්‍රමාණයට තමයි ශරීරයට ශක්තිය ලබාගත යුතු වන්නේ. කෙටි කෑම වර්ග, අධික පැණිරස ආහාර, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, සකස් කළ හා ක්ෂණික ආහාර (නූඞ්ල්ස්, සොසේජස්) අවම කරගත යුතුයි.
වැඩියෙන් පිරිසිදු අලුත් පලතුරු කන එක ජීවිතයට පුරුද්දක් කරගන්න ඕන. දිනකට පලතුරු වර්ග දෙකක්වත් ගැනීම ඉතා හොඳයි. ඒ වගේ ම දිනකට එලවළු වර්ග තුනක්වත් ආහාරයට එක්වී තිබිය යුතුයි. විශේෂයෙන් ම දිනකට ජලය ලීටර 3ක්වත් (ලොකු වීදුරු 6-8ක්) පානය කළ යුතුයි.

මෙවැනි අහාරවලට පුරුදු වී ඇති කෙනෙක් ඉන් මිදෙන්නේ කොහොමද?

ජීවිතය තියන්නේ විඳින්න මස විඳවන්න නොවෙයි. පුරුදු අත්හරින්න අමාරුයි. දිනක මහරගම අපේක්ෂා රෝහලට ගියොත් ඔබට තේරේවි මෙවැනි පුරුදු අත්නොහැරීමේ ඵලවිපාක. එපමණක් නොවේ ක්ෂණික මරණ වගේ ම අත් පා අහිමිවීම, අන්ධභාවය, අංශභාග තත්ත්ව, ලිංගික බෙලහීනතාවයන් කෙරෙහි අප ගන්නා ආහාර රටාව වග කියනවා.
කැමති දෙයක් කන්න, කැමති දෙයක් කරන්න බැරි
වෙනකොට දිනපතා ම අහුරු පිටින් බෙහෙත් බොන්න සිදුවෙනකොට අපි ප්‍රමාද වැඩියි.
නැවුම් පලතුරක, නැවුම් එලවළුවක, ගහේ වැලේ හැදෙන කොළයක, ගෙඩියක, අලයක රස කටට දිවට දැනුණු කෙනෙක් මෙවැනි භයානක කෑම වර්ග ගැනීමට ඇබ්බැහි වන්නේ නෑ. අමාරුවෙන් වුණත් නරක පුරුදු අත්හැරියොත් ඔබත්, පවුලත්, රටත් දිනුම් ය.

වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ (දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ – කෑගල්ල)

සටහන – හේමන්ත කුමාර ජයසිංහ