Health News

සමහරුන් ට වැඩිපුර මදුරුවන් ආකර්ෂණය වෙන හේතු දන්නවා ද ?

එක ළඟ සිටින දෙදෙනෙක් අතරින් සමහරවිට එක් අයකුට පමණක් මදුරුවන් වැඩිපුර ඇදී එන අවස්ටා තිබෙනවා. නවතම අධ්‍යයනයන් විසින් මෙය සිදුවීමට හේතු සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ යමෙකුගේ ශරීරය වෙත මරුදුවන් ආකර්ෂණය වීම වැඩිවීම සඳහා 85%ක්ම ජානමය තත්වයන් බලපාන බවයි . ඒ වගේම තවත් බොහෝ හේතුන් මේ සඳහා බලපාන්න පුළුවන්.

සම මත ඇති බැක්ටීරියාවන්

සම මතින් නිකුත් වන සුවඳ සම මත ඇති බැක්ටීරියාවන් මත යැපෙනවා. උදාහරණයක් ලෙස මිනිස් දහදිය වල යම් ගන්ධයක් ඇති වන්නේත් බැක්ටීරියාවන් නිසයි. සම මත ඇති බැක්ටීරියා මගින් නිකුත් කරන විවිධ රසායනික ද්‍රව්‍ය මගින් යමෙකුටම ආවේනික වූ ශරීර ගන්ධයක් නිර්මාණය කරනවා. මදුරුවන්ද බැක්ටීරියා මගින් නිකුත් කරන ගන්ධයන්ට ආකර්ෂණය වන අතර යමෙකුගේ සම මත බැක්ටීරියාවන් වැඩි ප්‍රමාණය මගින් ගන්ධයන් නිකුත් කරනවා නම් එම පුද්ගලයා වෙත මදුරුවන් වැඩි වශයෙන් ආකර්ෂණය වනවා.

රුධිර වර්ගය

මදුරුවෙකු රුධිරය උරාබීම සඳහා සම මත වැසූ විට රුධිරය උරාබීමට ප්‍රථමයෙන් සමේ ශ්‍රාවයන් උරාබී රුධිර වර්ගය හඳුනා ගන්නවා. මදුරුවන් වැඩි වශයෙන් O වර්ගයේ රුධිරයට ප්‍රිය කරන අතර ඊළඟට B වර්ගයේ රුධිරයට ප්‍රිය කරනවා. අවසාන වශයෙන් ඔවුන් A වර්ගයට ප්‍රියතාවයක් දක්වනවා.

කාබන්ඩයොක්සයිඩ්

මීටර් 50 ක දුරින් පමණ ඇති කාබන්ඩයොක්සයිඩ් නිකුත් වන ස්ථානයක් මදුරුවන්ට සොයාගැනීමේ හැකියාව තිබෙනවා. උසින් හෝ මහතින් වැඩි අයෙක් විසින් ස්වාභාවිකවම කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩිපුර නිකුත් කරන නිසා එවන් පුද්ගලයින් හට මදුරුවන් ආකර්ෂණය වීම තරමක් වැඩි වනවා. සාමාන්‍ය පුද්ගලයෙකු පවා ව්‍යායාම සහ වෙනත් ක්‍රියාශීලි ක්‍රියාවන් සිදු කරන අතර වාරයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් නිකුත් කරන අතර එවන් අවස්ථා වලිදීත් මදුරුවන් වැඩි පුර ආකර්ෂණය වනවා.

උෂ්ණත්වය

නළල, ඇහිබැම, මැණික්කටුව හෝ බෙල්ල වැනි රුධිරය සමට කිට්ටු වූ ස්ථාන මතින් රුධිරය උරාබීමට මදුරුවන් වැඩි ලෙස ආකර්ෂණය වනවා. එමෙන්ම ශරීරයේ උණුසුම වැඩිපුර ඇති ස්ථාන මතට ඔවුන් වැඩි වශයෙන් ආකර්ෂණය වනවා.

ගර්භනීභාවය

ගර්භනී සමයේදී ප්‍රාශ්වාස වාතයට සහ සමට නිකුත් කරනු ලබන විශේෂිත සංඝටක නිසාත්, වැඩි පුර කාබන්ඩයොක්සයිඩ් වායුව පිට කිරීමත් සහ ශරීර උෂ්ණත්වය වැඩිවීමත් නිසා ගර්භනී කාන්තාවකට සාමාන්‍ය කාන්තාවකට වඩා දෙගුණයක මදුරු ආකර්ෂණයක් ඇතිවන බව අධ්‍යයන විසින් තහවුරු කර තිබෙනවා.

දහදිය

දහදිය තුල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන Lactic අම්ලයට මදුරුවන් විශාල වශයෙන් ආකර්ෂණය වනවා. දහදිය දමා දිනකට වඩා පැරණි ඇඳුමක් පැළඳීමේන් බැක්ටීරියාවන් වැඩි වශයෙන් නිර්මාණය වන අතර මදුරුවන් වැඩි වශයෙන් ආකර්ෂණය වීමත් දැකගන්නට පුළුවන්.