Relax

ඔබේ මානසික සෞඛ්‍යය යහපත්ව තියා ගන්නේ කෙසේද ?

තාක්ෂණික අතින් දියුණු වූ ලෝකය තුළ ජීවිත සටනට සඳහා අප හැල්මේ දිව යන්නෙමු. මේ දිව යාමට මඳක් හෝ විරාමයක් තැබෙන්නේ කායික හෝ මානසිකව අපි රෝගීන් වූ පසුව ය. කායික රෝග දැනෙන පෙනෙන නිසාවෙන් අපි කල් නොයවාම ප්‍රතිකාර වෙත යොමු වී නැවත නිරෝගි බව ස්ථාපිත කරගැනීමට සමත් වන්නෙමු. එහෙත් අපේ මනසේ රෝගී තත්ත්වයන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි ය. අපේ මානසික සෞඛ්‍යය පිරිහීමට ප්‍රධාන හේතුව මුල් අවදියේම අවදානය යොමු නොකිරීමයි. බොහෝ විට අප සිතන්නේ නිරෝගීකම යනු කායික වශයෙන් සුවෙන් සිටීම යන්න ය. එම සිතුවිල්ල එසේ නොවන බව මෙම ලිපියෙන් ඔබට පසක් වනු ඇත. අපේ ශරීරය පවත්වා ගැනීමට ආහාර පාන, ව්‍යායාම ආදිය පිළිබඳ අප අවධානය යොමු කරමින් කටයුතු කරන්නෙමු. මනස ද නිරෝගීව තබාගැනීමට නම් මනෝ සෞඛ්‍යය යහපත්ව පවත්වාගත යුතුය. අද වන විට සමාජයේ බොහෝදෙනාගේ මනෝ සෞඛ්‍ය පිරිහීමකට ලක්ව ඇත. දිගු කාලයක් මනෝ සෞඛ්‍යය පිරිහීමෙන් පීඩා විඳීම නිසා ඇතැම් විට මානසික රෝගයක ගොදුරක් ද විය හැකිය. දැන් ඔබේ සිතට නැගෙන ප්‍රශ්නය විය හැක්කේ,
“එතකොට මානසික සෞඛ්‍යය හා මානසික රෝග අතර වෙනසක් තිබෙනවාද?” යන්න ය.
ඔව් වෙනසක් ඇත. මානසික රෝගයක් යනු මොළයේ සෛල තුළ සිදු වන රසායනික විපර්යාසයකි. මොළයෙන් ශ්‍රාවය වන හෝමෝනවල සමතුලිතතාව බිඳ හෙළමින් අඩුවෙන් හෝ වැඩියෙන් ශ්‍රාවයවීම නිසා මානසික රෝගයක් වැලඳිය හැකිය. ඖෂධ ප්‍රතිකාර තුළින් නැවතත් මෙම හෝමොන මට්ටම යථා තත්ත්වයට පත් කිරීම තුළින් ඔබට සුවය ලබාගත හැකිය. නමුත් මානසික සෞඛ්‍යය යනු අපේ මනස නිරෝගීව පවත්වාගැනීම ය.

මානසික සෞඛ්‍යය පවත්වාගැනීමට මූලික වශයෙන්ම අවශ්‍ය මොනවාද?

■ සතුට
අන් අය සමග සුහදව කටයුතු කිරීමත් වැඩි, කාලයක් ජීවත්වීමටත් සතුට අපේ සිත්වල තිබිය යුතුම ය.
■ ප්‍රබෝධය
උද්යෝගයෙන් උනන්දුවෙන් කටයුතු කිරීම තුළින් අන් අයට මෙන් ම තමන්ගේ සිතට ද සහනයක්.
■ නිදහස
බාල මහලු භේදයකින් තොරව සෑම කෙනෙකුට ම තමන්ට රිසි සේ ජීවත්වීමට අවකාශ තිබිය යුතුය.
■ ජීවන කුසලතා
ජීවිතය පවත්වාගෙන යාමට නම් අපට අප සතු හැකියාවන් දක්ෂතාවයන් ඔප්නංවාගැනීමට කටයුතු කළ යුතුය.
■ වින්දනය
කරන කියන දෙයින් තෘප්තියක් ඇතිවීම වින්දනයයි.

මෙම කාරණා නිසි ලෙස පවත්වා නොගැනීම මාසික සෞඛ්‍ය පිරිහීමට හේතු වේ.

සතුට, ප්‍රබෝධය, නිදහස, ජීවන කුසලතා හා වින්දනය බිඳ වැටෙන්නේ කෙසේද?

