News

වකුගඩුව නොකපා ගල් ඉවත් කළ අපූරු සැත්කම – Video සහිතයි

වකුගඩුව කැපීමකින් තොරව ඒ ආශ්‍රිත ගල් ඉවත් කිරීමේ සැත්කමක් පළමුවරට බදුල්ල මහරෝහලේදී සාර්ථකව සිදුකර තිබේ.

එම අවස්ථාව සජීවිව පටිගත කිරීමට මාධ්‍යවේදීන්ටද අවස්ථාවක් සලසා දීමට වෛද්‍යවරුන් ක්‍රියා කර තිබුණි.

බදුල්ල මහ රෝහලේ ජන්‍ය මෞත්‍ර ශල්‍ය ඒකකයේදී වකුගඩුව කැපීමකින් තොරව ඒ ආශ්‍රිත ගල් ඉවත් කිරීමේ සැත්කමක් සිදුකර ඇත්තේ වයස අවුරුදු 36ක කාන්තාවකටයි.

ඒ සඳහා වැයවී තිබු කාලය පැය එකහමාරක්.

මෙහිදී මිලිමීටර් 24ක ප්ලාස්ටික් නලයක් තුළින් ඇතුල් කරන ලද උපකරණයක් අදාළ කාන්තාවගේ වකුගඩු වෙත ඇතුල් කර එක්ස් කිරණ හරහා ලබාගත් ඡායාරූප විමර්ශනය කරමින් ගල් ඉවත් කළ බව විශේෂඥ වෛද්‍ය කලණ පල්ලියගුරු මහතා ප්‍රකාශ කළේය.

සෙන්ටිමීටර් 2.5 ක පමණ ගලක් වන බවත් මෙය ශෛල්‍යකර්මයකට භාජනය කරන්නේ නම් එයට අඟල් 6ක පමණ කැපුමක් සිදු කර මාංශ පේශීන්වලද කැපුමක් යොදා මෙවැනි ශෛල්‍යකර්මයක් සිදු කරන බව ද විශේෂඥ වෛද්‍ය කලණ පල්ලියගුරු මහතා සඳහන් කළේය.

නමුත් මෙවැනි ශෛල්‍යකර්මයක් තුළින් ඉතා කුඩා කැපුමක් යොදන බවත්, දවස් කීපයකින් පසුව රෝගියාට නැවත සාමාන්‍ය වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව හිමිවන බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.