Health Guide

කළු ඉංගිරියාවේ ශක්තිමත් බව අඩු කරන කෙරටකෝනස්

ඇස් දෙකෙන් අපි ජීවිතයේ සුන්දරත්වය දකිනවා. යොවුන් විය කියන්නේ ජීවිතයේ සුන්දර ම අවධියයි.
නමුත් යොවුන් වියේ පසුවන්නන් තුළ බහුලව දකින්නට ලැබෙන අක්ෂි රෝගයක් ලෙසෙ කෙරටකෝනස් හැදින්විය හැකියි.
කෙරටකෝනස් යනු කළු ඉංගිරියාවේ ශක්තිමත්බව අඩුවීමේ රෝගයකි. මෙය ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන අක්ෂි රෝගයකි. කළු ඉංගිරියාවේ ඇති කුනිතයේ ශක්තිමත්බව අඩුවී එය තුනීවීමකට ලක්වී ඉදිරියට නෙරා ඒමයි.

රවුමට තිබිය යුතු කළු ඉංගිරියාව කෝන් එකක හැඩය ගනිමින් ඉදිරියට නෙරා ඒම නිසා එය කෙරටකෝනස් ලෙසින් හදුන්වනු ලබයි. මෙහි දී කළු ඉංගිරියාව ඇද වන අතර පැහැදිලි පෙනුම නැතිවී යයි.
මෙම රෝගය වැලඳී මුල් තත්ත්වයේ දී ඇස් කණ්ණාඩි භාවිතය මගින් සකස් කිරීමට හැකියාව පවතියි. කණ්ණාඩි භාවිතය මගින් පෙනුම ලබාගත නොහැකි වූ විට කොන්ටැක් ලෙන්ස් එකක් මගින් පෙනුම ලබාගත හැකියි. මෙම ප්‍රතිකාර දෙක මගින් ම පෙනුම ලබාගත නොහැකි වූ විට කළු ඉංගිරියාවක් බද්ධ කළ යුතු වේ.

කෙරටකෝනස් රොගී තත්ත්වය බහුලව දකින්නට ලැබෙන්නේ වයස අවුරුදු 10- 12 සිට අවුරුදු 30 දක්වා වයස්වල පසුවන්නන් තුළයි.
මෙම රෝගය මුල් අවධියේ දී හදුනාගත් විට එම රෝග තත්ත්වය වැඩිවීම වළක්වාගත හැකියි. ඇතැම්විට මෙය හදුනාගැනීමට අපහසු වන්නේ මෙම රෝගයේ ලක්ෂණ මත එය සාමාන්‍ය කණ්ණාඩි අවශ්‍යතාවක ලක්ෂණ පෙනුම් කිරීම හේතුවෙනි. එම නිසා රෝග ලක්ෂණ අනුව රෝගියා සිතන්නේ මෙය සාමාන්‍ය කණ්ණාඩි අවශ්‍යතාවක් බවයි.

කෙරටකෝනස් රෝගී තත්ත්වය නිවැරදිව හදුනාගැනීමට නම් කළු ඉංගිරියාවේ වක්‍රතාව මැන බැලිය යුතු වේ. ඒ අනුව රෝගියා පසුවන්නේ කෙරටකෝනස් රෝගී තත්ත්වයෙන් ද සාමාන්‍ය කණ්ණාඩි අවශ්‍යතාවකින් ද යන්න තීරණය කළ හැකියි. සාමාන්‍ය කණ්ණාඩි අවශ්‍යතාවක් වෙනුවෙන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් කණ්ණාඩි ලබාදීමට කටයුතු කරන අතර එමගින් රෝගියාට හොඳ පෙනුමක් ලබාගත හැකි වේ.
නමුත් කෙරටකෝනස් රෝගය ක්‍රමක්‍රමයෙන් වැඩිවන හෙයින් කණ්ණාඩි භාවිතයෙන් 100%ක් පෙනීම ලබාගත එවැනි අවස්ථාවක දී කොලජින් කොරොස් ලින්කින් නම් ප්‍රතිකාය මගින් කළු ඉංගිරියාව රයිබෝ ස්ලේවින් නම් බෙහෙත දමා යූ.වී. ලයිට් එකක් ඇල්ලීමයි. එම ප්‍රතිකාරය මගින් කළු ඉංගිරියාවේ ශක්තිමත්බව වැඩි කළ හැකි වේ. කෙරටකෝනස් රෝගී තත්ත්වය වැඩිවීමට අවධානමක් තිබෙන රෝගීන් වෙනුවෙන් මෙම ප්‍රතිකාරය සිදු කරනු ලබයි.