■ අවිවේකි බව නිසා
ළමා වියේ සිට වැඩිහිටියා දක්වාම තරගකාරී සමාජය සමග ගැටීමට සිදු වේ. කුඩා අවධියේ අධ්‍යාපනය නිසා අවිවේකී වන දරුවන් වැඩිවියට පත් වන විට රැකියා සමග අවිවේකී වේ. අවිවේකී බව හේතුවෙන් සෙල්ලම් කිරීමට, විනෝදාංශය යෙදීමට, රසවින්දනාත්මක කටයුත්තක නියැලීමට කාලයන් නොමැත. එනිසා ඒකාකාරී ජීවන රටාවක් තුළ කොටුවී කටයුතු කිරීමට සිදු වේ.

■ තාක්ෂණික දියුණුව නිසා
මිනිසාගේ බොහොමයක් කටයුතු තාක්ෂණයත් සමග පහසුවී ඇත. එසේම තාක්ෂණික බිඳ වැටීමකදී සමස්ත මිනිස් කටයුතුම අඩපණ වන තරමට තාක්ෂණය මිනිසාට බද්ධ වී හමාර ය. උදාහරණයක් ලෙස විදුලිය බිඳ වැටීමක් පිළිබඳ සිතන්න. විදුලිය නොමැතිවීමෙන් මිනිස් කටයුතු කෙතරම් අඩපණ වේද? ජංගම දුරකතනය කොයි තරම් නම් අපිව සමාජය සමග වෙන් කර තැබීමට සමත් වී ඇද්ද?

■ මිනිසා විසින් ස්වභාව ධර්මය වෙනස්කිරීමට යාම නිසා ඇතිවී තිබෙන ගැටලු නිසා
අතීතයේ කලට වැසි වැටුණි. එහෙත් අද වන විට වැසි ඇද වැටෙන්නේ අකාලට ය. එනිසා අනපේක්ෂිත ස්වභාවික ව්‍යවසනයන්ට මුහුණපෑමට සිදුවෙන නිසාවෙන් මානසික සෞඛ්‍යය පිරිහීමකට ලක් වේ.

■ මිනිසුන් අතර ඇති මානව සබඳතා බිඳ වැටීම
ලෝකය ගෝලීයකරණයවීමත්, තාක්ෂණික දියුණුවත් සමග මානව සම්බන්ධතාවයන්ගේ බැඳීම් ලිහිල්ව ගිලිහී යමින් පවතී. ස්මාර්ට් දුරකතනය හරහා ලෝකය පුරා සැරිසරන අපට නිවසේ එකට වසන පුද්ගලයන්ගේ දුක සැප සොයා බලන්නට, පිළිසඳරේ යෙදෙනන්ට, එකිනෙකාගේ ගැටලු පවසා විසදුම් සොයාගැනීමට කාලයක් නැත. අප අතර ම අප හුදකලා වී ඇත. එකිනෙකා අතර සබඳතාවයන් නොමැතිවීමෙන් ගැටුම්, කලකිරීම හා එපාවීම පමණක් හිමි වේ. මේ කියන කාරණා පවත්වාගන්නේ කෙසේද?

■ කාලය කළමනාකරණය කරගන්න.
කාලය… අපේ හැම දේටම හරස් කපන්නා කාලයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව සෞඛ්‍ය යන්න අර්ථ කථනය කොට ඇත්තේ මෙසේ ය. “ පුද්ගලයකුගේ කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික යහපැවැත්ම සෞඛ්‍යය” ලෙස ය.
ඔබේ රන් හා සම කාලය නිවැරදිව කළමනාකරණය කිරීම තුළින් අපේ අවිවේකී බවට විරාමයක් තබන්නට හැකියාවක් හිමි වනු ඇත. ඔබගේ දවසේ කාර්යයන් පෙළගස්වා සෑම කාර්යයකට ම කාලයක් වෙන් කරන්න. ඒ අතර ඔබ වෙනුවෙන් හා පවුල වෙනුවෙන් ද සුළු කාලයක් වෙන් කරන්න.

■ මානව සම්බන්ධතා වැඩි කරගන්න.
රාත්‍රී ආහාරයවත් එක ම මේසයේ හිඳගැනීම, සතියකට වරක්වත් පවුලේ සියලුදෙනා එකට එක්ව අල්ලාප සල්ලාපයේ යෙදීම, නිස්කලංක තැනකට ගොස් එකට සිටින්නට, මිතුරන් නෑදෑයන් සමග ඉඩක් ලද අවස්ථාවක විනෝද චාරිකාවක යෙදීම, මුහුදු වෙරළේ ඇවිදින්නට යාම වැනි කටයුතුවල යෙදීමෙන් සබඳතා ගොඩනගාගත හැකිය. එකිකෙනාට සවන්දීම ද ඉතා වැදගත් ය.
ස්වභාව සෞන්දර්ය විඳින්න.
ඔව් අපි හැමෝම කාර්යය බහුලයි. ඔබේ කාලය කළමනාකරණ සැලැස්මේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කළ කාලය තුළ ස්වභාව සෞන්දර්ය රස විඳින්න. මලක් පෙති විදහාගෙන එන සුවඳට, කුරුල්ලන්ගේ කිචි බිචියට, රෑ ක`ඵවර අහසේ තරු විසිරී මවන රටාවකට, සඳ එළියට, ඔබේ දෑතින් රෝපණය කළ ගහක වැලක ගෙඩියක් පීදෙන විට ඔබේ සිතට දැනෙන සතුට තුළින් ඔබේ මනස සුවපත් ප්‍රබෝධමත් කරවනු ඇත.

