News

ළදරුවන්ට මව්කිරි දීමෙන් ශ‍්‍රී ලංකාව අනිකුත් රටවල් අතර ඉදිරියෙන්

ලෝකයේ බොහෝ රටවල් බිළිඳුන්ට මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් දක්වන්නේ එතරම් සාර්ථක පිළිවෙතක් නෙවෙයි. මව්කිරි කියන්නේ ලොව හොඳ ම ප‍්‍රතිශක්තිකරණ ආහාරය වුණත් බටහිර දියුණු රටවල මව්වරුන් තම බිළිඳුන්ට මව්කිරි ලබාදීම දරුවාගේ වයස මාස දෙකක් හෝ තුනක් තුළ නතර කරලා දමනවා කියලා යුනිසෙෆ් නොහොත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වාර්තා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ළදරුවෙකුට මාස හයක් වන තුරු මව්කිරි පමණක් ලබාදිය යුතු වෙනවා. මාස හයට පසුට ඔවුන් ක‍්‍රම ක‍්‍රමයෙන් ඝන ආහාර සහ වෙනත් දියර වර්ගවලට හුරු කරන්න ඕනෙ. නමුත් එහි අරුත මව්කිරි ලබාදීම සම්පූර්ණයෙන් ම නතර කර දමා ඝන ආහාරවලට පුරුදුකරවීම කියන එක නම් නෙවෙයි.

හැම අවුරුද්දක ම අගෝස්තු මාසෙ පළමු වෙනිදාත් හත් වෙනිදාත් අතර සතියක කාලය ලෝක මව්කිරි ලබාදීමේ සතිය විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුන්සෙෆ් ආයතනය විසින් නම් කරලා තියෙනවා. මේ සංවිධාන 2019 අවුරුද්දේ සිදු කරපු සමීක්ෂණයකින් හෙළි වුණු කාරණයක් තමයි ලෝකයේ රටවල් 194ක් අතරින් රටවල් සියයට 40ක මව්වරුන් සිය බිළිඳාට මාස 6 සපිරෙන්නට පෙර මව්කිරි ලබාදීම නතර කර දමනවා කියන කාරණය. ඉන්පසු දරුවා ඝන ආහාරවලට හුරු කරන නිසා දරුවාගේ පෝෂණ මට්ටම සියයට 40කින් විතර අඩු වෙලා තියෙනවා කියලා ඔවුන් වාර්තා කරලා තියෙනවා.

මේ සමීක්ෂණයට අනුව හෙළි වුණු තවත් විශේෂ දෙයක් තමයි බිළිඳුන්ට මව්කිරි දීමේ ප‍්‍රතිශතය සියයට 60කට වඩා වැඩියෙන් පවතින්නේ ලෝකයේ රටවල් 194කින් රටවල් 23ක විතරක් බව. ඒ කියන්නේ බිළිඳාගේ වයස අවුරුද්ද ඉක්මවන තුරු මව් කිරි ලබාදෙන රටවල් තියෙන්නේ 23ක් විතරයි.

මේ කාරණයේ දී ශ‍්‍රී ලංකාවාසී අපි සතුටට පත් වෙන්න ඕනෙ මෙන්න මේ නිසයි. අර කලින් කියපු රටවල් 23 අතරට ශ‍්‍රී ලංකාව ද අයත් වෙලා තියෙනවා. මෙහි දී ලෝක සෞඛ්‍යය සංවිධානය මිනුම් දණ්ඩ බවට පත් කරගෙන තිබෙන්නේ ”බිළිදාට මාස 12ක් 24ක් අතර කාලයක් දක්වා මව් කිරි ලබාදෙන රටවල්” යන්නයි. මුල් මාස හය තුළ මව් කිරි පමණක් ලබාදීම සහ ඉන් පසු ඝන ආහාර සහ දිනකට මව් කිරි වේල් තුන බැගින් ලබාදීම තමයි සම්මත ක‍්‍රමවේදය වෙන්නේ. මේ සම්මත මිණුම් දණ්ඩට අනුව අපේ රට අනිකුත් රටවල් අතරින් ඉදිරියෙන් ම ඉන්නවා. ලංකාවේ ළදරුවන් සියයට 60ත් 65ත් අතර ප‍්‍රමාණයක් වයස මාස 24 වනතුරු අමතර ආහාර වේලක් විදිහට මව්කිරිවලින් පෝෂණය ලබනවා කියලා වාර්තා වෙලා තියෙනවා.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ගණන් බලා ඇති අන්දමට නම් මව්වරුන් සිය ළදරුවන්ට වයස මාස 12ක් දක්වා නොකඩවා මව් කිරි ලබා නොදීම හේතුවෙන් වසරකට ලොව දරුවන් පන්ලක්ෂ විසිදහසක් පමණ ප‍්‍රතිශක්තිය හා සම්බන්ධ රෝගවලින් පීඩා විඳිනවා. නමුත් ළදරුවන්ට නොකඩවා මාස 12ක් දක්වා මව්කිරි ලබාදෙන රටවල දරුවන්ගේ ප‍්‍රතිශක්තිකරණය ඉතා ඉහළ අගයක පවතිනවා. ඔවුන් වෙනුවෙන් බාහිරින් එන්නත් ලබාදිය යුතු වන්නේ නැහැ. මේ හේතුවෙන් එවැනි රටවලට වසරකට එන්නත් සඳහා වැය කරන්න වෙන් කරලා තියෙන මුදලින් ඉතිරි වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 30 ඉක්මවන බව ද වාර්තා වෙනවා. චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මෙක්සිකොව සහ නයිජීරියාව වැනි රටවල ළදරු සෞඛ්‍යය පවතින්නෙ ඉතා ම පහළ මට්ටමක. මෙම රටවල ප‍්‍රතිශක්තිකරණ හේතු නිසා මිය යන ළදරුවන් ප‍්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවනවා. ඒ හේතුවෙන් එම රටවලට වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් බිලියන 120ක පමණ ආර්ථික පාඩුවක් සිදු වෙනවා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ.

සටහන – දුලංජලී මුතුවාඩිගේ