විශේෂයෙන් ම වයස අවුරුදු 10 -30 අතර කාලය තුළ මෙම රෝගී තත්ත්වය වැඩිවීම දක්නට ලැබේ. එවැනි අවස්ථාවල දී මෙම ප්‍රතිකාරය සිදු කරනු ලබයි.
ඊට අමතරව කෙරටකෝනස් රෝගීන්ට ඇස්වල ආසාත්මිකතා ඇති වනු දැකිය හැකිය.
එම අසාත්මිකතාව බෙහෙත් මගින් පාලනය කළ යුතු වේ. ඒත් සමගම ආසාත්මිකතා හේතුවෙන් ඇසෙහි ඇතිවන කැසීම නිසා මෙම රෝගී තත්ත්වය වර්ධනය වේ. ඒ හේතුවෙන් ඇස් කැසීම හා ඇස් ඇල්ලීම නතර කිරීමට රෝගියා වගබලා ගත යුතු වේ. එමගින් ද මෙම රෝගය වැඩිවීම පාලනය කළ යුතු වේ.

කෙරටකෝනස් රෝගය උත්සන්න වී ඇති විකට හා කොන්ටැක් ලෙන්ස් පැලඳ සිටීමට අපහසුතා ඇති රෝගින්ට කළු ඉංගිරියාවක් බද්ධ කිරීම සිදු කරනු ලබයි.
කළු ඉංගිරියාවක් බද්ධ කිරීම මගින් ඉතාමත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වේ. කළු ඉංගිරියාව බද්ධ කරනු ලබන්නේ කෙරටකෝනස් රෝගය උත්සන්න ම වූ විට වන අතර සෑමවිට ම වෛද්‍යවරුන් උත්සාහ දරන්නේ රෝගය උත්සන්නවීම වැළැක්වීමටයි. නමුත් රෝගය පලනය කිරීමට නම් එය මුල් අවදියේ ම හදුනාගත යුතු වේ. ඒ සදහා වයස අවුරුදු 10 – 30 අතර අක්ෂි රෝගීන් පැමිණි විට එය සාමාන්‍ය කණ්ණාඩි අවශ්‍යතාවක් ද කෙරටකෝනස් රෝගී තත්ත්වයක් ද යන්න හදුනාගත යුතු වේ.

එමෙන් ම මෙම වයස් කාණ්ඩය තුළ දී මෙම රෝගය උත්සන්න වන බව මතක තබාගත යුතු වේ.

කෙරටකෝනස් රෝගය වැලදුණු රෝගීන් වයස අවුරුදු 30 – 35 ඉක්මවූ පසු කෙරටකෝනස් රෝගය සුව නොවුණත් රෝගී තත්ත්වයේ වැඩිවීමක් සිදු නොවේ. ඒ අනුව වයස අවුරුදු වයස අවුරුදු 10- 30 අතර වයස්වල පසුවන්නන් ඇස් පෙනීමේ දුර්වලතාවකින් පසු වන්නේ නම් හෝ ඇස් පෙනීමේ වෙනසක් තිබේ නම් අක්ෂි වෛද්‍යවරයෙක් හමු වී එය සාමාන්‍ය කණ්ණාඩි අවශ්‍යතාවක් ද නැතහොත් කෙරටකෝනස් තත්ත්වයක් ද යන්න හදුනාගැනීම ඉතාමත් වැදගත් වේ.

විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොල (ශ්‍රී ජයවර්ධනපුර රෝහල)

සටහන – නදීරා අමරසිංහ