■ ක්‍රීඩාවක යෙදෙන්න.
ක්‍රීඩාව තුළින් විනය හා ඉවසීම පුහුණු කිරීම, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට හැකිවීම, ජය පරාජය සමසිතින් දරාගන්නට කියාදීම වැනි බොහෝ යහපත් කාරණා රැසක් ඉටු කරයි. ශාරිරික නිරෝගී බවට ද එය සුදුසු ය.

■ වින්දනාත්මක දේවල් සඳහා යොමු වන්න.
ඔබ කැමති ම විනෝදාංශක යෙදීම, සංගීතය හැදෑරීම හෝ සවන්දීම, නැටුම්, චිත්‍ර ඇඳීම හා නැරඹීම, පොත් පත් කියවීම, චිත්‍රපටයක් නැරඹීම වැනි ඔබට ජීවිතයට වින්දනය තුළින් රසාස්වාදයක් ලබාගත හැකි දේවල් සඳහා යොමු වන්න. ඒ තුළින් මානසික ප්‍රබෝධයක් ඇති කර ගත හැකිය.

■ සෞඛ්‍යය සම්පන්න සමබල ආහාර වේලක් ගන්න. පැවැත්මටත් සෘජුවම බලාපායී. වැරදි ආහාර රටාවන් නිසා ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය අසමතුලිතවීමෙන් මනස ද රෝගී කරවන බව මතක තබාගන්න. කෘත්‍රිම ආහාරවලින් මිදෙන්න.

■ සුවදායක නින්දක් ලබාගන්න.
සාමාන්‍ය වැඩිහිටියෙක් නම් දිනකට පැය 6-7ක් අතර කාලයක් සුවදායක නින්දක් ලබාගත යුතුය. මනස නිරවුල් වන්නේ ඔබ නිදන විට ය.

පුංචි කතාවක්……
අයෝමිත් විනුරත් අවුරුදු හයක ආදර සබඳතාවකින් පසු විවාහ වූයේ ඔවුන් දෙදෙනාට හොඳින් ම ගැළපෙන නිසාවෙන් ය. දෙදෙනා ම උසස් රැකියාවල නිරත වූවන් ය. කාලය ගෙවී යද්දි ඔවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවිය. ඇයට ඔහුත් ඔහුට ඇයත් නොරිස්සුම් විය. ඉඳ හිට නිවසේ බඩු මුට්ටු ද පාවෙන්නට විය. දෙපාර්ශ්වයේ ම දෙමාපියන්ට මේ තත්ත්වය ගැටලුවක් විය. අවසානයේ මේ නෝක්කාඩු යුවල යොමු වූයේ මනෝ වෛද්‍යවරයකු වෙත ය.
මම ගෙදර එනවා උයනවා හුඟක් වෙලාවට මහන්සි නිසා කඩෙන් කනවා. විවාහයට පෙර නම් විනෝදාංශය විදිහට කවි ලිවීම, පොත් පත් කියවීම තමා කළේ. අපෝ මහත්තයා ඒකෙ අනිත් පැත්ත. එයාට පොත් පෙන්න බැහැ. දැන් නම් විනෝදාංශයට වෙලාවක් නැහැ. මහන්සියිනේ. අනේ ඔව් බැන්දට පස්සෙම අපි ගියේ එකම එක ටී්‍රප් එකයි නේද අයෝ? අපි හුඟක් බිසී. හුඟක් වෙලාවට මම ගෙදර එනකොට රෑ වෙනවා. බඳින්න කලින් නම් අපි හොඳට ඇවිද්දා.
අනේ ඔව් ගොඩක් වෙලාවට විනුර එද්දි මට නින්දත් ගිහින් එයා උදේට නැගිටිනකොට මම ගිහින්.
කතා කරන්න කාලයක් නම් නැති තරම්, ඉරිදට ඉතින් කොච්චර වැඩද? නිදහස් වෙන්න වෙලාවක් නැහැ අම්මා තාත්තා බලන්න යන්න තියෙන්නෙ එදාටනෙ.
ඇත්ත තමයි ඩොක්ටර් අපිට අපි වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න බැරි වෙලා. අපි හිතුවෙ අපිට කායික රෝග නිැති නිසා අපි නිරෝගීයි කියලා.
ඒක තමයි බලනකොට අපේ මානසික සෞඛ්‍යයනේ පිරිහිලා තියෙන්නෙ.

මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කේ. එච්. ධනුජ මහේෂ් (මූලික රෝහල තංගල්ල)

සටහන – දිශාන්ති වෙදගේ